පණාකඩුව තඹ සන්නස – 4

මහාවංශය ඇතුළු වංශ කතාවලට අනුව මෙතෙක්‌ ඉතිහාසයේ ශේ්‍රෂ්ඨතම නරපතියා වන්නේ දුටුගැමුණු රජුය. පණාකඩු තඹ සන්නස හමුවීමෙන් පසු ඒ මතයේ වෙනසක්‌ විය යුතු බවට තොරතුරු විස්‌තර කරදීම මෙම ලිපියෙහි අරමුණ වී ඇත. ලංකා ඉතිහාසයේ භයානක දකුණු ඉන්දීය ආක්‍රමණය සිදුවන්නේ ක්‍රි. ව. 1017 දීය. එම ආක්‍රමණය ලංකා ඉතිහාසයේ තීරණාත්මක අවස්‌ථාවකි. මේ අවස්‌ථාවේ රට නිදහස්‌ කරගත් නායකයාගේ ළමා කාලය නිර්මාණය වන්නේ මාතර ප්‍රදේශයෙනි. මේ පිළිබඳ වංශ කතාවලින් මෙතෙක්‌ හෙළි නොවූ කරුණු රාශියක්‌ හෙළිවන්නේ පණාකඩුව තඹ සන්නස කියවා බැලීමෙන් පසුවය. ඒ අනුව වංශ කතා නොදුටු ඉතිහාසයේ ශේ්‍රෂ්ඨතම නරපතියා පළමු විජයබාහු බව පණාකඩුව තඹ සන්නසින් හෙළිවෙයි. මේ එම පණාකඩුව තඹ සන්නස පිළිබඳ පළවන ලිපි පෙළෙහි සිව්වන වන ලිපියයි. ඔබ පෙර ලිපි (1, 2, 3, 4) වලින් අදහසක් ලබා ගත්ත්ව්ව් යැයි අප සිතමු.

I වැනි විජයබාහු රජුට පණ දුන් පණාකඩුවේ කරෝලිස්‌ අප්පුහාමි

ක්‍රි. ව. 1017 දී මෙතෙක්‌ කඩින් කඩ හෝ පවත්වාගෙන ආ සිංහල රාජ වංශය අවසන් විය. නැවත සිංහල රාජ වංශය ගොඩනඟන්නේ පළමු වැනි විජයබාහු රජුය. ඔහුගෙන් පසු ද සිංහල රාජ වංශය නිම වී යන්නේ ය. අප පළමුව I විජයබාහු රජු පැවත එන රාජ වංශය සොයා බලමු. ලංකාවේ පළමු රජතුමා විජය රජ වුව ද අනුරාධපුරය අග නගරය කර පළමු රජ වන්නේ පණ්‌ඩුකාභය රජතුමා ය. ඔහු උතුරු ඉන්දියාවේ සාක්‍ය වංශයට සම්බන්ධ ඇති රජ කෙනෙකි. I විජයබාහු ගේ ළමා කාලය හැඳින්වූයේ කිත්ති කුමරා නමිනි. I විජයබාහු රජතුමා උතුරු ඉන්දියාවේ ශුද්ධෝදන රජුගේ සාක්‍ය පරපුරට අයත් බව දිඹුලාගල මාර වීදියේ සෙල්ලිපියෙහි මෙසේ සඳහන් වේ.

“ඔකාවස්‌ රජ කුලෙන් නිපන් සුදොaනා පරපුරෙන් ආ හිරුගෙ කුලෙන් අභින්න වූ” වශයෙන් කීර්තිමත් රජ පවුලකින් පැවත ආ මොහුගේ පියා මොග්ගල්ලාන නම් විය. මව ලෝකිතා නම් වූවාය. මොහුගේ ළමා කාලය බෙහෙවින් කටුක ජනකය. මේ කරුණු හෙළිවන්නේ පණාකඩු තඹ සන්නසෙනි. මෙම සන්නසින් කියෑවෙන වාර්තාව පළමුව සඳහන් කිරීමෙන් මෙහි වටිනාකම විමසා බැලිය හැකිය. “සොළී දෙමළුන්ගෙන් පැමිණි උවදුරු නිසා අප සතු රජය අපට අහිමිව අප වනගත කඳුකරයේ සැඟව සිටියදී රුහුණේ දණ්‌ඩ නායක සින්නරු බිම බුදල්නාවන් සිය පිරිවර සෙන් ආධාර කොට ගෙන අප පිය සාමි මුගලන් වහන්සේ ඇතුළු රජ පවුලේ අප සැම දෙනා ආරක්‌ෂා කළේය. ඔහු අප බාල කාලයේදී ඇති දැඩි කළේය. මහ වනයෙන් සොයාගත් ආහාරයට ගත හැකි වන මුල් පලා වර්ගයන් ගෙන අප පෝෂණය කළේය. යන යන තැන අප සොයමින් සැරිසරන අපේ සතුරන්ගෙන් අප රැකගත්තේය. තැන තැන සටන් කර අපට රුහුණු ප්‍රදේශය අවනත කරවා දී වනගත කඳුකරයෙන් අප මුදාගෙන අපේ රාජ්‍යයේ අප නැවත පිහිටුවාලූයේ ය. (පණාකඩු තඹ සන්නස අනුව) 1948 පෙබරවාරි මාසය ලංකා ශිලා ලේඛන ඉතිහාසයේ සුවිශේෂී වර්ෂයක්‌ වනු ඇත. ලංකාව සතු ඉතාම වටිනා සිංහලෙන් ලියෑවුණු ඓතිහාසික ශිලා ලේඛනය සොයාගන්නා ලද්දේ මේ වර්ෂයේදී ය. ක්‍රි. ව. 1055 – 1010 අතර කාලය රජ කළ පළමු විජයබා රජතුමා විසින් මෙම ලේඛනය ඉදිරිපත් කර ඇත. මෙම ලේඛනය ලැබෙන්නේ මාතර දිස්‌ත්‍රික්‌කයට අයත් මොරවක්‌ කෝරළය තුළ පිහිටි පණාකඩුව නම් ගම්මානයෙනි.

සුරවීර ගමගේ කරෝලිස්‌ අප්පුහාමි නමැත්තකුට මෙම ලේඛනය හමුවී ඇත. තම කුඹුරේ පිට ඇළ හාරා නියර බැඳීමට යැමේදී පස්‌ කපාගෙන ඇත්තේ අවට රජයේ ඉඩමෙනි. මෙසේ පස්‌ කපන විට උදැල්ලේ යම් කිසි තද දෙයක්‌ ගැටෙන බව දැක එය ගලක්‌ නොවන බව වටහාගෙන ඇත. පසුව බැලීමේදී එය තහඩුවක්‌ බව වටහාගෙන එය නිවසට ගෙන ගොස්‌ ඇත. මෙම තහඩුව තමා දන්නා ඇඹුල් වැනි දෙයක්‌ දමා පිරිසිදු කර ඇතත් එය තඹ ද රත්රන් ද කියා වටහා ගැනීමට නොහැකි වීම නිසා කොනකින් කෑල්ලක්‌ කපාගෙන රත්රන් බඩු සාදන තැනකට ගොස්‌ බැලුවත් මෙය රත්රන් නොවන බව වටහාගෙන ඇත. මේ පිළිබඳ විස්‌තර සොයා ගැනීමට මා පණාකඩුව ගම්මානයට ගොස්‌ කරෝලිස්‌ අප්පුහාමිගේ ලොකු පුතා වන සුරවීර ගමගේ අර්නෝලිස්‌ (වයස 81) හා සුරවීර ගමගේ ජිනදාස (වයස 76) යන අය හමුවුණෙමි. මේ විස්‌තර සපයා දුන්නේ ඔවුන් විසින් ය. මාස කිහිපයක්‌ මේ තහඩුව ගෙදර තබාගෙන සිටීමේදී ගෙදර අය ලෙඩ වී ඇත.

මෙය ගෙදර තබා ගැනීමට නරක බව කරෝලිස්‌ අප්පුහාමිට හීනෙන් පවසා ඇත. බෙංගමුවේ සරණපාල හාමදුරුවෝ කරෝලිස්‌ අප්පුහාමිගේ නෑකමින් මස්‌සිනා ය. පසුව මෙම තහඩු පරිස්‌සම් කිරීම සඳහා පන්සලේ තබා ඇත. පසුව කඹුරුපිටියේ වනරතන හිමියන්ට මෙය ආරංචි විය. මේ දිනවල උන්වහන්සේ ලියන මාතර ඉතිහාසය හා පුරාවස්‌තු පිළිබඳ පොතට මෙම තහඩුව ඉතාම වැදගත් එකක්‌ විය. පමා නොවී උන්වහන්සේ සරණපාල හිමිගෙන් ඉල්ලාගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාරදුන්න මහාචාර්ය පරණවිතාන මහතාට මෙම ලේඛනය හමුවන විට තවත් පුරා වර්ෂයක්‌ පමණ ගත විය. කෙසේ වෙතත් මෙය සොයාගත් පුද්ගලයා නිසි බලධාරියාට නොදැන්වූ නිසා පුරාණ දේපළ පිළිබඳ ආඥ පනත යටතේ පරිත්‍යාගයක්‌ කිරීමට හා ලැබීමට ඔහු සුදුස්‌සකු නොවීය. කෙසේ හෝ මෙම සිද්ධියේ විශේෂ කරුණු සලකා බලා සන්නසේ අගය ද සැලකිල්ලට ගෙන ඔහුට පරිත්‍යාගයක්‌ කිරීමට අනුමත කර ඇත. මෙම තහඩු තුනේම බර රාත්තල් දෙකයි කාලකි. එකක දිග පළල අඩි දෙකහමාරක්‌ සහ අඟල් දෙකකි. පුස්‌කොල පොතක මෙන් හැම තහඩුවකම සිදුරු දෙකක්‌ ඇත. කුඩා පොතක්‌ මෙන් බැඳ තබන්නට ඇත. පළමුවැනි හා තුන්වැනි තහඩු දෙකේ අකුරු කොටා තිබුණේ ඇතුළු පැත්තේ පමණි. දෙවැනි තහඩුවේ දෙපැත්තේම අකුරු කොටා තිබුණේ ය. මෙම සන්නසින් හෙළිවන තොරතුරු මෙම ලිපියේ මීට ප්‍රථමයෙන් සඳහන් කර ඇත.

උපුටා ගැනීම – දිවයින

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *