NASA ආයතනයේ කෘත්‍රිම සූර්යග්‍රහණ කණ්‌ඩායමේ 6 දෙනා අතර ශ්‍රී ලාංකික විද්‍යාඥයකුත්

සූර්යග්‍රහණ විස්‌තරාත්මක ව අධ්‍යයනය කිරීම පිණිස, කෘත්‍රිම සූර්යග්‍රහණයක්‌ ඇති කිරීමට සමත් චන්ද්‍රිකාවක්‌ අභ්‍යවකාශයේ රැඳවීමට NASA ආයතනය සැලසුම් කර ඇති අතර ඒ සඳහා වන සැලසුමට ඉකුත් දා ඇමෙරිකාව තුළ බලපැවැත්වෙන පේටන්ට්‌ බලපත්‍රය ද හිමි වී ඇත.

2018 මාර්තු මස 20 වැනි දා Spherical Occulter Coronagraph Cubesat නමින් නිකුත් කර ඇති මේ පේටන්ට්‌ බලපත්‍රයේ අංකය US 9,921,099 B1 වේ.

මේ තොරතුරු විදුසරට අනාවරණය කර සිටියේ මෙකී ව්‍යාපෘතියට අයත් විද්‍යාඥයන් සය දෙනා අතර සිටින ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන ආචාර්ය නෙල්සන් රෙජිනෝල්ඩ් මහතා ය. ආචාර්ය රෙජිනෝල්ඩ් විසි වසරකට අධික කාලයක්‌ එම ආයතනයට අයත් පර්යේෂණ අංශය වන මේරිලන්ඩ්, ග්‍රීන්බෙල්ට්‌හි පිහිටි ගොඩාර්ඩ් අභ්‍යවකාශ මධ්‍යස්‌ථානයට අනුබද්ධ ව සේවය කරමින් සිටින තාරකා භෞතික විද්‍යාඥයෙකි.

සාමාන්‍යයෙන් ස්‌වාභාවික සූර්යග්‍රහණයක්‌ පවතින්නේ විනාඩි කිහිපයක්‌ වැනි සුළු කාලයකි. එබැවින් එවැනි අවස්‌ථාවක සූර්ය කොරෝනාව හෙවත් ප්‍රභා මණ්‌ඩලය නිරීක්‌ෂණය කරමින් දත්ත ලබාගැනීමේ හැකියාව ලැබෙන්නේ සීමිත කාලයකට ය.

සූර්යග්‍රහණයක්‌ ඇති වන්නේ සඳ මඟින් හිරු මුවා වීමෙනි. කෘත්‍රිම සූර්යග්‍රහණයක්‌ ඇති කිරීමේ දී සිදු කෙරෙන්නේ සඳ වෙනුවට කෘත්‍රිම ආවරකයක්‌ යොදාගෙන සූර්යයා මුවා කිරීම ය. මෙතෙක්‌ මේ සඳහා විද්‍යාඥයන් භාවිත කළේ අභ්‍යවකාශයේ රඳවන ලද රවුම් තැටි ආකාරය ව්‍යූහයන් ය. එහෙත් නව පේටන්ට්‌ බලපත්‍රයෙන් ආවරණය කෙරෙන සැලසුමට අයත් වන්නේ සඳ මෙන්ම හිරු මුවා කරන ගෝලාකාර ව්‍යූහයකි. මේවා Cube Sat නමැති කුඩා පරිමාණයේ චන්ද්‍රිකා ආධාරයෙන් උඩුගුවනේ රඳවනු ඇත.

කොරෝනාව යනු සූර්යයා ද ඇතුළු ඕනෑ ම තාරකාවක්‌ වටා පිහිටි ප්ලස්‌මාවලින් සමන්විත ප්‍රභා මණ්‌ඩලය ලෙස හැඳින්විය හැකි ය. (සූර්ය ප්‍රභාමණ්‌ඩලයෙහි ප්ලස්‌මාව යනු අධික තාපය හේතුවෙන් වායූන්හි ඇති පරමාණුක න්‍යෂ්ටි සහ ඉලෙක්‌ට්‍රොaන වෙන් වී අයනීකරණය වූ විට ඇති වන පදාර්ථමය ස්‌වරූපයකි).

සූර්ය කොරෝනාව සහ කොරෝනීය ද්‍රව්‍ය විසර්ජනය (coronal mass ejection- CME) අධ්‍යයනය කිරීම ආකාර ගණනාවකින් විද්‍යාඥයන්ට වැදගත් වේ. විශේෂයෙන් ම කොරෝනීය ද්‍රව්‍ය විසර්ජනය සෞරග්‍රහ මණ්‌ඩලයට ම අහිතකර ලෙස බලපෑ හැකි ය. පෘථිවිය සැලකුව හොත් මෙහි දී නිදහස්‌ වන අංශු පහළ කක්‌ෂයෙහි රඳවා ඇති චන්ද්‍රිකාවල ඉලෙක්‌ට්‍රොනික පද්ධතීන්ට අලාබහානි සිදු කළ හැකි අතර ඇතැම් විට පෘථිවි භූමියේ පිහිටි විදුලිය බෙදාහැරීමේ මාර්ගවලට ද බලපෑම් ඇති කළ හැකි ය.

ගෝලාකාර ව්‍යqහ යොදාගෙන හිරු මුවා කිරීමෙන් ඉහත කී සූර්ය කොරෝනාව හෙවත් ප්‍රභා මණ්‌ඩලය දිගු කාලයක්‌ පැහැදිලිව නිරීක්‌ෂණය කිරීමේ අවස්‌ථාව විද්‍යාඥයන්ට ලැබේ. මෙහි දී ඉලෙක්‌ට්‍රොaනවල උෂ්ණත්වය, ඉලෙක්‌ට්‍රොaන නිකුත් වන ප්‍රවේගය වැනි දත්ත වඩාත් නිරවද්‍ය ව ලබාගැනීමට විද්‍යාඥයෝ අපේක්‌ෂා කරති. එමෙන් ම කොරෝනාව පරිණාමය වූයේ කවරාකාරයෙන් ද යන්නත් කොරෝනීය ද්‍රව්‍ය විසර්ජනයට හේතු කවරේ ද යන්නත් සොයා බැලීමට මේ හරහා හැකියාව ලැබෙනු ඇත.

මේ සියලු දත්ත යොදාගෙන කොරෝනීය විසර්ජන සිදු වන කාල වකවානු පිළිබඳව කාලගුණ අනාවැකි ආකාරයේ අනාවැකි පළ කිරීම ද විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුවකි.

සූර්ය කොරෝනාව පිළිබඳ අබිරහස්‌ සංසිද්ධියක්‌ වන සූර්ය මතුපිටට (ප්‍රකාශගෝලයට) වඩා සූර්ය කොරෝනාව උණුසුමින් ඉහළ වීම ද නව ව්‍යාපෘතිය හරහා විද්‍යාඥයන්ගේ වැඩිදුර අධ්‍යයනයට ලක්‌ වනු ඇත.

Source : විදුසර

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *