පණාකඩුව තඹ සන්නස – 2

මහාවංශය ඇතුළු වංශ කතාවලට අනුව මෙතෙක්‌ ඉතිහාසයේ ශේ්‍රෂ්ඨතම නරපතියා වන්නේ දුටුගැමුණු රජුය. පණාකඩු තඹ සන්නස හමුවීමෙන් පසු ඒ මතයේ වෙනසක්‌ විය යුතු බවට තොරතුරු විස්‌තර කරදීම මෙම ලිපියෙහි අරමුණ වී ඇත. ලංකා ඉතිහාසයේ භයානක දකුණු ඉන්දීය ආක්‍රමණය සිදුවන්නේ ක්‍රි. ව. 1017 දීය. එම ආක්‍රමණය ලංකා ඉතිහාසයේ තීරණාත්මක අවස්‌ථාවකි. මේ අවස්‌ථාවේ රට නිදහස්‌ කරගත් නායකයාගේ ළමා කාලය නිර්මාණය වන්නේ මාතර ප්‍රදේශයෙනි. මේ පිළිබඳ වංශ කතාවලින් මෙතෙක්‌ හෙළි නොවූ කරුණු රාශියක්‌ හෙළිවන්නේ පණාකඩුව තඹ සන්නස කියවා බැලීමෙන් පසුවය. ඒ අනුව වංශ කතා නොදුටු ඉතිහාසයේ ශේ්‍රෂ්ඨතම නරපතියා පළමු විජයබාහු බව පණාකඩුව තඹ සන්නසින් හෙළිවෙයි. මේ එම පණාකඩුව තඹ සන්නස පිළිබඳ පළවන ලිපි පෙළෙහි දෙවන ලිපියයි. පළමු ලිපිය මෙතැනින්

වලගම්බා රජු සමය (ක්‍රි. පූ. 103 – 102)

මහාවංශයේ විසිපස්‌වැනි (25) පරිච්ඡේදයේ දෙවැනි ගාථාවෙත් දාසයවැනි ගාථාවෙත් සඳහන් කර ඇත්තේ දුටුගැමුණු රජු යුද්ධ කර ඇත්තේ බුදුදහම ආරක්‍ෂා කර ස්‌ථාපිත කිරීමට බවය. මහාවංශයේ විස්‌තර කරන පරිදි එළාර රජු පන්සල්වලට ගොස්‌ භික්‍ෂූන් වහන්සේලාට දාන මානාදිය පිළිගැන්වූ බවත් අපට දැනගත හැකිය. එසේම එළාර රජු සෑගිරි විහාරයේ කොටසක්‌ කැඩී ගියමුත් එය එවෙලේම ප්‍රතිසංස්‌කරණය කළ බව මහා වංශයේ සඳහන් වේ. මේ අනුව පෙනී යන්නේ එළාර පාලනයෙන් අනුරාධපුර රාජධානියට හෝ බුද්ධාගමට හෝ සිංහලයන්ගේ වාරිමාර්ගවලට හෝ අගතියක්‌ නොවූ බව මෙන්ම රුහුණු මාගම රාජ්‍යයට ද අභියෝගයක්‌ නොවූ බවය. ඒ නිසා එළාර පාලනය ද්‍රවිඩ පලනයක්‌ කියා එකවර ප්‍රකාශ කළ නොහැකි අතර දුටුගැමුණු රාජ්‍ය ලෝභිත්වය නිසා සිදුවූවක්‌ බවට ද බොහෝ සේ කරුණු ඇත.

මේ සඳහා අපට නිගමනය කළ හැක්‌කේ එදා රාජ්‍ය පාලකයා සිංහල ද දමිළ ද කියා සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වී නැත. පත්වන රාජ්‍ය පාලකයා ජාතියෙන් කවුරුන් හෝ වේවා වාරිමාර්ග දියුණු කර රට ස්‌වයංපෝෂිත කිරීමත් බුද්ධාගම ආරක්‍ෂා කරනවා නම් ඔහු සිංහල රජෙක්‌ විදියට පිළිගැන්මට ජනතාව පුරුදු වී සිටි බව ඉතිහාසය දෙස විමසීමෙන් අපට පෙනේ. එදා රාජ්‍ය පාලකයා පත්කිරීම අද මෙන් ජනතාවට අයත් කරුණක්‌ නොවේ.

පසු කාලීනව රට පාලනය කළ ධාතුසේන රජතුමා කලා වැව වැනි දැවැන්ත වාරි කර්මාන්ත දියුණු කර බුද්ධාගම ආරක්‌ෂා කර දුන් රජ කෙනෙකි. නමුත් තම පුතා විසින්ම හිරභාරයට ගෙන කලා වැවේ කණ්‌ඩියකට හිර කර මැටි ගසා පණ පිටින් මරා ඇත. මෙහිදී ජනතාවගේ කැළඹීමක්‌ ඇති නොවීය. රජු සිරකාරයෙක්‌ විදියට ගෙන යද්දී භික්‌ෂූන් වහන්සේ නමක්‌ මුණගැසී ඇතත් භික්‌ෂූන් වහන්සේ එයට මැදිහත් වී නැත. මහාවංශයද නිහඬ වී ඇත. ඒ නිසා එකල රාජ්‍යත්වය සඳහා අද මෙන් මහජනතාවගේත්, භික්‌ෂූන් වහන්සේලාගේත් එතරම් සම්බන්ධතාවක්‌ නොවීය. මෙම කරුණු සලකා බැලීමේදී අපට පෙනී යන්නේ දුටුගැමුණු, එළාර යුද්ධය සිංහල, දෙමළ යුද්ධයක්‌ නොවන බවත් ද්‍රවිඩ ආධිපත්‍යයක්‌ නොවන බවත්ය. පසුකාලීනව කීර්තිමත් රජ කෙනෙකු වූ මහා පරාක්‍රමබාහු රජු පාණ්‌ඩ්‍ය නොවන බවත්ය.

වංශයට අයත් ද්‍රවිඩ කුමාරයෙකි. නමුත් ඔහු ලංකා ඉතිහාසයේ කීර්තිමත් සිංහල රජ කෙනෙකි. මේ කරුණු සලකා බලන විට අපට පෙනී යන්නේ ලංකාවේ සිංහාසනයට පැමිණි කිනම් ආකාරයේ පුද්ගලයකු වේවා ඉහත කී කාරණා ඉටු කර ධාර්මිකව රජ කරන්නේ නම් ඔහු සිංහල රජු ලෙස පිsළිගැනීමට රට වැසියා පුරුදුව සිටි බවය. එදා දුටුගැමුණු රජතුමා කළේ තමාගේ රාජ්‍ය පුළුල් කර සම්ප්‍රදායානුකූලව ප්‍රධාන පිළිගැනීමකට තිබුණු ප්‍රධාන බෞද්ධ ආගමික මධ්‍යස්‌ථානය සියතට ගැනීමය. එය සිංහල, දෙමළ දෙවර්ගය අතර ඇති වූ යුද්ධයක්‌ නොවේ. මෙයින් අප පැහැදිලි කර දෙන්නේ එළාර පාලනය සිංහල රාජ්‍යයට තර්ජනයක්‌ නොවූ බවත් දුටුගැමුණු – එළාර යුද්ධය ලංකා ඉතිහාසයේ තීරණාත්මක අවස්‌ථාවක්‌ නොවන බවත්ය.

මීළඟ තීරණාත්මක අවස්‌ථාව වන්නේ වලගම්බා රජු සමයයි. එනම් ක්‍රි. පූ. 103 – 102 වලගම්බා පළමු වරට රාජ්‍යත්වයට පත්වූ සමයයි. මේ අවස්‌ථාවේ තීය නම් බ්‍රාහ්මණ තරුණයෙක්‌ රුහුණේ කැරැල්ලක්‌ ඇති කර ඇත. ඔහු ද්‍රවිඩ ආක්‍රමණිකයෙක්‌ බව සමහරු කියති. මේ අවස්‌ථාවේ දෙමළ ආක්‍රමණිකයන් හත්දෙනකු මාතොටින් ලක්‌දිවට ගොඩ බැස වලගම්බා රජ පළවා හැර අනුරාධපුර රාජධානිය අල්ලා ගනී. ඔවුහු එකිනෙකා මරා ගනිමින් වර්ෂ 14 ක්‌ රජ කරති. වලගම්බා මලය රටට පැන ගොස්‌ සේනා සංවිධානය කර අන්තිම ද්‍රවිඩයා මරා අනුරාධපුර රාජධානියේ රජු බවට පත්වන්නේ ක්‍රි. පූ. 76 දීය. මෙම අවස්‌ථාවේ ද්‍රවිඩ ආක්‍රමණය දුටුගැමුණු – එළාර යුද්ධයට වඩා තීරණාත්මක එකක්‌ විය හැකිය. රට තුළ අභ්‍යන්තරයේ ද කැරැල්ලක්‌ හටගෙන තිබූ මේ අවස්‌ථාවේ ද්‍රවිඩ ආක්‍රමණය ඉදිරියේ රජු පලා යැම හැර අන් දෙයක්‌ කළ නොහැකි විය. කෙසේ හෝ වර්ෂ 14 ක්‌ තිස්‌සේ රුහුණේත්, මලය රටේත් සේනා සංවිධානය කර ද්‍රවිඩ පාලනයෙන් මුදාගැනීම සිංහල බෞද්ධ රාජ්‍ය බේරා ගැනීමේ තවත් වැදගත් අවස්‌ථාවක්‌ ලෙස හැඳින්විය. හැකිය. මීට පසු ද්‍රවිඩ ආක්‍රමණයක්‌ ඇති වන්නේ ක්‍රි. ව. 109 – 112 වංක නාසික තිස්‌ස රජු කාලයේය. පූජාවලියේ හා රාජාවලියේ සඳහන් වන පරිදි මේ ආක්‍රමණිකයා ලංකා වැසියන් දොළොස්‌ දහසක්‌ ඉන්දියාවට ගෙන ගොස්‌ දකුණු ඉන්දියාවේ කාවේරි නදිය සංවර්ධනය කිරීමට යොදවා ඇත. කෙසේ වෙතත් මේ අවස්‌ථාව එතරම් තර්ජනයක්‌ වූවා යයි සිතිය නොහැකිය. වැසියන් දොළොස්‌ දහසක්‌ රැගෙන යැම කිසිසේත් පිළිගත නොහැකි කරුණකි. ගමනාගමනයේ දියුණුවට පත්ව ඇති අද වැනි යුගයක පවා මෙසේ ප්‍රවාහනය කිරීම අපහසුය. තවද ඊට පළිගැන්මට ඔහුගේ පුත් I වන ගජබා රජු එම දොළොස්‌දහසට විසිහතර දහසක්‌ මෙරටට ගෙන ඒමේ කතාවද පිළිගත නොහැකි කරුණකි. කෙසේ හෝ මෙම කාලවකවානුවලින් පසු උතුරේ මෙන්ම උතුරුමැද පළාතේද සෑහෙන දෙමළ ජනගහනයක්‌ ඇති වීම අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. මීට පසු ද්‍රවිඩ ආක්‍රමණයක්‌ ඇති වන්නේ චිත්තසේන රජු දවසය. (ක්‍රි. ව. 432 – 433) ද්‍රවිඩයන් හය දෙනෙක්‌ ක්‍රි. ව. 432 සිට 454 දක්‌වා වරින්වර පාලනය කර ඇත. මේ ආක්‍රමණිකයන්ගෙන් ලංකා රාජ්‍ය මුදා ගත්තේ ධාතුසේන කුමාරයාය.

උපුටා ගැනීම – දිවයින

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *