වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – මින්නේරිය වැව

ලාංකේය ඉතිහාසය ගත්කළ, එය ගම-පන්සල-වැව-දාගැබ යන අංග සතර නිමිති කොටගෙන ස්වයංපෝෂිත වූ බව පෙනේ. කෙත් වතු තවමත් සරු කරන්නේත් අපට දියවර සපයන්නේත් පුරාණයේ අපේ මුතුන් මිත්තන් එළෙස තැනූ වැව් වලිනි. රට ස්වයංපෝශිත කිරීමට උරදුන් මේසා විසල් නිර්මාණයන්ගේ පරිසරයද එක් කරන්නේ ඇසට මන්ස්කාන්ත දසුනක්. පරිසරය මෙන්ම එකී නිර්මාණයන් තුල ගැබ්ව ඇති ඉතිහාස කතා ද හදවතට දැනෙන්නක් . මේ අපේ රටේ වැව් ගැන ඉතිහාසයේ දැක්වෙන කතා පුවත් කීපයක් පිළිබඳ පළ වන ලිපි පෙලක මින්නේරිය වැව පිළිබඳ ලිපියයි.

මින්නේරිය වැව

මහසෙන් රජුට හත් රජ්ජුරු බණ්ඩාර දෙවියෝ නොහොත් මින්නේරි දෙවියෝ’යි කියන්නට තරම් ඔහු වෙනුවෙන් දේවාල තනවන්නට තරම් සියවස් 17ක් තිස්සේ ඔහු වෙනුවෙන් නොකඩවා පුද පූජා කරන්නට තරම් භක්තියක් රට වැසි ජනතාවට තිබිණි.

වෛතුල්‍යවාදය මුල්කර ගත් සංඝමිත්‍ර තෙරුන්ගේ බහට වැඩ කර මහසෙන් රජතුමා මුලදී මහා විහාරය අමනාප කරගත්තේය. එය බොහෝ ප්‍රශ්නවලට මුල්විය. අගනුවර වූ අනුරාධුපුරයේ රැඳී සිටින්නට බැරි තරමට වාතාවරණය දරුණු වූ බැවින් හබරණ කැකිරාව මාර්ගයේ රිටිගල කන්දේ පදිංචියට මහසෙන් පැමිණි බවට නටබුන් අදත් එහි ඇතැයි සඳහන්ය.

මහ වැවකටම සරිලන මෙනේරි වැවී තිබෙන භූමි භාගයක් මාතලේ දඹුලු කඳුවැටි පාමුල සිට ගව් කිහිපයක් ඈතින් තිබෙන බවත් එය නිතර ජලයෙන් පිරී තිබෙන බවත් එහි මහ වැවක් තැනුවහොත් පළාතම එකම කෙත් යායක් වනු ඇතැයි චරපුරුෂයන් විසින් රජතුමාට දැන්වූ බව පැවසේ. ඉන්පසු චරපුරුෂයින් රිටිගල සිට හතර අතට යැවූ බව ද කියති.

වියළි කලාපයක් වූ මේ පළාතේ තිබූ විශාල ප්‍රශ්නය ජලය හිඟකමයි. කුඩා වැව් රැසක් සාදා ලොව දැවැන්තම ගඩොල් ව්‍යුහය වූ ජේතවනාරාමය චෛත්‍ය කර්මාන්තයට අත ගසා තිබූ මහසෙන් රජ ලැබුණු මේ ආරංචියෙන් සතුටට පත්වී තිබේ. ඒ බිමේ පස මැටි ගතියෙන් සාර ජලය කාන්දු වී නොයන ආකාරයේ බිමක් බවද ඒ වන විටත් එහි ජලය පිරී තිබීමෙන් සනාථ වී ඇත.

ජලය අඩු කාළ වලදී, මින්නේරිය වැවේ අලි රංචුවක්

ඒ භූමිය දෙපස කඳු දෙකක් තිබෙන බවත් ඒවා යාකර බැම්ම තැනිය හැකි බවත් ඒ දෙක අතර හොඳ සවි ඇති තිරිවානා තට්ටුවක් තිබෙන බවත් සනාථ විය. වැව සෑදීමට සියල්ල ගැළපී තිබුණේ ඒ අසදෘෂ නරපතියා විසින් මිණිහිරිවාපිය නොසාදාම බැරි තත්ත්වයකට පත්කරමින්ය. අවසානයේ රජතුමා වැව සෑදීමට පටන් ගත්තේය. නළුදෑකඩ රාළ නැමැති විශ්ව කර්ම වාරි තාක්ෂණවේදියා සමඟ දහසක පිරිසක් වහා ඒ බිමට යවන ලදී.

මෙම ප්‍රදේශය ගෝත්‍රිකයන්ගේ පාරම්පරික ගොදුරු බිමක් විය. දෙපිරිස අතර මහ ගැටුම් ඇතිවිය. නළුවා සටනින් මිය ගියේය. නයිලවන්නියා සහ කට්ටම් පට්ටියා ද මරා දමා වැව සෑදිය හැකි වුවත් රජතුමාට අවශ්‍ය වූයේ රට තුළ ලේ නොව ජලය ගලා යනු දකින්නටය. මහ සටන හෙට කියා තිබියදී මහසෙන් නායකයා යක්ෂ දෙබෑයන්ගේ පැලට තනිව ගියේය.

මම මහසෙන්, ජනතාව නොමරා අපිට මේ ප්‍රශ්නෙ විසඳා ගන්න ක්‍රමයක් ඇත්තේම නැද්ද යි රජ ඇසිය. ඔවුන්ට අදහාගත නොහැකි විය. ඒ සාකච්ඡාව කෙළවර වූයේ වැවට අවශ්‍ය භූමි භාගය ලබා දීමෙන්ය. වැව හදන්නට විය. එහෙත් වැව් බැම්මේ එක්තැනක් කොපමණ හැදුවත් කැඩෙන්නට විය. වසර හතක් තිස්සේ මෙය සිදුවිය. “තොපි මගේ අඩවියට ඇවිත් මා මරා දැම්මා රාජ ලේ ඇති බිල්ලක් දෙන තෙක් ඕක හදන්න දෙන්නේ නෑ”යැයි මිය ගිය යක්ෂ නායකයා නළුවා රජුට හීනෙන් පෙනි සිට කීය. එහෙත් කිසි රජ බිසවක් තම දරුවා වැවක් වෙනුවෙන් පුද දෙන්නට එකඟ වූයේ නැත. එය දැන ගත් රජුගේ නැගණිය බිසෝ බණ්ඩාර දේවිය තම දරුවා වැව වෙනුවෙන් දන් දුන්නාය.

අංග සම්පූර්ණ රජ ඇඳුමෙන් සැරසූ ඒ කුමාරයා මව විසින්ම රජුට භාර දෙන ලදී. එහෙත් අවසානයේ දරුවා බිලි නොදී ඒ වෙනුවෙන් ප්‍රයෝගයක් කොට නළු වළසෙකු බිලිදී බැම්ම සාදන ලදී. මෙය නළුදෑකඩරාළලා විසින් කරන ලද ප්‍රයෝගයක් යැයි ඉතිහාස පොත් පත්වල සඳහන්ය. ප්‍රයෝගයන් නොදත් රජ ඒ දරුවාගේ මරණය පිළිබඳව අධීක ශෝකයෙන් පසුවිය. එය දැනගත් පිරිස සමාව ඉල්ලා තමන් කළ ප්‍රයෝගය හෙළි කොට දරුවා රජ ඉදිරියට පැමිණ වූහ. බේරාගත් ඒ හිඟුරණ බණ්ඩාර කුමාරයා නැවත රජු ඉදිරියට පමුණුවන තෙක් කලක් සඟවා තබන ලද්දේ හිඟුරක්ගල මුදුනේය. නළුවා ප්‍රයෝගය දැන ගත් බවත් රජුගේ උදාර පරමාර්ථය හමුවේ ඔහු රජුට සමාව දුන් බවත් කියැවේ.

බිසෝ කොටුව තනන ලද්දේ තනිකර කළු ගලෙනි. හෙළයන් වාපි තාක්ෂණයේ කූට ප්‍රාප්තිය සනිටුහන් කළේ මහසෙන් රජුගේ කාලයේදී යැයි දේශයේ පුරාවිද්‍යාඥ ප්‍රාඥ ආචාර්ය සෙනරත් පරණවිතානයන් පවසා තිබේ. එහි අරුතක් ඇත්තේ මිණිහිරිවාපිය දැවැන්ත වැවක් වූවාට එහි බැම්ම පොඩි වැවක තරමේ එකක් බැවිනි. නළුදැකඩ රාළ ඉතිහාසගත වන්නේ ඒ නිසාය.

වසභ, මහසෙන්, ධාතුසේන, පැරකුම් වැනි නර ශ්‍රේෂ්ඨයන්ට මල් තියා වඳින්නට වටින්නේ මෙවැනි ප්‍රශ්න ඇති නොවන ආකාරයට ජලසම්පාදනය කළ හෙයිනි. ජලය යනු ජන හිතකාමී රජවරුන් ගේ ධනය ය. ‘අහසින් වැටෙන එක් දිය බිඳුවක්වත්, වැඩක් නොගෙන සාගරයට නො යැවිය යුතු’යැයි මහා පැරකුම් නිරිඳුන් පවසා තිබේ. ධාතුසේන රජතුමා කාශපයට මා හම්බ කළ ධනය මේ යැයි කියා කලා වැවේ දිය පෙන්වා තිබේ. ඇළහැර යෝධ ඇළේ තිබෙන ඔරු බැදි සියඹලාව නැමැති ඉපැරැණි වෘක්ෂය හා මහසෙන් රාජ නාමයට එකට බැඳී ඇති බව කියති. මින්නේරිය වැවට යාබදව කුඩා වැව් ද ඇත.

ලංකාව ඉංග්‍රීසීන්ට යටත්වූ අවදියේ මින්නේරියට ආ ජෝන් ඩෙව් වැවේ සොරොව්වේ රූපයක් පවා ඇඳ තිබේ. 50 දශකයේ මින්නේරිය වැවේ බැම්ම කඩාගෙන යන බවට තොරතුරු දිවංගත සී. පී. ද සිල්වා මහතාට දැන ගැනීමෙන් පසුව එතුමා ඒ ස්ථානයට පැමිණ වැවට වැඳ විනාශයක් කරන්න එපා කියා ඇති බව මින්නේරිය ජනතාව පවසති.

මින්නේරිය වැව යටතේ මින්නේරිය හා ගල් අමුණ නමින් ගොවි ව්‍යාපාර දෙකක් ඇත. මෙහි අක්කර ප්‍රමාණය අක්කර 22,000කි. මින්නේරිය වැව් බැම්ම මත හා එයට යාබද රජ ඇළ ප්‍රදේශයේ දේවාල දෙකක් පිහිටා ඇත.

 

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *