අරිප්පු මුහුදු පතුළින් හමු වූ ලී නෞකාව

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ක්‍රියාත්මක ගාල්ල ව්‍යාපෘතියේ මුහුදු පුරාවිද්‍යා ඒකකය (Maritime Archaeology Unit-MAU) පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව වටා මුහුදු කලාපයේ ගවේෂණ රැසක් රියාත්මක කරන ලදී. එකී ගවේෂණයන්හී ප්‍රථිඵලයක් ලෙස මෙරට සෑම කලාපයකම පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත්කමක් ඇති ස්ථාන ගණනාවක් හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබේ.

මන්නාරම ආශ‍්‍රිත ප‍්‍රදේශය අතීතයේ සිටම ප‍්‍රසිධ වූයේ මුතු කර්මාන්තය සඳහා ය. රාජ්‍ය අනුග‍්‍රහය යටතේ යටත් විජිත සමය දක්වාම මෙම කර්මාන්තය සිදුව ඇත. බි‍්‍රතාන්‍ය සමයේ සිදුවූ අසීමිත මුතු කිමිදීමත් සමග මුතු බෙල්ලන් වඳ වී ගිය බව මතයයි. මෙම සමයේ විශාල හා කුඩා යාත‍්‍රා භාවිත කරමින් මහා පරිමාණයෙන් මෙම කර්මාන්තය සිදුකර තිබෙන බවට සාධක වේ. මෙම හමු වූ යාත‍්‍රාව ද මෙම මුතුපර ආසන්නයේ ගිලී ගිය නෞකාවකි.

කරත්ත රෝද මෙන් පෙනෙන නැවේ කොටස්

නෞකාවේ ගැඹුර මීටර් 8.5 පමණ විය. මීටර් 30ක් පමණ දිගින් හා මීටර් 18ක් පමණ පළලකින් යුක්තව නෞකාවේ කොටස් විසිරී පවතී. නෞකාව සමබර කිරීම සඳහා භාවිත කරන ලද ගල් විශාල වශයෙන් ඉතිරිව තිබේ. ගල් වලට යටින් නෞකාවේ ලී තට්ටුව පවතින දැකිය හැක. ලී කොටස් ගල් අතරට විහි දී යන ආකාරය ස්ථාන කිහිපයකින්ම දැකගැනීමට හැකියාව පවතී. කරත්ත රෝද හැඩයේ යකඩ කොටස් දෙකක් වේ. බොහෝ විට මේවා නෞකාවේ එන්ජින් උපකරණ විය හැක. මිනිසුන් කරත්ත රෝද ලෙසින් හඳුන්වන්නේ මෙකී කොටස් සමූහයටයි. බැලූ බැල්මට එය එසේ පෙනේ. පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ දකුණු දිශාවට වන්නට තවත් යකඩ කොටස් කිහිපයක් හඳුනා ගැනීමේ හැකියාව පවතී. මෙහි  බොලොක්කයක (winch) හැඩති කොටක් දැකිය හැක. එකී කොටස අසල සිට ගල් පිහිටා ඇති දිශාව දක්වා ද ලී කොටස් විහි දී යයි.

ක්‍ෂේත‍්‍රයේ නැගෙනහිර දිශාවට වන්නට රැහැන් ස්වරූපයෙන් යුතු කොටස් ගණනාවක් විසිර පවතී. මෙහි ඇතුළත තන්තුමය කොටසකින් යුක්ත ය. මේවා නෞකාවේ භාවිත කරන ලද කේබල් කොටස් විය හැක.  මෙහි අභ්‍යන්තර කුහරය කාබන් තතත්වයට පත්ව තිබේ. මතුපිට කැල්කේරියස් තදින් ගණට තැම්පත් වී තිබෙන අතර එම කොටස් සමඟ සිප්පි කටු බහුල වශයෙන් දක්නට ලැබේ. එසේම දණ්ඬේ කැඞී ගිය කොටස් සහ මතුපිට දැකිය හැකි විඛාදන ඵලයන්ගේ භෞතික ලක්ෂණ අනුව රැහැන් කොටස් යකඩ වලින් නිර්මාණය කර තිබෙන බව අනුමාන කළ හැක. මෙහි අභ්‍යන්තරයේ කම්බි කොටස් තන්තු ස්වරූපයට පත්ව ඇත.

නැවේ කොටස් මිනුම් කරමින්

නෞකාවේ විසිර පවතින කොටස් අතර තඹ මිශ‍්‍ර ලෝහයෙන් නිර්මිත තහඩු දැකිය හැක. මෙහි සිදුරු නෞකාවේ භාහිර පෘෂ්ඨයකට ඇණ ගැසීමෙන්  ඇති වූවකි. ඇතැම් තැනක තහඩු කොටස් සමඟ තඹ ඇණ මගින් සම්බන්ධ වූ ලී කොටස් ද හමු වේ. තඹ තහඩු මත කොළ පැහැති කොපර් කාබනේට් විඛාදන ඵලයන් බහුලව දක්නට ලැබේ.

මෙය ලී නෞකාවක් බැවින් ලී කොටස් ක්‍ෂේත‍්‍රය පුරාම විසිර පවතී. එකී ලී කොටස් හී ආරක්‍ෂාව සඳහා තඹ පතුරු එයට සම්බන්ධ කර තිබේ. විසිරී පවතින ලී කොටස් මත මෙම ලක්‍ෂණය වේ. එසේම තඹ පතුරු ද පුරාක්‍ෂ්ත‍්‍රය පුරා ම විසිර තිබෙනු දැකිය හැක. තඹ පතුරු ලීයට සම්බන්ධ කිරීමේ දී තඹ ඇණ භාවිත කොට ඇත. එම ප‍්‍රදේශයේ ජනයා අතර පැවති මතය වූයේ මෙහි වන වෘතාකාර කොටස් කරත්තයක කොටස් බවයි. නමුත් සිදුකරන ලද පරීක්ෂණ වලදී පැහැදිළි වූයේ එකී කොටස් කරත්ත රෝද නොවන බව ය.

ගිලිීගිය යාත‍්‍රාව ලීයෙන් නිර්මාණය කර ඇති බව තහවුරු කර ගැනීමට හැකි විය. එස්ම හමු වූ ලී කොටස් තඹ ලෝහයෙන් ආවරණය කර තිබිණ. මෙය දැවයේ ආරක්‍ෂාව උදෙසා බාහිරින් සිදුකරන ලද්දකි. ක්‍ෂේත‍්‍රය පුරාවට මෙකී තඹ කොටස් විසිර තිබේ. වර්තමාණය වන විට දක්නට හැක්කේ යාත‍්‍රාවේ යට තට්ටුව පමණි. එය ආරක්‍ෂා වී ඇත්තේ නැව සමබර කිරීම උදෙසා යොදාගත් ගල් කොටස් හෙයිනි.

පුරා ක්‍ෂේත‍්‍රයේ නැගෙනහිර දිශාවට වන්නට රැහැන් කොටස් කිහිපයක් විසිර පවතී. බොහෝ විට එම කොටස් නෞකාවේ ම විය හැක. මෙහි ඇති විශේෂත්වය වන්නේ රැහැන් මධ්‍යයේ තන්තුමය කොටසක් පැවතීමයි. ඒ පිළිබද වැඩිදුර අධ්‍යයන කටයුතු ගාල්ල සංරක්‍ෂණ රසායනාගාරයෙන් සිදුකිරීමට නියමිත ය.

පුරාක්‍ෂේත‍්‍රය ගවේෂණය කිරීමේ දී සිදුවූ තවත් විශේෂ දෙයක් වූයේ ගල් අගුරු හමුවීමයි. ගල් අගුරු යාත‍්‍රාව ධාවනය සඳහා භාවිත කරන ලද්දේ ද නැතිනම් ආහාර පාන පිසීම සඳහා භාවිත කරන ලද්දේද යන්න පිළිබඳ ව නිශ්චිත තොරතුරු අනාවරණය කර ගැනීමට නොහැකි විය. නෞකාව පුරා විවිධ හැඩයේ යකඩ කොටස් විසිරී පවතී. ඒ අතර පැහැදිලිවම එන්ජිමේ කොටස් යැයි තහවුරු කරගත හැකි යමක් හමු නොවුනි. නෞකාවේ බොහෝ කොටස් මේ වන විට විනාශව ඇති හෙයින් එන්ජිමක් නැතැයි යන්න පැවසීමට හැකියාවක්ද නොමැත. ගල් අඟුරු භාවිතයෙන් යාත‍්‍රාව ධාවනය කර තිබේනම් එය විශේෂ කරුණකි. මන්ද ගල් අඟුරු භාවිතයෙන් ධාවනයේ යෙදුණු ලී යාත‍්‍රා වාෂ්ප එන්ජිම නිර්මාණය වූ සමයේ භාවිත වූ අතර එවැනි යාත‍්‍රා මෙරට මෙතෙක් හමු වී නොමැත. නමුත් වාෂ්ප බලයෙන් ක‍්‍රියාත්මක වූ යකඩ නැව් මෙරට වෙළද හා නාවුක කටයුතු සඳහා බි‍්‍රතාන්‍යයන් යොදාගත්හ. එවැනි ගිලුණු යාත‍්‍රා විශාල ප‍්‍රමාණයක් ලංකාව වටා මුහුදු තීරයෙන් සොයා ගැනීමට ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මේ වන විට සමත් ව ඇත.

නැවේ කොටස් විසිරී ඇති ආකාරය

පුරාවිද්‍යා ක්‍ෂ්ත‍්‍රය මතුපිටින් කාලතුවක්කු ආකාරයේ කොටස් කිහිපයක් හඳුනාගත හැකි විය. නමුත් මෙ කොටස් කාලතුවක්කු කොටස් ද යන්න නිශ්චිතවම සඳහන් කළ නොහැකි විය. මන්ද එහි මතුපිට විශාල වශයෙන් බෙල්ලන් බැදී තිබීම හා ඛාදනය වී තිබීමයි. මෙය කාලතුවක්කු සහිත නෞකාවක් නම් එය යුධ කටයුතු සඳහා භාවිත කරන ලද්දේද නැතිනම් වෙළද කටයුතු සඳහා භාවිත කරන ලද්දේ ද යන්න සොයා බැලිය යුතුව ඇත.

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *