පණාකඩුව තඹ සන්නස – 5

මහාවංශය ඇතුළු වංශ කතාවලට අනුව මෙතෙක්‌ ඉතිහාසයේ ශේ්‍රෂ්ඨතම නරපතියා වන්නේ දුටුගැමුණු රජුය. පණාකඩු තඹ සන්නස හමුවීමෙන් පසු ඒ මතයේ වෙනසක්‌ විය යුතු බවට තොරතුරු විස්‌තර කරදීම මෙම ලිපියෙහි අරමුණ වී ඇත. ලංකා ඉතිහාසයේ භයානක දකුණු ඉන්දීය ආක්‍රමණය සිදුවන්නේ ක්‍රි. ව. 1017 දීය. එම ආක්‍රමණය ලංකා ඉතිහාසයේ තීරණාත්මක අවස්‌ථාවකි. මේ අවස්‌ථාවේ රට නිදහස්‌ කරගත් නායකයාගේ ළමා කාලය නිර්මාණය වන්නේ මාතර ප්‍රදේශයෙනි. මේ පිළිබඳ වංශ කතාවලින් මෙතෙක්‌ හෙළි නොවූ කරුණු රාශියක්‌ හෙළිවන්නේ පණාකඩුව තඹ සන්නස කියවා බැලීමෙන් පසුවය. ඒ අනුව වංශ කතා නොදුටු ඉතිහාසයේ ශේ්‍රෂ්ඨතම නරපතියා පළමු විජයබාහු බව පණාකඩුව තඹ සන්නසින් හෙළිවෙයි. මේ එම පණාකඩුව තඹ සන්නස පිළිබඳ පළවන ලිපි පෙළෙහි පස් ලිපියයි. ඔබ පළමු, දෙවන හා  තෙවන ලිපි වලින් අදහසක් ලබා ගත්ත්ව්ව් යැයි අප සිතමු.

තඹ තහඩුව

කෙසේ හෝ මෙම ලේඛනයෙන් මෙතෙක්‌ හෙළි නොවූ පසින් වැසී ගිය ඉතිහාසයක තොරතුරු හෙළිවීම ලංකා ඉතිහාසයේ අනගි අවස්‌ථාවක්‌ ලෙස හැඳින්විය හැකිය. එදා මෙම තැනැත්තාට මෙම තහඩුව හමු නොවූයේ නම් ක්‍රි. ව. 1055 දී රජවන I විජයබාහු රජුගේ ළමා කාලයත් ඔහු රුහුණේ ඔටුණු පැළඳි ආකාරයත් වසන් වනු ඇත. කෙසේ නමුත් මේ තහඩුව සොයාගත් තැනැත්තාගේ වත්මන් පරපුර ගැන අප සොයා බලමු. පසුගියදා මම පණාකඩුව ගම්මානයට ගොස්‌ මේ පිළිබඳ වර්තමාන තත්ත්වය විමසා බැලුවෙමි. සුරවීර ගමගේ කරෝලිස්‌ අප්පුහාමි හා එම බිරිඳට දාව වර්තමානයේ ජීවත් වන දරුවන් මෙසේය. සුරවීර ගමගේ අර්නෝලිස්‌, සයිමන් චාර්ලිස්‌, සිංÆරිස්‌, ජිනදාස පිරිමි දරුවන් ය. ගැහැනු අයගේ නම් මෙසේ ය. සුරවීර ගමගේ සොපිහාමි, ඩිංගිහාමි, රත්නවතී යන්නෙන් දියණියක්‌ තිදෙනෙකි. මෙයින් දැනට ජීවතුන් අතර සිටින්නේ සුරවීර ගමගේ අර්නෝලිස්‌, ජිනදාස හා සුරවීර ගමගේ ඩිංගිහාමි, රත්නාවතී පුතුන් දෙදෙනා හා දියණියන් දෙදෙනා පමණි. මෙම පරපුරේ තුන්වැනි පරපුරේ දැනට ජීවත් වන අය මෙසේය. සුරවීර ගමගේ ආරියදාස, කරුණාදාස, සුමනදාස, ධර්මදාස, සෝමලතා යන අයයි. මොවුන්ගේ පියා වනුයේ මෙම තඹ තහඩුව සොයාගත් සුරවීර ගමගේ කරෝලිස්‌ අප්පුහාමිගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වන සුරවීර ගමගේ සයිමන් මහතා ය. ඔහු දැනට මියගොස්‌ ඇත. ඔහුගේ පුත්‍රයා වන සුරවීර ගමගේ සුමනදාස මහතා මාතර පොලිසියේ සේවය කරමින් සිටියදී පසුගියදා මියගොස්‌ ඇත. ගම්මුන්ගේ මතය වන්නේ සින්නරු බුදල්නාවවන්ට ගම්වරයක්‌ මේ සන්නසින් පිරිනැමූ බවයි.

මෙම තඹ තහඩුව සොයාගත් ස්‌ථානයේ දකුණු පළාත් සභාවේ සංස්‌කෘතික දෙපාර්තමේන්තුව මඟින් ස්‌මාරකයක්‌ ගොඩනැඟෙමින් පවතින අතර තවම වැඩ නිම වී නැති බව මම දුටුවෙමි. දැනට ජීවතුන් අතර සිටින පවුලේ වැඩිමලා සුරවීර ගමගේ අර්නෝලිස්‌ මහතා සහ මල්ලී වන ජිනදාස මහතා පවසන්නේ මේ සඳහා කොතෙකුත් පුවත්පත්වල ලිපි පළ වුවත් තමන්ගේ පවුලට ඇතිවූ ප්‍රයෝජනයක්‌ නැති බවයි. ප්‍රසිද්ධියට වඩා ප්‍රතිලාභ බලාපොරොත්තු වන බව එම කරුණු වලින් හැඟුනි. කෙසේ හෝ පණාකඩුව ගමට පණාකඩුව යන නම පටබැඳුන ආකාරය ඔවුන් පැවසූ ආකාරයට මෙසේ ය. එම ගම්මානයේ ළිඳකට කඩුවක්‌ වැටී ඇත. එම කඩුව ගැනීමට යැමේදී පනාවක්‌ ද එම ළිඳේ තිබී හමු වී ඇත. ඉන්පසුව පනාව හා කඩුව එකතු වී පණාකඩුව නමින් පසුව පතල වූ බව ගම්මුන්ගේ මතය වී ඇත. මෙම සන්නසින් නොකියවෙන දේ මුඛ පරම්පරාවෙන් කියෑවෙන විස්‌තර මොවුහු මට පැවසූහ. රජු සැඟවී සිටි ස්‌ථානය මාවූනාවල උමගක්‌ තිබී ඇත. අට්‌ටාලවන්න නමින් හඳුන්වන්නේ කිත්ති කුමාරයා ඇතුළු දෙමාපියන්ට ආරක්‌ෂාව දුන් කඳවුරකි. රජු දිය නෑමට ගොස්‌ ඇත්තේ සියඹලාගොඩ නමැති ස්‌ථානයෙහි ය. පළමු විජයබාහු (කිත්ති කුමාරයා) ඇල්ලීමට චෝලයන් චරපුරුෂයන් මෙන්ම හමුදාව යොදවා ඇත. ඉහත කී උමග රජු සැඟවී සිටි ස්‌ථානයකි. දැනට අට්‌ටාලවන්න නමින් හඳුන්වන තැන උතුරින් හා දකුණින් රජුට ආරක්‌ෂාව සැපයූ ස්‌ථානය භටයන් කඳවුර අද වෙල්යායකි. ආරක්‌ෂාව සැපයූ ස්‌ථානය අද පවා වහරන්නේ භටයන් කඳවුර නමිනි. වැඳුම්පිදුම් කිරීම සඳහා වෙහෙරතැන්න ආරාමයක්‌ තිබූ බවට ද සලකුණු පිහිටා ඇති බවත් මෙතන රජු ස්‌නානය කළ ළිඳ පිහිටා තිබූ බවත් අනුමාන කළ හැකි බව ගැමියන්ගේ මතයයි.

කෙසේ හෝ වේවා තඹ තහඩුව සොයාගත් අයට රජයෙන් මුදල් පරිත්‍යාගයක්‌ කර ඇත. 1950 මැයි මාසයේදී මොහුට රජයෙන් මුදල් පරිත්‍යාගයක්‌ කර ඇත. එදා ලංකාදීප පුවත්පතේ පළ වූයේ මෙසේ ය. “සන්නස සොයාදුන් ගොවි මහතාට රුපියල් 500 ක තෑගි යනුවෙන් පවසා ඇත. එවකට අගමැතිව සිටි මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක අගමැතිවරයා රුහුණේ සංචාරයක නිරත වී සිටියදී මේ මුදල උත්සවශ්‍රීයෙන් පිරිනමා ඇත.

රජයෙන් ඉඩම් ලබාදීමට කැමැත්ත පළ කර ඇතත් වඩාත් කැමති වී ඇත්තේ මුදල් ලබාගැනීමට ය. එදා මුදල ශක්‌තිමත් විය. රුපියල් 500 ඊට වඩා වටිනාකමකින් ඇති බව ඔවුන්ගේ මතය වී ඇත. එදා මෙදා තුර මේ හැරෙත්ම වෙන කිසිම ප්‍රතිලාභයක්‌ නැති බවත් මොවුහු පැවසූහ. කෙසේ හෝ මේ වෙනුවෙන් ගොඩනඟන ස්‌මාරකයේ මෙම පරම්පරාවට විශේෂ ස්‌ථානයක්‌ හිමිවිය යුතු බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. මන්ද එදා කිත්ති කුමාරයා චෝල අධිරාජ්‍යයෙන් මේ රට බේරා නොගත්තේ නම් සිංහල රාජ්‍ය විනාශ වී දෙමළ රාජ්‍යයක්‌ ගොඩනැගීමට බොහෝ දුරට ඉඩ තිබිණි. එයින් රට මුදාගත් අයගේ ළමා කාලය හා මුල් කාලය විස්‌තර වංශ කතාවල විස්‌තර අඩු නිසා පොළොව යට වැළලී යැමට තිබූ ඉඩකඩ මේ සන්නස සොයාගැනීමෙන් වටිනාකම නිම කළ නොහැකිය.

මීළඟට අප විස්‌තර කරනුයේ මෙම සන්නසින් හෙළිවන කිත්ති කුමරුන්ගේ ළමා කාලය පිළිබඳ තොරතුරු හෙළි කිරීමත් එයට ආධාර අනුබල දුන් ප්‍රාදේශීය පාලකයකු වන බුදල්නාවන් (බුද්ධරාජ) පිළිබඳ විස්‌තර සැපයීමටත් ය. කිත්ති කුමාරයා අනුරාධපුර වැදගත් රජ පරපුරකට අයත් බව මා පළමුව පවසා ඇත. ඔහුට රුහුණ එක්‌සත් කිරීමට බොහෝ සේ ආධාර කළේ මේ බුදල්නා නමැති ප්‍රාදේශීය පාලකයා ය. මෙම වකවානුව වන විට චෝලයන් විසින් සිංහල රාජවංශික කුමාරවරුන් සමූලඝාතනය කරමින් සිට ඇත. මෙයට හේතු වී ඇත්තේ එවකට රුහුණේ නායකයන් අතර පැවැති බල අරගලයයි. චෝලයෝ වරින් වර රුහුණට ආක්‍රමණ එල්ල කළහ. මේ තීරණාත්මක අවස්‌ථාවේ කිත්ති කුමරා පෙරටු කොට රුහුණේ එක්‌සත් කිරීමේ කටයුතු කළේ බුදල්නාවන් හෙවත් බුද්ධරාජ බව මෙම සන්නසෙන් හෙළිවේ. තරුණ වියට පත් කිත්ති කුමරුට උතුරේ චෝල බලය මැඩලීමට ප්‍රථම රුහුණේ ආධිපත්‍ය ලබාගැනීම සඳහා ප්‍රබල ප්‍රයත්නයක යෙදීමට සිදුවිය.

එවකට රුහුණේ සිටි ලෝකේශ්වර, කේශධාතු කාශ්‍යප වැනි ප්‍රතිමල්ලවයන් මර්දනය කොට රුහුණේ ආධිපත්‍ය රැකගැනීමට ඔහුට හැකිවිය. ඒ සඳහා සියලු කටයුතු කළේ බුදල්නාවයන් ය. 1055 දී කිත්ති කුමරා පළමු විජයබාහු නමින් රුහුණේ රජවිය. මහාවංශයට අනුව කිත්ති කුමරා කඩු කස්‌නාන පැළඳ ඇත්තේ මාතර දිස්‌ත්‍රික්‌කයට අයත් ‘මුන්සල’ ගමේදීය. පහළොස්‌ වැනි වියේදී ඔහු සිරිය බැන්ද බව මහාවංශයේ සඳහන් වේ.

පහළොස්‌වැනි වියේදී ඔහු ජීවත් වූයේ මාතර තල්අරඹේ ගරාඬු කලපුව මැද පිහිටි ‘ගරා දූවේ’ මාලිගයේ බව මහාවංශයේ සඳහන් ය. එහි කුමාරයාගේ දෙමවුපියන් සහෝදර සහෝදරියන් ද සිටි බව සඳහන් ය. කින්ති කුමාරයා කඩුව පැළඳවීමෙන් පසු යුද සේනා සංවිධානය කොට ශ්‍රී ලංකාව චෝල බලයෙන් මුදාගැනීමේ සටන ආරම්භ කර ඇත.

උපුටා ගැනීම – දිවයින

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *