හෙළ කලාවේ නිපුනත්වය පෙන්නුම් කරන අවුකන බුදු පිළිමය

ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා නෙළීම ආරම්භ වූයේ කවරදාකද යන්න ඉතිහාසය තවමත් ගෙනහැර දක්වන්නේ නැත. නමුත් වංශ කතාවලට අනුව නම් ක්‍රි.පූ තුන්වන සියවසේදී දෙවන පෑතිස් රජතුමා ථූපාරාමයේ බුදු පිළිමයක් තැන්පත් කළ බව සදහන් වේ. කෙසේ වුවද ඒ පිළිබදව තවමත් වැඩිදුර සාක්ෂි සොයාගන්නට ඉතිහාසඥයන් අසමත්ව ඇත.

මහාවංශය සදහන් කරන ආකාරයට දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලිසෑයේ ධාතු ගර්භයේ බුදු පිළිමයක් තැන්පත් කළ බව සදහන් වේ. එළෙසින්ම වසභ රජතුමන් විසින්ද ශ්‍රී මහා බෝධියේ සතර පැතිවල බුදුපිළිම හතරක් කරවූ බවත් වෝහාරික තිස්ස, ගෝඨාභය, ජෙට්ඨතිස්ස මෙන්ම ධාතුසේන යන රජවරුන්ද ගල් හා ලෝහ යොදාගෙන බුදුපිළිම නිර්මාණය කළ බව අපේ පැරණි වංශ කතා හෙලිදරව් කරනු ලැබේ.

මෙකී වංශ කතා හා අනෙකුත් මූලාශ්‍ර සදහන් කරන තොරතුරු සලකා බලන විට අපට ලංකාවේ බුදුපිළිම නෙළීම අතින් දියුණු තාක්ෂණයක් තිබූ බව අනිවාර්යෙන්ම සැලකිය හැක. ඒ බව මනාව පිළිබිඹු කරන ස්ථාන ලෙස සමාධි බුද්ධ ප්‍රතිමාව, මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව දැක්විය හැක.

අනුරාධපුර යුගයේ නිර්මාණය වූ හිටි පිළිම සලකා බලන කල්හි ඉතාම වැදගත් නිර්මාණයක් ලෙස අවුකන බුද්ධ ප්‍රතිමාව සදහන් කළ හැක. මෙය ක්‍රි.ව 5 වන සියවසේ රජකල විශිෂ්ඨ රජෙකු ලෙස සැලකෙන ධාතුසේන රජතුමන්ගේ නිර්මාණයක් ලෙස සැලකේ.

කලා වැව ආසන්නයේ පිහිටා තිබෙන අවුකන ග්‍රාමයේ මෙය පිහිටි බැවින් මෙයට ඒ නම ලැබී ඇති බව සිතියන්හැක. කළුගල් පර්වතයේ පූර්ණ උන්නතව පද්මාසනයක් මත වැඩසිටින ආකාරයෙන් නිර්මිත මේ බුදුපිළිමය උසින් අඩි 38යි අගල් 10 ක් පමණ වේ. දකුණු අතින් අභය මුද්‍රාවත් වමතින් සිවුරු රැල්ල දරා සිටින අයුරින් නිර්මිතය. ඒකාංශ ක්‍රමය අනුව සිවුර රිද්මයානුකූල වූ රැළි රටාවකින් යුක්ත වන අතර එය ඇගට ඇලුණු ස්වභාවයක්ද දක්නට හැක. අනුරාධපුර යුගයේ බුද්ධ ප්‍රතිමාවලට ආවේණික වූ සිවුරේ ඇති තනි රැල්ල මෙම පිළිමය තුලින්ද මනාව ඔප්නංවා තිබෙන අයුරු දක්නට තිබේ.

මෙම බුද්ධ ප්‍රතිමාව ධාතුසේන රජතුමන්ගේ නිර්මාණයක් ලෙස පිළිගැනීමට සමහර උගතුන් මැළිකමක් දක්වන නමුත් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහස වී ඇත්තේ මෙය ධාතුසේන රජතුමන්ගේ නිර්මාණයක් බවය.

මෙම පිළිමයේ මුහුණු අණ්ඩාකාරව නිමැවී ඇති අතර දෙඇස්වලින් ගැඹුරු හැගීම් විදහා දක්වන බව වියතුන්ගේ අදහස වී තිබේ. හිස මුදුනේ දක්නට ඇති සිරස්පත් බිමට වැටී තිබුණු බවත් පසුව ඒවා සවිකරන්නට ඇතැයි යන්නත් බොහෝ දෙනා විශ්වාස කරනු ලබති. මෙහි තිබී සොයාගත් සෙල්ලිපි සදහන් කරන ආකාරයට අවුකන පිළිමයෙහි පද්මාසනය අටවන හා නවවන සියවස් වලට අයත් වූවක් බව සැලකිය හැක.

මෙම බුදුපිළිමයෙන් පිළිබිඹු කරනුයේ ගෞතම බුදුරජාණන් වහන්සේ නොව දීපංකර බුදුරජාණන් වහන්සේ බව බොහෝ උගතුන් හා වියතුන් විශ්වාස කරති. මන්ද ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිබිඹු කරන බුද්ධ ප්‍රතිමා සාමාන්‍යයෙන් දහඅටරියනක් වූවත් මෙය ඊට වඩා උසින් යුතු වීම එයට හේතුව ලෙස සදහන් කළ හැක. මෙමගින් අභය මුද්‍රාව නිරූපනය කරන අතර එමගින්ද මින් පිළිබිඹු කරනුයේ දීපංකර බුදුරදුන් බව සැලකිය හැකිය.

පැරණි ඉන්දියාවේ කලාව තුල පැවැති විශිෂ්ටත්වය පෙන්නුම් කරන අමරාවතී බුදුපිළිම වල දක්නට ලැබෙන ලක්ෂණ අවුකන බුදුපිලිමයේද දකින්නට හැකි බවට ඇතැම් මත පල වේ.

අවුකන බුද්ධ ප්‍රතිමාවේ නිර්මාණ ශිල්පියා ගත්කල ඔහුට මානව රූපය පිලිබදව හසල දැනුමක් තිබූ බවට සැලකිය හැක. එසේම මෙම පිළිමයේ ලම්භකතවය සැලකූ විට ඉතා විශ්මය දනවන කාරණය නම් නාසයට වැටෙන ජල බිදුවක් පා දෙකට හරි මැදින් වැටෙන අයුරින් ප්‍රථිමාව නිමවා තිබීමය. තවත් එවැනිම විශිෂ්ටත්වයට පිළිබිඹු කරන කාරණය නම් සිරුරේ රැළිවල දක්නට ඇති සමාන්තරත්වයයි. කළුගලක් තුළ ඇගිලිවල නියපොතු පවා දක්වා ඇති ආකාරය සලකා බැලූ කල මෙහි නිර්මාණ ශිල්පියා කෙතරම් මානව රූපය පිළිබඳව අවබෝධයකින් යුතු වූවාද යන්න නිගමනයකට එලැබීමට අපට හැකිවනවා නොඅනුමානය. එළෙස බැලූ කල මින් පෙන්නුම් කෙරෙනුයේ අතීත අපේ පැරණි මුතුන් මිත්තන්ගේ කලාවේ හා තාක්ෂණයේ පැවති විශිඨත්වය නොවේද?

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *