වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – කලා වැව

ලාංකේය ඉතිහාසය ගත්කළ, එය ගම-පන්සල-වැව-දාගැබ යන අංග සතර නිමිති කොටගෙන ස්වයංපෝෂිත වූ බව පෙනේ. කෙත් වතු තවමත් සරු කරන්නේත් අපට දියවර සපයන්නේත් පුරාණයේ අපේ මුතුන් මිත්තන් එළෙස තැනූ වැව් වලිනි. රට ස්වයංපෝශිත කිරීමට උරදුන් මේසා විසල් නිර්මාණයන්ගේ පරිසරයද එක් කරන්නේ ඇසට මන්ස්කාන්ත දසුනක්. පරිසරය මෙන්ම එකී නිර්මාණයන් තුල ගැබ්ව ඇති ඉතිහාස කතා ද හදවතට දැනෙන්නක් . මේ අපේ රටේ වැව් ගැන ඉතිහාසයේ දැක්වෙන කතා පුවත් කීපයක් පිළිබඳ පළ වන ලිපි පෙලක පළමුවැන්නයි.

කලා වැව

කලා වැව යනු ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පුරාණ ජලාශයක් වේ. කලා-බලලු වැවු යුග්මයේ ප්‍රධාන වැව මෙය වන අතර තිසා වැවට ජලය ගෙනයනු ලබන සැතපුම් 54 (86.9 කි.මි) පමණ දිගු පුරාණ ඇල මාර්ගයක් වූ ජය ගඟ නැතහොත් යෝධ ඇළ මාර්ගය ආරම්භවන්නේද මෙම කලා වැවෙන් වේ. ශෛලමය හිටි බුද්ධ ප්‍රථිමාවක් වූ අවුකන බුදු පිළිමයද කලා වැවට ආසන්නයේ පිහිටා තිබේ.

කලා වැව හදන්නට මුල් වූයේ ධාතුසේන රජතුමාය. එය ඉදි කෙරුණේ කඩවර නම් තැනැත්තෙකු දුන් තොරතුරකට අනුවයි. බිරිය හා අමනාපව වනගත වී මුව රංචුවක් සමඟ දිගු කලක් වනයේ ජීවත් වූ කඩවර නම් මොහු හෙළි කළ රහසක් අනුව කලා ඔය කල වැලකින් හිරවී නිර්මාණය වී තිබූ ස්වභාවික ජලාශයක් විශාල කොට බඳවා ධාතුසේන රජු කලාවැව කරවා ඇති බවයි ජනකතාවල දැක්වෙන්නේ. මේ වැවට ජලය සපයන කලා ඔය නිර්මාණය වී ඇත්තේ දඹුලු ඔයේ සහ මිරිස්ගෝනියා ඔයේ ජලය එක්වීමෙනුයි. ගෝන නදී හෙවත් කලා ඔය හරස් කර මේ වැව ඉදි කළේ අදින් සියවස් 15කට පමණ පෙර රජ කළ ධාතුසේන (ක්‍රි. ව. 455-473) රජු විසින්. කලාවැව නිර්මාණය කළ ධාතුසේන මහරජතුමා විසින් වැව් 18 ක්‌ නිර්මාණය කළ බව වංශකතාවල සඳහන් වෙනවා. රජු විසින් කලාවැව ඉදිකර ඒ ආසන්නයේ තිබූ බළලු වැව ද එක් කර විශාල වැව් බැම්මක් තැනීමෙන් සාදන ලද මෙය කලාබළලු වැව නමින්ද හැඳින්වුණා.

අද කලාවැවට මහවැලියේ ජලයත් ලැබෙනවා. මේ නිසා රජරටට වැසි නොලැබුණත් කලාවැවට ජලය ලැබෙනවා. මහවැලි ජලය බෝවතැන්න ජලාශය ඔස්සේ දඹුලු ඔයටත්, මිරිස්ගෝනි ඔයටත් වැටී කලාවැවට එක් වෙනවා. ඒ වගේම හැවන්ඇල්ලා ඔයත් කලාවැවට ජලය සපයනවා. පුරාණ කාලයේ අඹන් ගඟේ සිට මිරිස්‌ගෝනියා ඔය දක්‌වා ඉදිකළ උමඟක්‌ මඟින් කලාවැවට ජලය ලබාගත් බව ජනප්‍රවාදයක සඳහන්.

රජතුමාගෙන් පැසැසුම් හා සැලකුම් ලද කඩවර ටික කලකින් ධනවතකු බවට පත් වුණා. පසුව ඔහු කාල සිටාණන් ලෙස ප්‍රකට වුණා. වැව නිසා රජුගෙන් පැසසුම් ලත් කඩවරට මැති ඇමතිවරුන්ගෙන් නම් ලැබුනේ යහපත් ප්‍රතිචාරයක් නම් නොවේ. ඔවුන් වැව් බැම්ම විනාශ කරන්නට උපාය යෙදුවා. එයින් වැව් බැම්ම විනාශ වුණා. ස්වකීය නිර්මාණයේ විනාශය දැක උපන් ශෝකය උහුලා ගත නොහැකි වුණු කඩවර වැවට පැන සිය දිවි නසා ගත් බව ඉතිහාස කතා වල කියැවෙනවා. පසුව ඔහු කඩවර දෙවි යනුවෙන් ප්‍රකට වුණා. කඩවර දෙවියන් සෑම වැවක්ම ආරක්ෂා කරන බවට ජනප්‍රවාදවල සදහන් වෙනවා.

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *