අතීතයේ වෙළඳ නාවික ලොව අණසක පැතිරවූ ෆීනීෂියානුවන්

පුරාණ ලෝකයේ නාවික හා වෙළඳ කටයුතු අතින් දක්ෂතමයන් ලෙස සැලකෙන්නේ ඔවුන්ය. සුළං බලය යොදා ගෙන තරු රටා අනුව මඟ සොයා ගනිමින් මහා සාගරය තරණය කළ ඔවුන් අති දක්ෂ නාවිකයෝ වූහ. අද ලෝකයේ වඩාත් ප‍්‍රචලිත භාෂාවක් වූ ඉංග‍්‍රීසි භාෂාවට හෝඩිය ලැබුණේ ඔවුන්ගෙනි. ඔවුන් අයත් වන්නේ වසර 4000කට පෙර පැවති ඉතා දියුණු ශිෂ්ටාචාරයකටය. ඔවුන් හැඳින්වෙන්නේ ෆීනීෂියානුවන් ලෙසයි. මේ ඔවුන්ගේ කතාවයි.

වෙළඳාමට හපන් ෆීනීෂියානුවෝ

පුරාණ ලෝකයේ දක්ෂතම වෙළඳ නාවිකයන් ලෙස සැළකෙන්නේ ෆීනීෂියානුවන්ය. ඔවුන් ජීවත් වූයේ නැගෙනහිර මධ්‍යධරණී වෙරළ තීරයේය. අද මෙම ප‍්‍රදේශ අයත් වන්නේ සිරියාව, ලෙබනනය සහ ඊශ‍්‍රායලයටය. කි.පූ. 1500 දී පමණ ෆීනීෂියානුවන් ඔවුන්ගේ මනරම් නගර ඉදිකර ගත් අතර ඔවුන්ගේ ප‍්‍රධාන වෙළඳ වරායන් පිහිටුවා ගත්තේ ටයර් සහ සයිඩොන් යන නගරවලයි. ෆීනීසියානු වෙළඳ ගනුදෙනු දියුණුවෙන් දියුණුවට පත්වීමට මේ වෙළඳ වරායන් බෙහෙවින් උපකාරී විය.

ෆීනීෂියානුවන්ගේ වටිනා වෙළඳ භාණ්ඩ

මධ්‍යධරණිය පුරා වෙළඳ ගනුදෙනු කළ ෆීනීෂියානුවන්ගේ වෙළඳ හුවමාරු භාණ්ඩ ලෙස සැළකෙන්නේ වීදුරු බඩු, දැව, දේවදාර තෙල්, දම්පාටින් වර්ණ ගැන්වූ ඇඳුම් සහ ඇත් දළය. ඔවුහු බටහිර දෙසින් බි‍්‍රතාන්‍යය දක්වාත් අපි‍්‍රකානු වෙරළ තීරය දක්වාත් යාත‍්‍රා කළහ. යළි ආපහු පැමිණෙද්දී ඔවුහු රිදී, තඹ සහ ටින් රැගෙන ආහ. දේවදාර දැව සහ තෙල් ඔවුන්ගේ වටිනාම භාණ්ඩ අතර තිබිණි. ජෙරුසෙලමේ සොලමන් රජ්ජුරුවන්ගේ දේවාලය ඉදිකිරීමට යොදා ගැනුනේ දේවදාර දැවයි. මේ දැව සපයා ඇත්තේ ටයර් නුවරින් බව ඉතිහාසයේ සඳහන් වේ. ටයර් නුවරදී නිෂ්පාදනය කළ ඇඳුම් වර්ණ ගැන්වූ දම් මිශ‍්‍ර රතු පැහැයෙන් යුත් වර්ණකයක් නිසා ෆීනීෂියානුවන් රෙදිපිළි බෙහෙවින් ජනප‍්‍රිය විය. මෙම වර්ණකය නිපදවීමට යොදා ගැනුනේ බෙලිකටු විශේෂයකි. ගී‍්‍රක ජාතිකයන් ෆීනීෂියානුවන් හැඳින්වූයේ ‘පොයිනෝස්’ යනුවෙනි.

අපි‍්‍රකාවේත් වෙළඳ ජනපදයක්

සමහර ෆීනීෂියානු වෙළෙන්දෝ වෙළඳ හුවමාරු සඳහා ජනපද බිහි කර ගත්හ. එවැනි ජනපද එක්වී බිහිවූ එක් විශාල නගරයක් වූයේ අපි‍්‍රකාවේ උතුරුදිග වෙරළ තීරය අසළ පිහිටි කාර්තේජ් නගරයයි. මේ නගරය පිහිටි ප‍්‍රදේශය අද අයිති වන්නේ ටියුනීසියාවටය. මෙම නගරය ඉදි කරනු ලැබුවේ කි‍්‍ර.පූ. 814 දීය. ෆීනීසියාව ආක‍්‍රමණවලට ලක්වූ පසුවත් බටහිර මධ්‍යධරණී කලාපයේ ආධිපත්‍යය පතුරුවා ගෙන සිටීමට මෙම නගරයට හැකිවිණි.

‘Young man of Byrsa’ ලෙස නම් කර ඇති, 1994 වසරේදී සොයාගත් DNA සාම්පලයකින් නිර්මිත රුව

A reconstruction of what the ‘Young man of Byrsa’

දක්ෂ නාවිකයෝ

ෆීනීෂියානුවන්ගේ සාර්ථකත්වයට හේතු වූයේ මුහුදු ගමන් පිළිබඳ ඔවුන් තුළ පැවති නිපුණත්වයයි. ඔවුන්ට දේවදාර දැවවලින් නිපදවූ ශත්කිමත් හා ඉතා අනර්ඝ නැව් තිබිණි. වේගයෙන් යා හැකි දිග පළල හා ඉතා හොඳ ශක්ති සම්පන්න මෙම නැව් වෙළඳ භාණ්ඩ ප‍්‍රවාහනයට මෙන්ම යුද නැව් ලෙසත් භාවිතයට ගැනින. ඔවුන් විසින් ප‍්‍රවාහනය කරද්දී බඩු බාහිරාදිය තැන්පත් කරන ලද්දේ විශාල මැටි භාජනවලය. ඒවා ඉතා ආරක්ෂිතව නැව් තට්ටුවට පහළින් ගබඩා කෙරිණි. පළල් නෞකා තලයකින් නිර්මාණය කෙරුණු මෙම නැව්වලට ඉතා වේගයෙන් ගමන් කර හැකිවිණි. නිවැරදි සිතියම් නොතිබුණත් ෆීනීෂියානුවන් දක්ෂ නාවිකයින් වූයේ ගමන් මඟ සොයා ගැනීමට තරු රටා හා ගමන් කිරීමට සුළං බලය භාවිතා කළ නිසාය.

පාරාවෝගේ ගවේෂණය

කි‍්‍ර.පූ. 600 දී දෙවැනි නෙකෝ නම් මිසර පාරාවන්ට අප‍්‍රිකාව වටා යාත‍්‍රාකරමින් ගවේෂණයක් කිරීමට අවශ්‍ය විය. ඒ සඳහා ඔහු කුලියට ගත්තේ ෆීනීෂියානු නාවිකයන් පිරිසක් හා කාතේජියානු නගරයේ අද්මිරාල්වරයෙකි. මේ ගවේෂණ චාරිකාව නිමා කිරීමට වසර 3 ක කාලයක් ගත වූ බව වාර්තා වේ.

ෆීනීෂියානු නැව්

ෆීනීෂියානුවන්ගේ වෙළඳ නැව්වලට යොදා ගැනුණේ විශාල සමචතුරස‍්‍රාකාර රුවල්ය. නැව් යාත‍්‍රා කිරීමට ප‍්‍රධාන වශයෙන් යොදා ගැනුනේ සුළං බලයයි. ඊට අමතරව හබල් යෙදු මිනිස් බලයත් මේ නැව්වලට යොදා ගැනුණි. ඒ නැව්වල ප‍්‍රධාන කුඹ ගස මුදුනේ නැවියකුට රැුඳී සිට ඈත බලන්නට විපරම් කුටියක් ද තනා තිබුණි. ෆීනීෂියානුවන්ගේ නාවික වෙළඳ ගනුදෙනු කොතරම් බහුල ව සිදු වූයේ ද කිවහොත් කාතේජ් නුවර වරායන් දෙකක් තිබිණි. එයින් එකක් වෙළඳ කටයුතුවලට යොදා ගනු ලැබූ අතර අනෙක නාවික හමුදා කටයුතුවලට යොදා ගැනිණ.

දියමන්ති මෙන් වටින වීදුරු

පුරාණ ලෝකයේ ඉතා වටිනාම හා ඉහළම මිලක් ගත් භාණ්ඩ ලෙස ෆීනීෂියානුවන් නිපදවූ ඉතා අලංකාර වීදුරු බඳුන් හැඳින්විය හැකිය. වීදුරු නිර්මාණ කලාව මුලින් ම භාවිතා කළේ මිසර ජාතිකයින් විසින් වුවත් ෆීනිෂියානුවන් වීදුරු කලාවට අත ගැසීමත් සමඟ වඩාත් අලංකාර නිර්මාණ බිහිවිණ. මේවාට දියමන්ති හා සමාන අයුරින් වටිනාකමක් ලැබිණි.

වීදුරුවලින් අලංකාර නිර්මාණ

වැලි හා තිරිවානවලින් පිරිසිදු වීදුරු නිර්මාණය කිරීමට හා ඒවා යොදා ගනිමින් අපූරු වෙස් මුහුණු නිර්මාණය කිරීමට ද ෆීනීෂියානුවෝ දක්ෂයෝ වූහ. ඔවුන් ඒවා වර්ණ ගැන්වීම සඳහා වර්ණක යොදා ගැනිණ.

ෆීනීෂියානුවන්ගේ අකාරාදිය

කි‍්‍ර.පූ. 1000 දී ෆීනීෂියානුවන් සරල අකාරාදියක් භාවිතා කළහ. මෙම අකාරාදියට අක්ෂර 22 ක් තිබිණි. මෙම අකාරාදියට ග‍්‍රීකවරුන්ගෙන් ප‍්‍රාණාක්ෂර එකතු විය. ෆීනීෂියානුවන් හා ග‍්‍රීකවරුන් අතර සම්බන්ධකම් ඇතිවූයේ වෙළඳ ගනුදෙනුවලිනි. ග‍්‍රීකවරුන්ගේ අකාරාදිය පසුව රෝමවරුන් විසින් භාවිතා කිරීමට පටන් ගැණින. අප අද භාවිතා කරන ඉංගී‍්‍රසි අක්ෂරවල ආරම්භක අවධිය මෙය වේ.

අත්කම්වලටත් දක්ෂයෝ

ෆීනීෂියානුවෝ කුඹල් කර්මාන්තයටත් දක්ෂයෝ වූහ. මෙම ටෙරා කොටා හිස නිර්මාණය කර ඇත්තේ දෙවැනි ශතවර්ෂයේදීය. ෆීනීෂියානු අත්කම් නිර්මාණකරුවන් දක්ෂ කුඹල්කරුවන් වූවාක් මෙන්ම ඇත්දත් කැටයමට, ලී කැටයමට මෙන් ම ලෝහ කර්මාන්තයටත් දක්ෂයෝ වූහ. එදිනෙදා ජීවිතයට අවශ්‍ය බඩු බාහිරාදිය මෙන්ම වෙළඳාමට ද ඔවුහූ මෙම භාණ්ඩ නිර්මාණය කළහ.

ෆියුනීශියානුවන්ගේ ව්‍යාප්ති සිතියම

ෆීනීෂියානුවෝ

කි‍්‍ර.පූ. 1200 දී – ෆීනීෂියානුවන්ගේ බලය වර්ධනය වීම.
කි‍්‍ර.පූ. 1140 දී – උටෙලා නම් ෆීනීෂියා ජනපදය උතුරු අප‍්‍රිකාවේ පිහිටවීම.
කි‍්‍ර.පූ. 1000 දී – ෆීනීෂියානු අකාරාදිය මනාව සැකසීම.
කි‍්‍ර.පූ.   814 දී – උතුරු අපි‍්‍රකාවේ කාතේජ් නගරයක් බිහිවීම.
කි‍්‍ර.පූ.   729 දී – පස්වැනි ෂල්මෙන්සර් නම් ඇසිරියානු රජු ෆීනීෂියාව ආක‍්‍රමණය.
කි‍්‍ර.පූ.   727 දී – ෆීනීෂියානුවන්ගේ අකාරාදිය ග‍්‍රීකවරුන් විසින් පරිහරණය කිරීම ඇරඹීම.
කි‍්‍ර.පූ.   332 දී – මහා ඇලෙක්සෙන්ඩර් රජු ෆීනීෂියාව ආක‍්‍රමණය.
කි‍්‍ර.පූ.   146 දී – පියුනික් යුද්ධය නිමාවීමත් සමඟ රෝමන්වරු කාතේජ්වරු පැරදවීම.

 

malkakulu.com ඇසුරිණි

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *