පණාකඩුව තඹ සන්නස – 6

මහාවංශය ඇතුළු වංශ කතාවලට අනුව මෙතෙක්‌ ඉතිහාසයේ ශේ්‍රෂ්ඨතම නරපතියා වන්නේ දුටුගැමුණු රජුය. පණාකඩු තඹ සන්නස හමුවීමෙන් පසු ඒ මතයේ වෙනසක්‌ විය යුතු බවට තොරතුරු විස්‌තර කරදීම මෙම ලිපියෙහි අරමුණ වී ඇත. ලංකා ඉතිහාසයේ භයානක දකුණු ඉන්දීය ආක්‍රමණය සිදුවන්නේ ක්‍රි. ව. 1017 දීය. එම ආක්‍රමණය ලංකා ඉතිහාසයේ තීරණාත්මක අවස්‌ථාවකි. මේ අවස්‌ථාවේ රට නිදහස්‌ කරගත් නායකයාගේ ළමා කාලය නිර්මාණය වන්නේ මාතර ප්‍රදේශයෙනි. මේ පිළිබඳ වංශ කතාවලින් මෙතෙක්‌ හෙළි නොවූ කරුණු රාශියක්‌ හෙළිවන්නේ පණාකඩුව තඹ සන්නස කියවා බැලීමෙන් පසුවය. ඒ අනුව වංශ කතා නොදුටු ඉතිහාසයේ ශේ්‍රෂ්ඨතම නරපතියා පළමු විජයබාහු බව පණාකඩුව තඹ සන්නසින් හෙළිවෙයි. මේ එම පණාකඩුව තඹ සන්නස පිළිබඳ පළවන ලිපි පෙළෙහි සය වන ලිපියයි. ඔබ පෙර ලිපි (1, 2, 3, 4, 5) වලින් අදහසක් ලබා ගත්ත්ව්ව් යැයි අප සිතමු.

ශ්‍රී ලංකාව චෝල බලයෙන් සම්පූර්ණවෙන් මුදාගැනීම

කිත්ති කුමාරයාගේ ආගමික මධ්‍යස්‌ථානය තල්අරඹේ පන්සල වූ බවත් ඔහු තරුණ වියේදී රුහුණේ රජු වූ බවත් මහාවංශයේ සඳහන් වී ඇති බව 2017 මාර්තු 15 වැනිදා බදාදා දිවයින අතිරේකයේ ලිපියක්‌ ලියමින් ආරියසේන එදිරිවීර මහතා පවසා ඇත. කෙසේ හෝ කිත්තිs කුමාරයා 1 විජයබාහු නමින් පොලොන්නරු රාජධානියේ රජ කරවීමේ ගෞරව හිමිවිය යුත්තේ මාතර දිස්‌ත්‍රික්‌කයට බව අවධාරණය කළ යුතු කරුණක. ඊට කෘතගුණ සැලකීම සඳහා මාතර ප්‍රදේශයේ විහාරස්‌ථාන ගණනාවක්‌ ඉදිකර දී ඇත. පුරවිද්‍යා චක්‍රවර්තී තඹරුප්මියේ වනරතන නාහිමියන් ලියූ මාතර මානව වංශය හා පුරාවිද්‍යාත්මක ඉතිහාසය නමැති ග්‍රන්ථයෙහි සඳහන් කර ඇති පරිදි මාතර පරවාහැර වෙහෙර, ගන්දර සඳගිරි වෙහෙර, ඌරුගමුව වෙහෙරගොඩ විහාරයන් ඉදිකර දී ඇත්තේ පළමු විජයබාහ රජුය පරවාහැර, නාඔටුන්න, පාතේගම ආදී ගම්වලන් දෙවුන්දර දේවාලයට දී තිබුණු කුඹුරු පසුකාලීනව රජ වූ පස්‌වැනි විජයබාහුගේ සන්නසක සඳහන් වේ. මේ සන්නසට අනුව මහා විජයබාහු කරවූ මෙම විහාර බල නශ්ඨාවශේෂ අතර ඇති අඟල් 13Ü7 දිග පළලැති ගඩොල් මහා විජයබාහු රජතුමා පොලොන්නරුවෙහි කරවූ දළදා මැදුරෙහි ගඩොල්වලට සමාන බව වනරතන නාහිමියෝ පවසති.

රුහුණු පළාතේ කිරුළ හිමි කරගත් විජයබාහුගේ ඊළඟ ප්‍රයත්නය වූයේ පොලොන්නරු ආක්‍රමණයයි. මේ වන විට චෝල යටත් විජිතවල අරගල ඇතිවන්ට විය. ඉන්දියාවේ වීර රඡේන්ද්‍ර රජුට චෝල විරෝධී සතුරන් මැඬලීමට මුළු කාලය යොදවන්නට සිදුවිය. මේ අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත් පළමු විජයබාහු රජතුමා තුන් පැත්තකින් සේනාව යවා ක්‍රි.ව. 1070 දී ශ්‍රී ලංකාව චෝල බලයෙන් සම්පූර්ණවෙන් මුදාගන්නා ලදී. ස්‌වකීය පාලන මධ්‍යස්‌ථානය වශයෙන් පොලොන්නරුව තෝරාගත් අතර එය “විජය රාජපුර” යනුවෙන් නම් කළේය. චෝල පාලනය නිසා දේශපාලනික හා ආර්ථික වශයෙන් අවුල් වී ගිය රට යථා තත්ත්වයට පත්කිරීමට එතුමාට සිදුවිය. එහෙයින් එතුමාගේ කටයුතු ප්‍රතිසංස්‌කරණ කටයුතුවලට හා පුනරුත්ථාපන කටයුතුවලට බරවිය. චෝල පාලනය යටතේ අඩපණ වී තිබුණු වාරිමාර්ග පද්ධතිය පිළිසකර කිරීමට දැඩි උත්සාහයක්‌ ගැනීමට සිදුවිය. ඇළහැර ඇළ ප්‍රතිසංස්‌කරණය කිරීම නිසා මින්නේරිය කවුඩුළු හා කන්තලේ වැව් සම්බන්ධ කෙරුණු වාරි පද්ධතිය යථා තත්ත්වයට පත් කළේය. නාච්චාදුව, මහකනදරා වැව, මහගල්කඩවල, මාන්කඩවල යන වැව් පිළිසකර කෙරුණි.

චෝල පාලනය පුරා අඩසියවසකට ආසන්න කාලයක්‌ පැවතිණ. උපසම්පදා ක්‍රමය අහෝසි වූ බැවින් රාමඤ්ඤ දේශයෙන් භික්‍ෂූන් ගෙන්වා උපසම්පදාව ප්‍රතිෂ්ඨාපනය කළේය. රජමාලිගාව උතුරින් දළදා මන්දිරයක්‌ කරවා බුදුන්වහන්සේගේ දන්ත ධාතුව හා පාත්‍ර ධාතුව තැන්පත් කිරීමට කටයුතු කර වාර්ෂිකව දළදා පූජාව පැවැත්වීය. වෙහෙර විහාර පිළිසකර කර ගම්වර පූජා කළේය. දිඹුලාගල ආරණ්‍ය විහාරය දියුණු කළේය. සිරිපා වන්දනාව සඳහා මාර්ගය පිළිසකර කර ලැගුම්හල් ඉදිකළ බව එතුමා පිහිටවූ අඹගමුව ශිලා ලේඛනයේ විස්‌තර වෙයි. මෙම ශිලා ලේඛනය නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයට අයත් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පිහිටා ඇත. ක්‍රි.ව. 11,12 සියවස්‌වලට අයත් මධ්‍යකාලීන අක්‍ෂරයෙන් ලියා ඇති මෙම ලිපිය ක්‍රි.ව. 1055-1110 රජුගේ 38 වැනි රාජ්‍ය වර්ෂයේ රජු සමනොල කන්දට ගොස්‌ ශ්‍රීපාදය වන්දනා කළ බවත් වැඳපුදා ගැනීමට පැමිණෙන භික්‍ෂූන් වහන්සේලාට පිණ්‌ඩපාතය ඇතුළු අනෙකුත් සේවාවන් සැපයූ බව සන්නසෙහි දක්‌වා ඇත. අනෙකුත් වන්දනාකරුවන් සඳහා රජු නමින් රජරට මාර්ගයේ ගව්වෙන් ගව්ව දානශාලා ඉදිකළ බවත් මෙම සන්නසින් ප්‍රකාශ වි ඇත. ගිලීමලේ පුවරු ලිපිය ද පළමු විජයාබාහු රජු විසින් කරවන ලද්දකි. එයට අනුව ගිලීමලේ හා බඹරකොටුව ගම් දෙක ශ්‍රීපාදය වැඳීම සඳහා පැමිණෙන බැතිමතුන් උදෙසා ශ්‍රීපාද පද්මයට පූජා කර තිබේ. මේ අනුව බලන විට දේශපාලන වශයෙන් මෙන්ම ආගමික සංස්‌කෘතික වශයෙන් බලන විට ලංකා ඉතිහාසයේ අන් රජෙකුට දෙවැනි නොවන්නා වූ ශ්‍රේෂ්ඨතම නරපතියා පළමු විජයබාහු රජු බව අවිවාදයෙන් පිළිගත හැකිය.

ඉතා දුෂ්කර කාලයකදී රට විදේශ ආක්‍රමණවලට ගොදුරු වූ අවස්‌ථාවක නැවත දිවයිනේ ස්‌වාධීනත්වය ඇති කිරීම එතුමාගෙන් සිදු වූ වැදගත්ම සේවා විදියට හැඳින්විය හැකිය. එතුමාගේ චරිතයෙන් පෙනෙන බොහෝ ලක්‍ෂණ අතුරින් එක්‌ ලක්‍ෂණයක්‌ කෙරෙහි අවසාන වශයෙන් සඳහන් කරමු. රජතුමා ගත කළ දුෂ්කර ජීවිතය අවසන් වී රාජශ්‍රීයට පත් වූ පසු මුලදී තමා හා තම පවුලේ උදවියට උදව් උපකාර කළවුන් සඳහා ගම්වරදී සිහිපත් කරවීම පිණිස තඹ සන්නසකින් ලියා දැක්‌වීම ඔහුගේ උදාර ලක්‍ෂණයක්‌ ලෙස හැඳින්විය හැකිය. ඔහුගේ මෙම ක්‍රියාව එදා මෙන්ම අද පාලකයන්ටත් මහඟු ආදර්ශයක්‌ වනු ඇත.

ආශ්‍රිත ග්‍රන්ථ –

( i ) ‘රන්ගිර’ සඟරාව 2010 අගෝස්‌තු නිකිණි කලාපය
( ii ) ලක්‌දිව සිංහල, දෙමළ සබඳතා ග්‍රන්ථය
( iii ) සිංහල 09 වසර 1987 තුන්වන මුද්‍රණය
( iv ) 2017 මාර්තු 15 බදාදා අතිරේකය
( v ) “මාතර මානව වංශය හා පුරාවිද්‍යාත්මක ඉතිහාසය” කඹුරුපිටියේ වනරතන හිමි
( vi ) 2016 නොවැම්බර් 09 බදාදා දිවයින අතිරේකය

( මෙම ලිපියේ පළමු කොටස “ලංකාවේ ඉතිහාසය වෙනස්‌ කළ පණාකඩුව තඹ සන්නස” මැයෙන් 2017 නොවැම්බර් 15 වැනිදා බදාදා අතිරේකයේ පළ විය. )

සටහන – ශාස්‌ත්‍රවේදී ඊ. ජී. කේ. රම්පොල පණාකඩුව තඹ සන්නස – 5

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *