පණාකඩුව තඹ සන්නස – 3

මහාවංශය ඇතුළු වංශ කතාවලට අනුව මෙතෙක්‌ ඉතිහාසයේ ශේ්‍රෂ්ඨතම නරපතියා වන්නේ දුටුගැමුණු රජුය. පණාකඩු තඹ සන්නස හමුවීමෙන් පසු ඒ මතයේ වෙනසක්‌ විය යුතු බවට තොරතුරු විස්‌තර කරදීම මෙම ලිපියෙහි අරමුණ වී ඇත. ලංකා ඉතිහාසයේ භයානක දකුණු ඉන්දීය ආක්‍රමණය සිදුවන්නේ ක්‍රි. ව. 1017 දීය. එම ආක්‍රමණය ලංකා ඉතිහාසයේ තීරණාත්මක අවස්‌ථාවකි. මේ අවස්‌ථාවේ රට නිදහස්‌ කරගත් නායකයාගේ ළමා කාලය නිර්මාණය වන්නේ මාතර ප්‍රදේශයෙනි. මේ පිළිබඳ වංශ කතාවලින් මෙතෙක්‌ හෙළි නොවූ කරුණු රාශියක්‌ හෙළිවන්නේ පණාකඩුව තඹ සන්නස කියවා බැලීමෙන් පසුවය. ඒ අනුව වංශ කතා නොදුටු ඉතිහාසයේ ශේ්‍රෂ්ඨතම නරපතියා පළමු විජයබාහු බව පණාකඩුව තඹ සන්නසින් හෙළිවෙයි. මේ එම පණාකඩුව තඹ සන්නස පිළිබඳ පළවන ලිපි පෙළෙහි තෙවන ලිපියයි. ඔබ පළමු හා දෙවන ලිපි වලින් අදහසක් ලබා ගත්ත්ව්ව් යැයි අප සිතමු.

දමිළ ආක්‍රමණ

 

මහාවංශය ලියූ මහානාම හිමි ධාතුසේන කුමරු පන්සලක සඟවා තබා රජෙකුට අවශ්‍ය ශිල්ප ශාස්‌ත්‍ර ලබා දුන්නේය. සිංහල ජනතාවගේ උදවු ඇතිව දමිළයින් පරාජය කිරීමට මහ සටනකට සූදානම් වූ ධාතුසේන කුමරා අවසානයේ ආක්‍රමණික බල බිඳ හැර ලක්‌දිව එක්‌සේසත් කර අනුරාධපුර රජු බවට පත්විය. ලක්‌දිව සිංහල ජනයා ද්‍රවිඩ පාලනයෙන් මුදාගෙන කලා වැව වැනි දැවැන්ත වාරිමාර්ග කර සිංහල ජනතාවත් සිංහල රාජ්‍යත් නැවත බේරා ගත්තේ ධාතුසේන රජුය. මේ අවස්‌ථාවේදී ඉතාම අවදානමකට ලංකා රාජ්‍ය යොමු වූ අවස්‌ථාවකි.

මීට පසු ද්‍රවිඩ ආක්‍රමණයක්‌ ඇති වන්නේ I සේන රජු කාලයේය. (ක්‍රි. ව. 833 – 853) පාණ්‌ඩ්‍ය, පල්ලව, චෝලයන් එකිනෙකා පරයමින් දකුණු ඉන්දියාවේ අධිරාජ්‍යයක්‌ ඇති කළ අවධියයි මේ කාලය. පාණ්‌ඩ්‍යන් මෙකල බලවත් විය. උතුර කේන්ද්‍ර කර ගනිමින් අනුරාධපුර රාජ්‍ය ආක්‍රමණය කළ විට I සේන රජු වස්‌තුව සමඟ මලය රටට පලා ගියේය.

මෙතෙක්‌ අප කරුණු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ සිංහල රාජ්‍යයට එල්ල වූ දමිළ ආක්‍රමණ පිළිබඳවය. මේ සෑම ආක්‍රමණයකින්ම සිංහල රාජ්‍ය විනාශ කිරීමට තරම් බලපෑම එල්ල වුවද ඒවා මර්දනය කිරීමට එයට මුහුණදුන් නරපතියන් සමත් වී ඇත. මේ කාලයේදී දකුණු ඉන්දියාවේ එතරම් ප්‍රබල අධිරාජ්‍යක්‌ ගොඩනැඟී නොතිබුණි. අප මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ක්‍රි. ව. 10 වැනි සියවස වන විට ඉන්දියාවේ ප්‍රබල අධිරාජ්‍යයක්‌ ගොඩනඟන චෝළ අධිරාජ්‍යයෙන් එල්ල වන ආක්‍රමණ පිළිබඳව පෙන්වා දීමටය. I රාජ රාජ හා ඔහුගේ පුත් රාඡේන්ද්‍ර චෝළ අධිරාජ්‍යයේ ව්‍යාප්තිය ඉහළට නැංවූ රජුන් දෙදෙනෙකි. ඉන්දියන් සාගරයේ පිහිටි දූපත් පවා මොවුන් ආක්‍රමණය කොට ඇත. එපමණක්‌ නොව වඩාත් ඈතින් පිහිටි ඉන්දුනීසියාව දෙසටද ප්‍රබල ආක්‍රමණ එල්ල කිරීමට තරම් බලයක්‌ මේ කාලයේ මොවුන් ලබා තිබුණි. මෙම කාලය වන විට ප්‍රබල නාවික ශක්‌තියක්‌ මොවුන්ට තිබී ඇත. දකුණු ඉන්දියාවේ බලවත් රාජ්‍යයක්‌ ගොඩනැඟුන සෑම අවස්‌ථාවකම ලංකාව ආක්‍රමණය කර ඇත. ඒ සඳහා ලංකාවේ පැවති සිංහාසනය සඳහා වූ බල අරගල බොහෝ සේ ඉවහල් වන්නේය. I සේන රජු කල සිදු වූ පාණ්‌ඩ්‍ය ආක්‍රමණයෙන් ඔවුන්ට අවශ්‍ය වූයේ ලංකාවේ වස්‌තුව කොල්ලකෑමටයි. ඊට පසු රජු වූ II සේන රජුට (853 – 887) IV වන මිහිඳු රජු ක්‍රි. ව. (956 – 972) වැනි අනුරාධපුර අවසාන භාගයේ දකුණු ඉන්දියාවෙන් එල්ල වන ආක්‍රමණයන්ට දැඩි ප්‍රයත්තයකින් මුහුණ දීමට සිදු වී ඇත.

ක්‍රි. ව. 982 දී රජවන IV වන මිහිඳු දුර්වල පාලකයකු විය. ඔහුගේ පාලනයට ජනතාව කැරලි ගසා ඇත. ලංකා ඉතිහාසයේ සිදු වන දැවැන්තම ආක්‍රමණය සිදු වන්නේ මේ අවස්‌ථාවේදීය.

මේ ලිපියේ ප්‍රධාන අරමුණු වන්නේ මේ අවස්‌ථාවේ රට බේරා ගත් නරපතියා මීට පෙර අන් කවර නරපතියෙකුටත් වඩා ශේ්‍රෂ්ඨ සම්පන්න නරපතියා බව හුවා දැක්‌වීමටය. ක්‍රි. ව. 1017 දී IV වන මිහිඳු චෝළ සිරකරුවකු බවට පත් විය. ලංකාව චෝළ අධිරාජ්‍යට එක්‌කර මුම්මුඩි ශෝල මණ්‌ඩලම් නමින් නම් කර පොළොන්නරුව අගනුවර කර පාලනය ගෙන ගොස්‌ ඇත. පසුව එය “ජනනාථ මංගලම්” වශයෙන් හැඳින්වූහ. චෝළ අධිරාජ්‍යයා විසින් එවන ලද සෙන්පතියෙකුට පාලන බලය පවරා තිබුණි. කිත්ති කුමරා I විජයබාහු නමින් රජ වී චෝල පාලනය යටත් කර ගන්නා තුරු ක්‍රි. ව. 1017 සිට ක්‍රි. ව. 1070 දක්‌වා අඩ සියවසක්‌ පමණ පාලන බලය ලබාගෙන පාලනය කර ඇත.

උපුටා ගැනීම – දිවයින

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *