මහා ගංගා දෙකකට මැදි වූ දේශය : මෙසපොටේමියානු ශිෂ්ටාචාරය

ජාර්මෝ කන්දේ සිට දකුණට ඇත්තේ උෂ්ණාධික කාන්තාරමය නිසරු බිම් පෙදෙසක්. නිසරු වුනත් මේ භූමි ප‍්‍රදේශය හරහා ගංගා දෙකක් ගලා බසින්න වුණා. නයිල් ගංගාව වගේම මේ ගංගා දෙකත් වසරකට වරක් පිටාර ගලා යනවා. නයිල් ගංගා නිම්නයේ පස සාරවත් වී ජනාවාස බිහිවුණා සේම මේ ගංගා නිම්නයේත් ජනාවාස බිහි වීම ඇරඹුණේ මේ හේතුව හින්දයි. ග‍්‍රීකයන් මේ සාරවත් භූමිය හැඳින්වූයේ ‘මහා ගංගා දෙකකට මැදි වූ දේශය’ එසේත් නැතිනම් මෙසපොටේමියාව කියලයි. මේ ගංගා දෙක තමයි යුප‍්‍රටීස් සහ ටයිග‍්‍රීස්. යුප‍්‍රටීස් හා ටයිග‍්‍රීස් ගංගා නිම්න ආශි‍්‍රතව මෙසපොටේමියාවේ ප‍්‍රධාන වශයෙන් මහා ශිෂ්ටාචාර තුනක් බිහි වුණා ඒවා තමයි සුමර්, ඇසිරියා සහ බැබිලෝනියා.

ව්‍යාප්ති සිතියම

මෙසපොටේමියා හෙවත් මාරි සොයා ගැනීම

යුප‍්‍රටීස් ගංගාවේ බටහිර ඉවුරේ වැලි සහ දූවිලිවලින් පිරුණු පහත් කඳුකරයේ (මෙම ප‍්‍රදේශය වර්තමානයේ අයත් වෙන්නේ සිරියා සහ ඉරාක දේශසීමාවටයි) සොහොන් වලක් කපද්දී සිරියානු ජාතිකයන් පිරිසකට පැරණි පිලිමයක් හමුවුණා. මේ ගැන උනන්දු වූ ප‍්‍රංශ පුරාවිද්‍යාඥ කණ්ඩායමක් ඇවිත් මෙම ප‍්‍රදේශයේ වැඩිදුර කැණීම් ආරම්භ කළා. මේ කැණීම්වල ප‍්‍රතිපලය වුනේ ‘මෙසපොටේමියා නගරය’ එසේත් නැතිනම් ‘මාරී’ නගරව සොයා ගැනීමයි. වසර 6 ක් යද්දී මෙම ප‍්‍රංශ පුරාවිද්‍යා කණ්ඩායමට හැකිවුණා නටඹුන් වී ගිය ඉතාමත් අනර්ඝ මාලිගාවක් සහ ඒ අසළ ඉදි කළ දේවාල මතු කර ගන්නට. පිටතින් බලද්දී මෙම මාලිගාව බලකොටුවක් වගෙයි. ඒත් ඇතුළට ගිය විට සුවපහසු කාමර, ගල් ඇල්ලූ නානකාමර, මනා වැසිකිළි පද්ධතියක් සහ අපද්‍රව්‍ය බැහැර කරන පද්ධතියක් දකින්න ලැබුණා. ඒ විතරක් නොවේ මෙම මාලිගාවේ බිත්ති චිත‍්‍රවලින් අලංකාර කර තිබුණා. මෙහිදී ඔවුන්ට හමුවුණා මැටි පුවරු 25,000 ක්. මේ මටි පුවරු කීලාකාර අක්ෂරවලින් පිරී තිබුණා. මාරි දේශයේ රජවරුන් වැදගත් දේ සටහන් කර තැබුවේ මේ පුවුරුවල. රජවරුන්ගේ ආදායම් මාර්ග ගැන හා මුදල් ලැබෙන ක‍්‍රම සහ ඒවා වියදම් කළ අයුරු, මාරි වැසියන්ගේ වෙළඳ කටයුතු සහ අසල් වැසි රජවරු හා රාජ්‍යයන් ගැන තොරතුරු මේවායේ සටහන් වී තිබුණා. අසල්වැසි රටවල සිටි සතුරු හා මිතුරු රජවරුන් කවුරුන්ද ආදී දේවල් පවා එහි අඩංගු වුණා. මෙසපොටේමියාවේ ඓතිහාසික තොරතුරු දැන ගැනීමට මෙම මැටි පුවරු ඉතිහාසඥයින්ට ඉතා වැදගත් වුණා.

හමුරාබි – බැබිලෝනියාවේ අධිරාජ්‍යයා

හමුරාබි – බැබිලෝනියාවේ අධිරාජ්‍යයා

මෙම මැටි පුවරු හමුවෙන්න කලින් පුරාවිද්‍යාඥයන් විශ්වාස කළේ කි.පූ. 1800 සහ 1750 කාලයේ මෙම ප‍්‍රදේශයේ ජීවත් වූයේ එක් රජ කෙනෙක් පමණයි කියලයි. ඒ රජු තමයි බැබිලෝනියානු දේශයේ හමුරාබි රජ්ජුරුවෝ. පුරාවිද්‍යාඥයන් මේ බව අනුමාන කළේ මුලින්ම සිදුකළ කැණීම්වලදී සොයා ගත් සාක්ෂි අනුවයි. හමුරාබි රජු හා මෙසපොටේමියානු ඉතිහාසය සම්බන්ධ ඉතිහාසඥයින් තුළ තිබූ ආකල්ප සියල්ල පවා මෙම මාරි කැණීම් ඇනුව වෙනස් වුණා. අද අපි මෙසපොටේමියාව ගැන දන්නේ පුරාවිද්‍යා තොරතුරු හා මෙසපොටේමියානුවන් ඔවුන් ගැන ලියා තිබූ තොරතුරු අනුවයි. ඒත් මෙසපොටේමියාව ගැන මිසර වැසියන්, යුදෙව්වන් සහ ග‍්‍රීක වැසියන් ලියූ තොරතුරු පවා හමුවී තියෙනවා. ඔවුන්ගේ සිතුවම්වලින් මෙසපොටේමියාව ගැන කරුණු කාරණා රැුසක් හෙළි වී අවසන්. මෙසපොටේමියාවේ බිහිවූ බුද්ධිමත් ම, කලාකාමී රජු ලෙස සැළකෙන්නේ හමුරාබි රජු (ක‍්‍රි.පූ. 1792 – 1750) ය. හමුරාබි රජු මෙසපොටේමියාව ආක‍්‍රමණය කළ පසු ඔහු ඔහුගේ රාජධානිය හා බලකොටුව වුණේ අවුරුදු 4000 කට පෙර යුප‍්‍රටීස් ගංගා නිම්නයේ ඇති වූ ජනාවාස සමූහය කෙමෙන් වර්ධනය වීමෙව් බිහිවූ බැබිලෝනියා නගරයයි. හමුරාබි රජු ඔහුගේ රටවැසියන් හා රාජ්‍යය පාලනය කළේ පුරාණ සාම්ප‍්‍රදායික ගරු කරමින් සිය රටවැසියන් ආරක්ෂා කිරීමට නීතිරිති ආදිය පනවමිනුයි. ඔහුගේ රාජ්‍යපාලන කටයුතු සඳහා පනවා තිබූ නීති 282 ක් ඔහු විසින් ශිලා ස්ථම්භයක කීලාකාර අක්ෂරවලින් කොටා තිබෙනවා. හමුරාබි රජුගේ අධිරාජ්‍යය 1595 දී බිඳ වැටිණේ ඇනටෝලියාවෙන් පැමිණි හිටයිටිවරුන්ගේ කොල්ලකෑම් හා ඊටපසු කඳුකරයේ සිට පැමිණි කැසිට්වරුන්ගේ ආක‍්‍රමණයන් සමඟයි.

ක‍්‍රි.පූ. 1600 සිට 1190 දක්වා කාලයේ බැබිලෝනියාව පාලනය කළේ කැසිට්වරුනුයි. කැසිට්වරු වඩාත් ප‍්‍රසිද්ධ ඔවුන් දේශසීමා මායිම් ලකුණු කිරීමට තැන්පත් කළ ඉතා අලංකාර කැටයම්වලින් සිතුවම් කළ ‘මායිම් ගල්’ නිසාය. සාරවත් බිම් පෙදෙස් සහ නිසරු බිම් පෙදෙස් ලකුණු කිරීම සඳහා ඔවුන් වෙන වෙනම කැටයම් කළ ගල් කුට්ටි යොදා ගත්හ. මෙම ගල් කුට්ටිවල කැටයම් කර තිබුණේ කැසිට්වරු දේවත්වයෙන් වන්දනාමාන කළ රූප හා සංකේතවලිනුයි. කැසිට්වරුන්ගේ පාලනය අවසන් වීමත් සමඟම බැබිලෝනියාව තව තවත් පරිහානියට පත්විණි. ක‍්‍රි.පූ. 689 දී ඇසිරියානුවන් අතින් බැබිලෝනියාව විනාශයට පත්විණි. ඒත් ක‍්‍රි.පූ. 612 දී බැබිලෝනියානුවෝ යළි නැගී සිට ඇසිරියානුවන් පරාජයට පත් කළහ. ඉන්පසු යළිත් වතාවක් බැබිලෝනියාව ලෝකයේ එවකට පැවති ශ්‍රේෂ්ඨතම නගරය බවට පත්විණි. කි.පූ. 539 දී බැබිලෝනියාව පර්සියානු අධිරාජ්‍යයට යා විණි. කි‍්‍ර.පූ. 1770 දී හමුරාබි රජුට මෙසපොටේමියාවෙන් වැඩි කොටසක් අල්ලා ගැනීමට හැකිවී තිබුණි. බැබිලෝනියා අධිරාජ්‍යය පැවතුණු අවධිය පුරාම අගනුවර ලෙස පැවතුණේ බැබිලෝනියානු නගරයයි.

සුමේරියානුවෝ

යුප‍්‍රටීස් සහ ටයිගී‍්‍රස් ගං ඉවුරු සාරවත් වුනත් ඒවා වගා බිම් ලෙස භාවිතා කරන්න මනාව සකස් කළ යුතු වුණා. කලින් කළට ගංගා පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර තත්වයන් කුඩා ඇල මාර්ග සහ වේලි ඉදි කරමින් පාලනය කිරීමට සිදුවුණා. මෙසපොටේමියාවේ මුල්ම ජනාවාස පිහිටුවා ගත්තේ ගංවතුරින් බලපෑමට ලක් නොවූ උස් ගංගා නිම්නවලයි. ඔවුන් සාරවත් පස අවශ්‍ය පරිදි සකස් කර ගත් නිසා වගා බිම් ලෙස යොදා ගැනුණා. අසළ පිහිටි වගුරු බිම්වලින් මසුන්, තාරාවුන් අහාර වශයෙන්ද පැල්වත් සෙවිලි කිරීමට පන් ද ලබා ගැනීමට හැකිවුණා. වගාබිම්වල වර්ධනයත් සමඟ ප‍්‍රදේශයේ ඉදිවූ ගම්මාන විශාල වුණා. ක‍්‍රි.පූ. 4000 සහ 3000 අතරේ උතුරින් ආ ජන කොට්ඨාශයක් මෙසපොටේමියාවේ දකුණින් පිහිටි ප‍්‍රදේශවල ජනාවාස පිහිටුවා ගත්තා. සුමේරියානුවන් ලෙස හැඳින්වෙන්නේ මොවුන්. මොවුන් දක්ෂ ගොවීන් හා අත්කම් ශිල්පීන් වුණා. විශාල පිරිසක් සාමූහිකව කටයුතු කරන අයුරු මොවුන් ඉගෙන ගෙන තිබුණා. කුඩා පිරිසකට කළ නොහැකි කාර්යයන් රැසක් එකමුතුව කිරීමට ශවුන්ට හැකිවුණේ එහෙයිනි. රජවරුන්ගේ මඟ පෙන්වීම් යටතේ සුමේරියානුවන් ගංගා හරහා වේලි, ඇල මාර්ග සහ ජලාශ ඉදි කළා.

නටබුන්

කි‍්‍ර.පූ. 539 දී දෙවැනි සයිරස් රජු බැබිලෝනියා රාජ්‍යය තම අධිරාජ්‍යයට ඈදා ගත්තේය. සයිරස් රජුගේ පුත‍්‍රයා කැම්බයිසිස් බලහත්කාරයෙන් බලයෙන් පහකර බලයට පත්වූ පළමු ඩැරියස් බැබිලෝනියා රාජ්‍යය දියුණු කළා. බැබිලෝනියානු අධිරාජ්‍යය සමයේ ශ්‍රේෂ්ඨ සාහිත්‍ය හා කලා නිර්මාණ බිහිවිය. එදා මෙන්ම අදත් ඒවා ලොව පුරා ප‍්‍රසිද්ධියටත් පත්වී ඇත. අමරණීයත්වය සොයා ගිය සුමේරියානු වීරයා ගිල්ගමේෂ්ගේ වික‍්‍රමය ඒ අතර කැපී පෙනෙනවා. මෙම වීර කතාව කීලාක්ෂර මගින් මැටි ඵලකවල සටහන් කොට ඇත. මීට අමතරව අලංකාර සිතුවම් ඇදි ඵලක, වීදුරු නිර්මාණ තිබෙනවා.

ඉෂ්තාර් දොරටුව

ඉෂ්තාර් දොරටුව

නෙබුකැඞ්නෙසාර් රජු විසින් ඉදි කළ අපූරු නගර ද්වාරය බැබිලෝනියානු අධිරාජ්‍යයේ වාස්තු විද්‍යා බල මහිමය කියා පෑමට සමත්වෙයි. මෙය ඉෂ්තාර් දොරටුවයි. කළු පැහැති මෙම දොරටුවේ රනින් ඇඳි අලංකාර සැරසිලි සහ මකර සහ ගව රූප දැකිය හැකියි. මකර රූපවලින් මාඩුක් දෙවියන් නිරූපණය වෙයි. ගව රූපවලින් නිරූපණය වන්නේ කාලගුණයට අධිපති අදාද් දෙවියන්ය. මෙම දොරටුව ආරක්ෂක පවුරක් ලෙස ද භාවිතා කර තිබේ.

විද්‍යාවෙන් පෝෂණය වූ බැබිලෝනියානුවන්

උගතුන්ගේ හා විද්‍යාඥයන්ගේ පුරයක් ලෙස ද බැබිලෝනියාව සැළකේ. බැබිලෝනියාවේ දක්ෂ තාරකා විද්‍යාඥයින් තරු සහ ග‍්‍රහලෝක ගැන පුළුල්ව අධ්‍යයනයන් කර ඇත. ඒ ගැන තොරතුරු සටහන් කළ මැටි ඵලක පුරාවිද්‍යාඥයින්ට හමුවී තිබේ. අනාගතය හෙළිකිරීමට ඔවුන් මේ තොරතුරු යොදා ගත්හ. ඔවුන්ගේ මේ තොරතුරු කොතරම් පැහැදිලි හා නිවැරදිව කිවහොත් වර්තමාන තාරකා විද්‍යාඥයින්ට අතීතයේ සිදුවූ තාරකා විද්‍යා තොරතුරු දැනගැනීමට ඒවා උපකාරී වී තිබේ. පුරාණ ගී‍්‍රක සහ රෝමවරු බැබිලෝනියානු තාරකා විද්‍යාඥයින්ගේ ක‍්‍රම යොදා ගනිමින් ග‍්‍රහලෝක නම් කළහ.

බැබිලෝනියානුවන්ගේ ආගම්

බැබිලෝනියානුවන් ඇදහූයේ සුමේරියානුවන්ගෙන් දායද වූ ආගමයි. ඒ අනුව දෙවිවරු හා දේවාත්ම ඔවුන්ගේ ජීවිතවල සෑම කටයුත්තකටම සම්බන්ධ බව විශ්වාස කළහ. මෙම දෙවිවරුන්ගෙන් ප‍්‍රධාන තැනක් ගත්තේ අහසට අධිපති ‘අනු’ දෙවියායි. අනෙක් වැදගත් දෙවි දේවතාවුන් සියලූම දෙනා උපන්නේ ‘අනු’ දෙවිදුන්ගෙනි. ඒ අතර ‘ඉෂ්තාර්’ ආදරය හා යුද්ධයට අධිපති දෙවඟන, බුද්ධියට හා ජලයට අධිපති ‘ඒආ’ කැපී පෙනෙයි. බැබිලෝනියාවේ දෙවියන් ලෙස සැළකෙන ‘මාඩුක්’ දෙවියන්ගේ පියා ලෙස සැළකෙන්නේ ‘ඒආ’ ය. බැබිලෝනියානුවන්ගේ විශ්වාසය වූයේ ලෝකය මැව්වේත් දෙවිවරුන්ගේ රුධිරය මුසු කරමින් මනුෂ්‍යයින් මැව්වේත් ‘මාඩුක්’ දෙවියන් බවයි.

බැබිලෝනියාව යළි ගොඩ නැගූ නෙබුචැඞ්නෙසාර්

නෙබොපොලේසර් නම් බැබිලෝනියානු රජු ඇසිරියානු හමුදා පරාජය කිරීමෙන් පසු ඔහුගේ පුත් නෙබුකැඞ්නෙසාර් (කි‍්‍ර.පූ. 605-562) පරිහානියට පත්ව තිබූ බැබිලෝනියානු නගරය මහා පරිමාණයෙන් දියුණු කිරීමට පටන් ගත්තේය. ඔහු විසින් ඉදිකළ අපූරු නිර්මාණ අතර ඉෂ්තාර් දොරටුව සහ දේවාලයත් සිගරට් නම් කලූනත් කැපී පෙනෙයි.

බැබිලෝනියාවේ එල්ලෙන උයන

ග‍්‍රීකවරුන්ට අනුව නෙබුචැඞ්නෙසාර් රජු තවත් එක් අපූරු ඉතාමත් අලංකාර නිර්මාණයක්ද ඉදිකරවනු ලැබිණි. ඒ ඉපැරණි පුදුම හතෙන් එකක් වූ බැබිලෝනියාවේ එල්ලෙන උයනයි. කඳුකරයේ සුන්දර ගස්කොළන්වලින් පිරි දේශයකින් ගෙනා තම බිරිඳගේ පාළුව හා කාන්සිය මකන්නටත් ඇයට ඇගේ ගම්බිම් මතක් වීමටත් මෙම එල්ලෙන උද්‍යානය නිර්මාණය කළ බව ඉතිහාසයේ දැක්වෙයි.

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *