රෝමය සෙලවූ වහලුන්ගේ සටන

මානව ශිෂ්ඨාචාරයේ ඇති විශාලතම අවලස්සන කළු පැල්ලම වහල් ක්‍රමයයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් එම අමානුෂීය ක්‍රමය පැවත ආවේය. එම යුගයේ පටන් ගෝත්‍ර අතර ඇතිවූ සටන්වලදී ජයග්‍රාහී ගෝත්‍රික හමුදා පරාජිත සතුරන් වහලුන් ලෙස ගෙන ආහ. ඔවුන් තම වගා බිම්වල වැඩෙහි යෙදවූහ. වහලකුගේ ජීවිතය හා මරණය මෙන්ම අනෙක් සියලු දෑ පිළිබඳ තීන්දු තීරණ ගත්තේ ස්වාමියාය. ස්වාමියන් සිය වහලුන් මර්දනය කරන්නට අනේක විධ උපක්‍රම භාවිත කළද මානව හදවත්වල නිරන්තරයෙන්ම ඇවිලෙන නිදහස සඳහා වූ ගිනි පුපුර නිවා දමන්නට ඔවුනට හැකිවූයේ නැත. රෝම අධිරාජ්‍යයේ වහලුන්ගේ හදවත් ඇතුළතද නිදහස පිළිබඳ ගිනි පුපුර නිවි නිවී දැල්වෙමින් තිබිණි.

ලොව පළමු කැරලි නායකයා ස්පාටකස්ය

තෙවන කැරැල්ල

තමන් කෙරේ ස්වාමියන් දක්වන අමානුෂීය භාවයන් ගැන ඔවුන්ගේ සිත්හි වූයේ කෝපයක් හා වෛරයකි. රෝම අධිරාජ්‍යය වහල් නැඟී සිටීම් දෙකක්ම කෲර ආකාරයට මර්දනය කළේය. තෙවන වතාවේ ඔවුන් නැඟී සිටියේ ත්‍රේෂියානු වහලකු වූ ස්පාටකස් යටතේය. එය වහල් භාවයට, යටහත් භාවයට එරෙහිව ලොව සිදුවූ පළමු සංවිධානාත්මක කැරැල්ල ලෙස සැලකෙයි. ස්පාටකස් වහලුන් හා එක්ව සටන් කරමින් රෝම අධිරාජ්‍යයේ හමුදා බළ ඇණි පරාජයට පත් කළේය. හොඳින් සංවිධාන වූ, සංඛ්‍යාත්මකවද වැඩි රෝම හමුදා වෙත ඇල්පයින් ගිරි දුර්ගයේදී පරාජයම හිමිකර දෙන්නට තරම් ස්පාටකස් ගේ නායකත්වය ප්‍රබල විය. රෝමයේ සිට කැපුවා දක්වා වූ මඟ දෙපසම විප්ලවයට සහභාගි වූ වහලුන් හය දහසකගේ පමණ මළ සිරුරු එල්ලා තබන්නට රෝම හමුදාව පෙලඹුණේය. සංඛ්‍යාවෙන් වැඩි රෝම හමුදා සම්පූර්ණයෙන්ම පරදවන්නට ස්පාටකස්ගේ නායකත්වයෙන් යුතු වහල් හමුදා සමත් වූයේ නැත. එසේ වුව ස්පාටකස් ප්‍රමුඛ වහලුන් කළ අරගලය නිදහස උදෙසා මානවයාගේ ඇති දැඩි පෙලඹවීම වඩාත් මනාව පිළිබිඹු කළ ස්ථානයක් ලෙස ඉතිහාසයේ දැක්වෙයි.

මානව වර්ගයාගේ ඉතිහාසය තරමටම වහල් ක්‍රමය පිළිබඳ ඉතිහාසයද පැරැණිය. රෝම අධිරාජ්‍යයේ සෞභාග්‍යය පසුපස තිබුණේ වහලුන්ගේ ලේ කඳුළු සහ දහදියයි. ගවයන් මෙන් මිලට ගැනුණු හා අලෙවි කෙරුණු වහලුන්ගේ තත්ත්වය තිරිසනකුගේ තත්ත්වයට වඩා පහත් වූයේය. ස්වාමිවරුන් දෙන සෑම අණකටම ඔවුන් කීකරු විය යුතු ද විය. රෝම අධිරාජ්‍යය යුරෝපය පුරා ව්‍යාප්ත වෙද්දී තමන්ට යටත් වූ සෑම භූමි ප්‍රදේශයකින්ම පාහේ වහලුන් ලෙස මිනිසුන් ගෙන එන්නට රෝමානුවෝ පෙලඹී සිටියහ.

වහලුන් තම රෝම ස්වාමිවරුන්ට එරෙහිව කළ පළමු අරගල දෙක ශක්තිමත් රෝම හමුදා විසින් අමානුෂික ආකාරයෙන් මර්දනය කළ අතර, තෙවෙනි වහල් නැඟී සිටීම සිදුවූයේ ජේසුස් වහන්සේ උපත ලැබීමට වසර හැත්තෑ තුනකට පෙර එනම් ක්‍රි. පූර්ව 73 දීය.

එම නැඟී සිටීමට නායකත්වය දුන්නේ ත්‍රේෂියානු අවිසුරුවකු වූ ස්පාටකස්ය. ඔහු යටතේ පෙළ ගැසුණු වහල්ලු සිවු වසරක් තිස්සේ රෝම හමුදා සමඟ සටන් කළහ. අවස්ථා කිහිපයකදීම ඔවුහු රෝම හමුදා බළ ඇණි පරාජයට පත් කළහ. එම පරාජයන් නිසා දැවැන්ත රෝම අධිරාජ්‍යයේ පදනම් දෙදරීමට ලක් විය.

අප පළමුව රෝම අධිරාජ්‍යය හා වහලුන් පිළිබඳ ඉතිහාසය ගැන මඳක් විමසා බැලිය යුතුය. ජේසුස් වහන්සේගේ උපතට වසර පන්සියයකට පෙර රෝමයේ අවසන් අධිරාජ්‍යයා වූ ට්‍රාකුයින් බලයෙන් පහ කෙරුණේ ඔහුගේ නොමනා ක්‍රියාකාරකම් නිසාය. රෝම වැසියෝ ඔහු බලයෙන් නෙරපා රෝමය සමූහාණ්ඩුවක් බවට පත් කළහ. රජුට එරෙහිව නැඟී සිටි ප්‍රභූ පවුල්වල සාමාජිකයන්ම එක්ව සෙනේට් සභාව තැනූ අතර එතැන් සිට පාලන කටයුතුවල මූලිකත්වය ගත්තේ සෙනේට් සභාවයි. එම සෙනේට් සභාවේ සාමාජිකයන් දෙදෙනෙක් කොන්සල්වරුන් ලෙස නම් කෙරිණි. එම කොන්සල්වරුන් සෙනේට් සභාවේ බලධාකාරිය යටතේ පාලන කටයුතු ගෙන ගිය අතර නැවත රාජකීයයන්ගේ නැඟී සිටීමක් වළකනු පිණිස සෑම පියවරක්ම ගනු ලැබිණි. සෑම වසරකටම වරක් කොන්සල්වරුන් මාරු කෙරිණි. මේ ආකාරයට රෝමයේ ජනතාව දෙකට බෙදිනි. එරට රදල පන්තියට අයත් වූ ජන කොටස පැට්රීෂන් නැතිනම් කුලීනයන් ලෙස සැලකිණි. සාමාන්‍ය ජනතාව වූ දෙවෙනි කොටස ‘ප්ලෙබියන්ස්’ යන නමින් හැඳින්විණි. නිදහස් රෝම වැසියෝ තම තමන්ගේ නියොජිතයන් තෝරා පත්කර ගත්හ.

එම ජන කොටස් දෙකට අමතරව රෝමයේ තවත් ජන කොටසක් සිටියේය. ඒ වහලුන්ය. රෝම සමූහාණ්ඩුවේ සෞභාග්‍යය පසුපස සිටි ප්‍රබලයන් එම වහලුන් වූ අතර වහලුන්ට කිසිම අයිතිවාසිකමක් තිබුණේ නැත. නමුත් වහලුන්ගේ ස්වාමියන්ට සෑම අයිතිවසිකමක්ම තිබිණි. පියුනික් යුද්ධයෙන් පසු රෝමය වඩාත් ශක්තිමත් හා බලසම්පන්න වූයේය. ජේසුස් වහන්සේගේ උපතට වසර 113 කට පෙර සොයුරන් දෙදෙනෙක් වු ටයිබේරියස් සහ ගයියස් යන දෙදෙන ආණ්ඩුක්‍රමය වෙනස් කිරීමට උත්සාහ දැරූහ.
ධනවත් පුද්ගලයන් විශාල වතුයායන්ට හිමිකම් කිව යුතු නැතැයි ඔවුහු පැවසූහ. ඒ සඳහා ඔවුහු ඉතිහාසයෙන්ද උදාහරණ ගෙන හැර පැහ. කුලීනයන් එම ප්‍රතිසංස්කරණ සාදරයෙන් පිළිනොගත් අතර සහෝදරයන් දෙදෙන ඝාතනය කිරීමේ කුමන්ත්‍රනයක් දියත් විය. ටයිබේරියස් හා ගයියස් ඝාතන සිද්ධිය සිවිල් යුද්ධයකට මඟ පෑදූයේ රෝම සමූහාණ්ඩුව දෙදරවමිනි.

මේ සමකාලීනව රෝම රාජධානියේ යම් දුර්වලත්වයක් ඇතිවූයේය. ඒ වග වටහා ගත්තා සේ රෝම රාජ්‍යයේ ළඟ ළඟ කාල සීමාවන්හිදී වහල් නැඟී සිටීම් තුනක් සිදුවිය.

රෝම සමාජයේ සමකාලීන ස්වභාවයන්ද අප අවධානයට යොමු කළ යුතුය. එකල බුද්ධිමත් භාවයට එතරම් තැනක් තිබුණේ නැත. සාමාන්‍ය රෝමානුවෝ විනෝදයට කැමති, අලස ලෝකයට ප්‍රයෝජනයක් නැති අය බවට පත්ව සිටියහ. රෝම අධිරාජ්‍යයේ සෞභාග්‍යය හා ශ්‍රී විභූතිය ගැන සාමාන්‍ය ජනතාවද ආඩම්බරයට පත්ව සිටි අතර ඕනෑම මිලක් ගෙවා ජීවිතය රස විඳින්නට ඔවුුහු කැමැත්තෙන් සිටියහ. අධ්‍යාත්මිකව ඔවුන්ගේ නැඹුරුවක් තිබුණේම නැත. ඒ දිනවල රෝමය පුරා අස්වාභාවික ලිංගික හැසිරීම් ද ප්‍රචලිතව තිබිණි. පමණට වඩා ආහාර ගැනීම සහ වයින් පානයද ඔවුන්ගේ දෛනික ජීවිතවල අංගයන් විය. එමෙන්ම රෝම වැසියෝ පරපීඩන කාමයෙන්ද පෙළුණාහ.
අවි සුරුවන් සටනේ යොදවා එකිනෙකා මරා ගන්නා සැටි නරඹමින් ඔවුහු සතුටු වූහ. සටනට දැමූ අවි සුරුවෝ වහල්ලු වූහ. ස්පාටකස්ද අවි සුරුවෙක් වූයේය. පළමු වහල් නැඟී සිටීම් දෙකම මර්දනය කෙරුණු ආකාරයන් ඔහු හොඳින් දැන සිටියේය. දෙවෙනි නැඟී සිටීම මර්දනය කරනු පිණිස වූ රෝම හමුදාවන්ට නායකත්වය දුන්නේ පොට්පියස් මැග්නස්ය. දෙවෙනි වහල් නැඟිටීම මර්දනය කෙරෙද්දී තෙවෙනි වහල් නැඟිටීමක් සඳහාද සූදානමක් ඇති බව රෝමානුවන් දැන සිටියේ නැත.

වහලුන්ට සටන් පුහුණු කළේද රෝමානුවන්මය. එකල රෝමයේ වඩාත් ප්‍රචළිත විනෝදාශ්වාදය ලබන ක්‍රමය වූයේ අවි සුරුවන් ද්වන්ද සටන්වලට යොමු කිරීමයි. අවි සුරුවන් ලෙස පුහුණුව ලබන වහලුන්ට හොඳින් ආහාර සැපයිණි. ඔවුනට වෙනත් කිසිම කාර්යයක් පැවරුණේද නැත.

‘ලැනිස්ටා’වරු

අනෙක් වහලුන්ට නැතත් අවිසුරු වහලුන්ට ලිංගික තෘප්තිය ලබාගනු පිණිස වහල් කාන්තාවන්ද සැපයිණි. වහලුන්ට සටන් පුහුණුව ලබාදුන් අය ‘ලැනිස්ටා’වරුන් ලෙස හැඳින්විණි. රෝමය පුරා මල්ලව භූමි පිහිටා තිබු අතර ඒවාට ඇතුළුව වහලුන්ගේ සටන් නරඹන්නට රෝම ජාතිකයෝ ඉහළ මිල ගෙවූහ. වඩාත් දක්ෂ අවි සුරුවන් සටන් සඳහා ලබා දෙමින් ‘ලැනිස්ටා’වරුද හොඳ ධනයක් උපයා ගත්හ.
ත්‍රේෂියාවේ වහල්ලු වක ගැසුණු කිරිච්චියක් අතැතිව කරන සටනේ දක්ෂයෝ වූහ. අප්‍රිකානු වහල්ලු හෙල්ලයක් හා මාළු දැලක් දෑතින් ගෙන සටන් කළහ. රෝමානුවන් වඩාත් කැමැති වූයේ ත්‍රේසියානුවන් සමඟ අප්‍රිකානුවන් සටන් කරනු දකින්නටය.

සටන් පුහුණු පාසල

කැපුවා නගරයේ විශාල මල්ලව භූමියක් වූයේය. නරඹන්නන්ගේ වැඩි ආකර්ෂණයක් දිනා ගත් එය ආසන්නයේ ලැනිස්ටාවරයකු වූ ලැන්ටුලස් බැටියාටුස් ගේ සටන් පුහුණු පාසල පිහිටුවා තිබූ අතර සමකාලීනව විශාලත්වය සහ පවත්වාගෙන ගිය ක්‍රමය සහිතව රෝමයේ තිබූ එකම සටන් පුහුණු පාසල එය විය.

ලැනිස්ටා බැටියාටුස්ට සටන් සඳහා වහලුන් තේරීමේ අපූරු දක්ෂතාවක් තිබිණි. ඔහු ඉතා දුර පළාත්වලින් වහලුන් මිලට ගත්තේය. බැටියාටුස් ජීවිතය අරඹා තිබුණේ රෝමයේ විදි දිගේ ඉබාගාතේ ඇවිදින්නකු ලෙසිනි. විවිධ ව්‍යාපාරවල නියැළෙමින් මුදල් උපයා ගත් ඔහු රෝමයේ විශාල නිවාස හතරක හිමිකරු වූයේය. ඊළඟට ඔහු කළේ පතල් කර්මාන්තය පවත්වාගෙන යන පළාත්වලට ගොස් ශක්තිමත් වහලුන් ගැන සොයා බැලීමයි. වැඩ පරීක්ෂකයන් අල්ලසට යටත් කර ගත් ඔහු දඩබ්බර හා ශක්තිමත් වහලුන් මල්ලව භූමිවල සටන් සඳහා වඩාත් සුදුසු බව ඔහුගේ අදහස වූයේය. ඔහු එවැනි වහලුන් මිලට ගෙන සටන් පුහුණු කරවූයේය.

බැටියාටුස් ත්‍රේෂියානුවකු වූ ස්පාටකස් මිලට ගත්තේ ඊජිප්තුවේ රත්තරන් පතලකිනි. ඉතා ආචාරශීලි අයකු වූ ස්පාටකස් දඩබ්බර හා ශක්තිමත් මෙන්ම නායකත්වයට සුදුසු වහලෙක්ද වූයේය. කළු පැහැ දැසකට, බොකුටු කොණ්ඩයකට හා මධ්‍යම ප්‍රමාණයේ ශරීරයකට හිමිකම් කී ස්පාටකස් ගේ නාසය බිඳී තිබිණි. බොහෝ ත්‍රේසියානුවන්ට වඩා බාල තැනැත්තකු වූ නමුත් අනෙක් ත්‍රේසියානු වහලුන් ඔහුට සැලකුවේ පියකුට මෙනි. ඔවුන් ඔහුට කතා කළේද ගෞරවයෙන් යුතුවය. ස්පාටකස් වැඩිපුර කතා කළ අයෙක් නොවීය. නමුත් ඔහු යමක් පැවසූවිට අනෙක් වහල්ලු එය හිස් මුදුනේ පිළිගත්හ.

කැපුවා හි සිය පුහුණු පාසලේ බැටියාටුස් සතු අවිසුරු වහලුන් ගණන 200 ඉක්මවීය. ඔවුන්ගෙන් වැඩි දෙනා ත්‍රේෂියානු, අප්‍රිකානු හා යුදෙව් වහල්ලු වූහ. බැටියාටුස් ස්පාටකස් හට පාවා දුන්නේ වරිනියා නමැති ජර්මානු ජාතික කාන්තාවකි. ඇය ස්පාටකස් සිය සැමියා ලෙස පිළිගත් අතර ඇය ඔහුගේ අවසානය තෙක්ම ඔහු හා එක්ව සටන් කළාය.

දිනක් රෝම තරුණයන් දෙදෙනෙක් කැපුවා වෙත පැමිණියේ වහල් අවිසුරුවන්ගේ ද්වන්ද සටන් නරඹන්නටය. එකෙක් මියෙන තුරු පවතින සටන් දෙකක් සඳහා බැටියාටුස් හට රන් කාසි 25,000 ක් ගෙවීමට ඔවුහු කැමති වූහ. එම තරුණයන් දෙදෙනා වූ බ්‍රාකස් හා කැමුස් සටන් සඳහා ඩ්‍රාබා නමැති නීග්‍රෝ වහලා, ඩේවිඩ් නමැති යුදෙව් අවි සුරුවා සහ වෙනත් ග්‍රෝතයක වහලකු සමඟ ස්පාටකස් තෝරා ගත්හ. පළමු සටන පැවැතියේ යුදෙව්වා ඩේවිඩ් හා අනෙක් ග්‍රෝතිකයා සමඟිනි. යුදෙව්වා සටනින් දිනූ අතර පරාජිත ප්‍රතිවාදියා මරා දැමීම ප්‍රතික්ෂේප කළේය. එය තෙවන වහල් අරගලයේ පළමු ගිනි පුපුර වූයේය. ඊළඟට පොර පිටියට පිවිසියේ ස්පාටකස් හා ඩ්‍රාබාය. සටන අරඹන්නට සංඥාව නිකුත් වීමට පෙරම ඩ්‍රාබා තමා අත වූ හෙල්ලෙන් ප්‍රේක්ෂකාගාරයේ සිටි රෝමානු තරුණයකුට පහර දුන්නේ. සෙබළු වහා පොර පිටියට බැස හෙල්ලෙන් පහර දී ඩ්‍රාබා මරා දැමූහ. අරගලයට පදනම ඒ සමඟ සැකසිණි. ඊළඟ බැටිටාටුස් වහලුන් ප්‍රකෝපයට පත් කරවන තවත් දෙයක් කළේය. ඔහු කිසිම වරදක් නොකළ තවත් නීග්‍රෝ අවිසුරුවකුට හෙල්ලෙන් ඇණ මරා දැමුවේය.

ස්පාටකස් වහා අරගලයේ නායකත්වය ගත්තේය. ග්‍රිකුස් හා ගනිකස් යන වහලුන් දෙදෙනාගේ සහායද ඔහුට ලැබුණි. බැටිටාටුස් ඩ්‍රාබාගේත් අනෙක් නීග්‍රෝ අවිසුරු වහලාගේත් මළ සිරුර කුරුසිවල එල්ලූයේ අනෙක් වහලුන්ට පාඩමක් ලෙසිනි. ස්පාටකස් තීරණය කළේ යළි කිසිම වහලකු සමඟ කිසිවිටෙක ද්වන්ද සටනේ නොයෙදෙන්නටය. ඔහු අනෙක් වහලුන්ටද තම තීරණය දැන්වීය. එම වහලුන් අත්පොලසන් දෙමින් ස්පාටකස් ගේ තීරණය පිළිගත් අතර එය තෙවෙනි වහල් නැඟීසිටීම සඳහා ධජය එසවීමකට සමාන වූයේය.

නිදහසේ හුස්ම

ඊළඟ දින උදෑසන ව්‍යායාමවලින් අනතුරුව ඔවුහු භෝජනාගාරයේදී රැස්වූහ. ස්පාටකස් ඔවුන් ඇමතුවේය. පළමුව අවිසුරු වහල්ලු තම උපදේශකයන් හා පරීක්ෂකවරුන් මරා දැමුහ. ඊට වැඩි වේලාවක් ගත වූයේ නැත. පරම්පරා තුනක් තිස්සේ ස්පාටකස්ගේ පවුලේ අය වහලුන්ව සිට තිබිණි. එය ස්පාටකස් අනෙක් වහලුන් හා එක්ව නිදහසේ ආශ්වාස ප්‍රශ්වාස කළ පළමු වතාව වූයේය. එම වහලුන් මඬින්නට ආ සෙබළුන් හතලිස් දෙනකුට එලොවට යන පාර කියා දෙන්නට අවිසුරු වහලුන්ට අපහසු වූයේ නැත.

බැටියාටුස් ගේ අවි ගබඩාව බිඳ ලබා ගත් අවිවලින් සන්නද්ධ වූ ස්පාටකස් ඇතුළු පිරිස සංවිධානාත්මකව සටනට සූදානම් වූහ. පළමුව ඔවුන් කැපුවා සිට බැටියාටුස්ගේ නිවෙස දෙසට එමින් සිටි හමුදා බළඇණිවලට පහර දුන්හ. ඔවුහු විසුවියස් කන්ද තමන් යටතට ගත්හ. රෝමයේ සෙනේට් සභාවට මෙම නැඟී සිටීම ගැන ආරංචිය ලැබුණේ ප්‍රමාද වී ය.

ආරංචිය ලද වහා වහලුන් මඬින්නට සෙබළුන් තුන් දහසක් බැරිනියස් යටතේ යැවීමට සෙනේට් සභාව පියවර ගත්තේය. රෝම හමුදාව කැපුවා වෙත පැමිණ සිටින අතරතුර රාත්‍රිය ගෙවීමට අතරමඟ තැනෙක කඳවුරු බැඳගත්තේය. මැදියම් රැයේ අවිසුරු වහල්ලු කඳවුරට ප්‍රහාර එල්ල කළහ. සෑම රෝමානු සෙබළකුම මරා දමන්නට යුහුසුළු වූහ. එක’මෙක සෙබළෙක් පණ පිටින් ඉතිරි කළ ස්පාටකස් ඔහුට මෙසේ පැවසුවේය.

“රෝමයට ගොස් සෙනේට් සභාවට පවසන්න අපට දැන් කස පහර කා ඇතිවෙලා කියා. තව දුරටත් වහලුන් ලෙස කටයුතු කරන්නට අප සූදානම් නැති බවත් දන්වන්න.”

ස්පාටකස් හා වහල් අවිසුරු හමුදාව ඉදිරියට ගමන් කළහ. අතරමඟදී තවත් වහල්ලු එම හමුදාව හා එක්වූහ. ක්‍රමයෙන් වහල් හමුදාව ලක්ෂයකින් පමණ යුක්ත වූයේය.

සෙනේට් සභාව පුබිලියස් නමැත්තාගේ අණ යටතේ තවත් හමුදාවක් යැවූයේ වහලුන් සමූලඝාතනය කරන්නටය. ස්පාටකස් එම හමුදාවට එරෙහිව භාවිත කළේ ගරිල්ලා සටන් ක්‍රමයන්ය. ඇල්පයින් දුර්ගයේදි පහරදී පලායාමේ උපක්‍රමය භාවිත කළ ස්පාටකස් එම සටනින්ද ජයග්‍රහණය ලැබුවේය. අත්දැකීම් බහුල ජනරාල්වරයකු වූ මුමියුස් යටතේ ආ හමුදාවටද ප්‍රහාර එල්ල කරමින් ජය ලබන්නට ස්පාටකස් සමත් වූයේය. රෝම හමුදා පසු බැස්සාහ. එසේ රෝමයට පැමිණි බළඇණිවල සිටි සෙබළුන් අතරින් සෑම දස දෙනකුගෙන්ම එක් අයකුට මරණීය දණ්ඩනය ලබා දුන්නේ ඔවුන්ගේ බියගුලුභාවයට දඬුවමක් ලෙසිනි.

මුමියුස් හා සර්වියස් යන ජනරාල්වරුන් අත්අඩංගුවට ගත් ස්පාටකස් රෝමානුවන් අවිසුරුවන් ද්වන්ද සටන්වල යෙදවූවා මෙන් එම ජනරාල්වරුන්ද සටනේ යෙදවූහ. කෙසේ වෙතත් බලසම්පන්න රෝම හමුදාව යළි යළිත් සටනට ආහ. එවන් එක් බිහිසුණු සටනකදී වහලුන් දස දහසක් පමණ මරණයට පත්වූහ.

ඊළඟට රෝමානු අණ දෙන නිලධාරී මාකස් ලිසිනියස් ක්‍රාසස් යටතේ වහලුන්ට එරෙහිව සටනට පැමිණියේ අති විශාල සේනාවකි. එම සේනාව හා සටනින් වහලුන්ට අත්වූයේ පරාජයයි. ස්පාටකස් සටනේදී මිය ගිය අතර අත්අඩංගුවට ගැනුණු වහලුන් 6872 ක් රෝමයේ සිට කැපුවා දක්වා වූ මඟ දෙපස කුරුසිවල එල්ලනු ලැබිණි. පුරාවෘත්තයන්ගෙන් පැවසෙන්නේ ස්පාටකස්ගේ බිරිය වරිනියා ඔවුන් දෙදෙනාගේ පුතු සමඟ බේරී පලා ගියා කියාය. ස්පාටකස් නායකත්වය දුන් සටනේ පරාජය අවසානය නොවීය. ඊට පසුද වරින්වර වහලුන්ගේ නැඟී සිටීම් සිදුවිය.

ලෝක ඉතිහාසයේ පළමු කැරලිකරුවා මෙන්ම නිදහස පතා කළ අරගලයකට නායකත්වය දුන් පළමු තැනැත්තා ලෙස ස්පාටකස් ගැන සඳහන් වෙයි. හොවාඩ් ෆාස්ට් ‘ස්පාටකස්’ යන නමින් නවකතාවක් ලිව්වේය. එම නවකතාව පදනම් කරගෙන නිපැයුණු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ කර්ක් ඩග්ලස් නමැති හොලිවුඩ් නළුවාය. මෙයට දෙවසරකට පමණ පෙර ‘ස්පාටකස්’ යන නමින් මාලා ටෙලිනාටකයක් ලොව පුරා ප්‍රදර්ශනය වූ අතර එහි වහලුන්ගේ වීරත්වයට වඩා ලිංගිකත්වය ඉස්මතු වූ බව විචාරකයන්ගේ මතයයි.

 

අන්තර්ජාලය ඇසුරෙනි

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *