රයිගම වීර අලකේෂ්වර රජු චීනයට පැහැරගෙන ගිය ෂෙන් හෙ (1371-1435)

සවුළු පරාක්‍රමබාහු කෝට්‌ටේ රාජධානියේ පළමු රජුය. එනමුත් හෙතෙම රයිගම රාජධානියේ අවසන් පාලකයාද බව බොහෝ දෙනා නොදනිති. සැබැවින්ම හයවැනි පරාක්‍රමබාහු නොහොත් රුකුළේ කුමාරයා වයස අවුරුදු දහසයේදී රාජ්‍යත්වයට පත් වන්නේ බණ්‌ඩාරගමට නුදුරු රයිගම රාජධානියේය. ඒ වීදාගම මහනාහිමියන්ගේ ආශීර්වාද යටතේය. සැබෑව නම් ලංකාවේ රජකමට සවුළු පරාක්‍රමබාහුවන් යෝජනා කර ස්‌ථිර කර එවන්නේ එකල චීන අධිරාජ්‍යාව සිටි “යොංගල්” අධිරාජයා විසින් වීමය.

චීන අධිරාජයා මෙලෙස ශ්‍රී ලංකාවේ රජ කෙනකු පත් කරන්නේ ඊට පෙර සිටි රයිගම රජු චීන හමුදාව මගින් පැහැරගෙන සිරකරුවකු ලෙස චීනයට රැගෙන යැමෙන් පසුවය. මෙසේ පැහැරගෙන යනලද බව කියන්නේ රයිගම වීර අලකේෂ්වර, නොහොත් අලගක්‌කෝනාරයන්ය. එවක චීන නාවික හමුදාව භාරව සිටි “ෂෙන්-හෙ” නම් සෙනවියා විසින් ශ්‍රී ලංකාවට චීන නාවික සේනාංකයක්‌ මෙහෙයවා අපගේ (රයිගම) රජු චීනයට පැහැරගෙන ගොස්‌ තිබේ.

වීර අලකේෂ්වරද යුද්ධයේ දක්‍ෂයෙකි. එමෙන්ම සෘජු, කෲර ගති ඇති පාලකයෙකු යෑයි කියනු ලැබේ. 15 වැනි ශත වර්ෂයේ රයිගම් නුවර පාලනය කළ හෙතෙම ශ්‍රී ලංකාව අවට, එවක ඉන්දියානු සාගරයේ යාත්‍රා කළ වෙළෙඳ යාත්‍රාවලට මෙන්ම, අවට රටවලට බලපෑම් කළ පාලකයෙක්‌ බව කියනු ලැබේ. මේ වන විටත් බේරුවල වරාය ආශ්‍රීතව අරාබි ජනාවාස ගොඩනැඟී තිබූ අතර ඔවුන් හා එක්‌ව අලකේෂ්වරයන් විදෙස්‌ රටවල් හා සබඳතාද පවත්වාගෙන ගියේය. එනමුත් ඔහුගේ පාලනය නිසා ශ්‍රී ලංකාවට හිතවත්ව තිබූ රටවල් ගණනාවක්‌ විරසක කරගත් බව කියනු ලැබේ. එසේම ඔහු ඉස්‌ලාම් හෝ හින්දු දහම වැළඳ ගැනීමේ නැඹුරුවක්‌ පැවැති බැවින්ද එවක රයිගම විසූ වීදාගම නාහිමියන් රජු සමග නෝක්‌කාඩු ස්‌වරූපයෙන් කටයුතු කළ බව ඉතිහාසය කියයි. එනිසාම නාහිමියන්, වීර අලකේෂ්වරයන් නිසා ජාතිය අනතුරට පත්වීමේ ඇති ඉඩ හඳුනාගෙන චීන අධිරාජ්‍ය සමග කටයුතු කළ බව පැහැදිලි වේ. චීනයත් ශ්‍රී ලංකාවත් බෞද්ධ රටවල් වීම ඊට එක්‌ හේතුවක්‌ විය. ලංකාවේ රජු එම තනතුරෙන් ඉවත් කර ඒ වෙනුවට රජකමට සුදුසු පුද්ගලයෙකුට නව රජකම පවරාදීමේ අවශ්‍යතාව දුටු පුද්ගලයා වීදාගම නාහිමි බව දකින්නට තිබේ. ඊට කදිම අවස්‌ථාවක්‌ද රයිගම රාජ යුගයේදී ඇතිවී තිබිණි.

එනම් එකල චීනයේ යොංගල් අධිරාජ්‍යයාගේ ඉතා හිතෛෂීවන්තම යුද සෙනවියා ලෙස සේවයකළ “ෂෙන්-හෙ” සෙනවියා චීන නාවික හමුදාවද භාරව කටයුතු කළ පුද්ගලයාය. එනම් චීනයට නාවික හමුදාවක්‌ ගොඩනඟන්නේ ඔහුය. එසේ නාවික බලය ගොඩනංවා ලෝකයේ අරාබින් සතුව ඇති වෙළෙඳ බලය අල්ලා ගන්නට “යොංගල්” අධිරාජ්‍යයා විසින් චීන නාවික බලය ලබා දෙන්නේ “ෂෙන්-හෙ” සෙනවියා වෙතය. එසේ නාවික බලය ව්‍යාප්ත කරමින් හා ලෝකයේ වෙළෙඳ මර්මස්‌ථාන සොයමින් “ෂෙන්-හෙ” ගමන් කරන අතර තුර 1405 මුල් භාගයේදී තිස්‌දහසක නාවික සේනාවක්‌ද සමග “ෂෙන්-හෙ” ලංකාවේ බේරුවල වරායට ගොඩ බසින්නේ ලංකාව සමගද සබඳතා ඇතිකර ගනු පිණිසය. එහෙත් චීන සෙන්පතියාගේ ලංකා ගමනය කණ වැකුණු වහාම එවක රයිගම පාලකයා වූ වීර අලකේෂ්වර පනස්‌දහසක හමුදාවක්‌ රැගෙනවිත් “ෂෙන්-හෙ” ගෙ ගොඩ බැසීම තහනම් කර යළිත් ඔවුන් පිටමං කර හැරිය කතාව වෛද්‍ය අජිත් අමරසිංහ මහතා ඔහුගේ “ලක්‌ ඉතිහාසයෙන් වසන් වූ චීන මෙහෙයුම” ග්‍රන්ථයේ සඳහන් කරයි.

ඉන්දියාවේ කැලිකට්‌ වරාය කරා යාත්‍රා කරමින් සිටින අතර මෙසේ බේරුවලට සේන්දු වූ “ෂෙන්-හෙ” ප්‍රමුඛ චීන නාවික සේනාංකය එදා වීර අලකේෂ්වරයන්ගේ සිංහ නාදයෙන් පැරද පළා යන්නේ තවත් දිනෙක ලංකාවට ගොඩබසින බලාපොරොත්තුවෙනි. ඒ ඉන්දියාවේ “කැලිකට්‌”හි වෙළෙඳ බලය ලබා ගැනීමෙන් පසුවය.

ශෙන් හේ ගේ නාවික චාරිකා

කෲර පාලකයෙක්‌ සේ සැලකෙන වීර අලකේෂ්වර “ෂෙන්-හෙ” නමැති ප්‍රබල නාවික සෙන්පතියකුට නොනැමී කටයුතු කිරීම මෙරටේ අභිමානයට කාරණයකි. එනමුත් අලකේෂ්වරගේ කටයුතු හා ඔහුගේ අන්‍යාගමික නැඹුරුව ඔහු රජකමෙන් පහ කරන්නට මෙරට සංඝරත්නයට අවශ්‍ය වූ කරුණක්‌ බවද පෙනෙන්නට තිබිණි. ඒ අනුව චීන අධිරාජ්‍යයේ අත පෙවීම මත වීර අලකේෂ්වරයන් රජකමෙන් පහ කිරීමේ තීරණාත්මක අවස්‌ථාව යළිත් 1411 වසරේදී උදාවේ.

කැලිකට්‌ නගරයෙන් ගමන් ආරම්භ කළ “ෂෙන්-හෙ” ගේ නාවික හමුදාව 1411 මුල් භාගයේදී යළිත් බේරුවල වරායට ළඟාවන අතර එවරද වීර අලකේෂ්වරයන් “ෂෙන්-හෙ” සමග පැටළුණේය. එසේම මෙම පාර්ශ්වල හමුදා දෙක අතර දරුණු සටන් ඇවිල ගිය බවද සඳහන් වේ. මෙහිදී “ෂෙන්-හෙ” සෙන්පතියා ඇතුළු පිරිස විටෙක ලංකා රාජධානියේ සෙබළුන්ට කොටුවූ නමුත්, උපායශීලීව රජ මාළිගය අල්ලාගත් රණශූරයකු වූ “ෂෙන්-හෙ” රයිගම රජු වීර අලකේෂ්වරයන් සහ පවුලේ පිරිස අල්ලාගෙන චීනයේ “නැංජින්” අගනුවර වෙත ගෙන ගිය බව සඳහන් වේ.

එහිදී චීනයට කරනලද අපහාසය සිහිගන්වමින් වීර අලකේෂ්වරයන් මරා දමන්නට “ෂෙන්-හෙ” ප්‍රමුඛ රාජ සභාව යෝජනා කළත් “යොංගල්” අධිරාජ්‍යයා එය ප්‍රතික්‍ෂේප කර ඔහුට අභයදානය ලබාදුන් බව සඳහන් වන්නේ යෑයි චීන රාජ සභා වාර්තා උපුටා දක්‌වමින් අජිත් අමරසිංහ මහතා තම ග්‍රන්ථයේ සඳහන් කර ඇත.

අභය දානය ලද වීර අලකේෂ්වරයන් නොහොත් රයිගම අලගක්‌කෝණාර යළිත් ලංකාවට පැමිණියේද යන්න හෝ චීනයේදීම මිය ගියේද යන්න පැහැදිලි නොවේ. එනමුත් ඉන්පසු සවුළු පරාක්‍රමබාහු රජකමට පත්කර ශ්‍රී ලංකාව බෞද්ධාගමික නැඹුරුවක්‌ සහිත සාමකාමී දේශයක්‌ කරන්නට චීන අධිරාජ්‍යයා උදව් කර ඇත.

රයිගම වීර අලකේෂ්වරයන් මෙසේ චීනයේ නැංජින් වෙත පැහැරගෙන ගිය “ෂෙන්-හෙ” යනු වීර සෙන්පතියකු වුවත්, ඔහු චීන අධිරාජ්‍යයාගේ සිත දිනා ගනිමින් චීන අධිරාජ්‍ය මාළිගය දක්‌වා පැමිණි ගමන සිත් අලවන සුළු වාසනාව දෝතින් දරා ගෙන ආ ගමන් මගකි. එය රසවත් කතාන්දරයක්‌ද වේ.

උපන් ප්‍රදේශයේ ඇති ප්‍රථිමාව

කලක්‌ චීනයේ යුනාන් ප්‍රාන්තය මොන්ගෝලීයානු අධිරාජ්‍යයට අයත්ව තිබූ ප්‍රදේශයක්‌ විය. මෙම මොන්ගෝලියානු අධිරාජ්‍ය සේවය සඳහා පර්සියාවේ සිට මෙහි පැමිණි “ෂෙන්-හෙ” ගේ පියා, මොන්ගෝලීය “බත්සලවරිම්” රජුගේ රාජ සභාවේ ඉහළ තනතුරක්‌ හෙබවූ මුස්‌ලිම් ජාතිකයෙකි. ඔහුට රජයෙන් හිමිවූ නිවාසයක්‌ද “යුනාන්” හි පැවැති අතර “ෂෙන්-හෙ” උපන්නේ එම නිවසේදීය. ඒ 1371 වර්ෂයේදීය. එකල “ෂෙන්-හෙ” ගේ නම “මා-හේ” නම් විය. මෙම කුඩා මා-හෙ ගේ වයස අවුරුදු 10 දී එනම් 1381 දී චීන “මින්” හමුදා මොන්ගෝලියානු අධිරාජ්‍යයට යටත්කර ගෙන තිබූ යූනාන් ප්‍රදේශයට පහරදී යළිත් මුදා ගන්නා ලදි. මෙහිදී මොන්ගෝලියාවට පක්‍ෂ රාජ්‍ය නිලධාරීන් සිය දහස්‌ ගණනක්‌ මරුමුවට පත්වූ අතර “මා-හෙ” ගේ පියාද ඒ අතර විය. ඉතිරි වූ දරුවන් අල්ලාගෙන ගිය චීන “මින්” හමුදා පිරිමි දරුවන් සියල්ලම “නපුංසකයන්” බවට පත් කළහ. එයින්ද ඉතිරිවූ අය යටත් සේවකයන් ලෙස නිවාසවල සේවයට හා අන්තඃපුර රාජකාරි සඳහා යොදවනු ලැබ ඇත. “ෂෙන්-හෙ” නොහොත් “මා-හෙ” මෙසේ වැඩකාර සේවයට වැටෙන්නේ අධිරාජ්‍යයාගේ සිව්වෙනි පුතු වන “සූ-ඩෙ”යුව රජු ළඟටය. ඔහුගේ හිත දිනාගෙන හැදී වැඩෙන “මා-හෙ” පසුව “සු-ඩෙ” ට අධිරාජ්‍ය දිනා ගැනීම සඳහා සිවිල් යුද්ධයකට පූර්ණ කැපවීමෙන් සහාය ලබාදේ. මෙනිසා ඉන්පසු අධිරාජ්‍යය දිනා ගන්නා “ෂු-ඩේ”, “යොංගල්” අධිරාජ්‍යයා ලෙස ප්‍රකට වන අතර “මා-හෙ” ගේ නම “ෂෙන්-හෙ” බවට පත්කර රාජ සභාවට පත්කර ගනු ලබයි.

මෙසේ “ෂෙන්-හෙ” බවට පත්වන මේ දක්‍ෂ වාසනාවන්ත සෙනවියාට “යොංගල්” අධිරාජ්‍යයා භාරදෙන මීළඟ භාරදූර කාර්යය චීනයට නාවික හමුදාවක්‌ ගොඩනැඟීමයි. අභීතව මෙම අභියෝගය භාර ගන්නා “ෂෙන්-හෙ” තිස්‌දහසක නාවික බලකායක්‌ සමඟ ලී වලින් තැනවූ විවිධ යාත්‍රා සමග තුන්සියක නාවික යාත්‍රා බළඇණියක්‌ද නිර්මාණය කරයි. ඉන්පසු අධිරාජ්‍යයාගේ නියෝගය පරිදි ලෝකයේ වෙළෙඳ බලය අල්ලා ගන්නට ප්‍රථම මුහුදු ගමනට එක්‌වන “ෂෙන්-හෙ” එම තිස්‌දහසක හමුදාව සමග ඉන්දියාවේ “කැලිකට්‌” බලා යන ගමනේදී ලංකාවේ බේරුවල වරායටද පැමිණේ. රයිගම වීර අලකේෂ්වරයන් පනස්‌දහසක හමුදාව සමග “ෂෙන්-හෙ” ට මුහුණ දෙන්නේ මෙවන් අභියෝගයක්‌ ජීවිතේ කවරදාවත් අමතක නොවන්නට “ෂෙන්-හෙ” ට මතක සටහනක්‌ද ඇති කරලමිනි.

කෙසේ හෝ “ෂෙන්-හෙ” විසින් හත්වරක්‌ ශ්‍රී ලංකාවේ වරාය වෙත චාරිකා සිදුකර ඇති බව කියනු ලබන අතර හේ ඉන්දියානු සාගරය ඔස්‌සේ මෙම හත්වාරයේදීම ලෝකයේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර කරක්‌ ගසා ඇත. ආසියාව, අප්‍රිකාව, මැදපෙරදිග, ඈත පෙරදිග ආදී රාජ්‍ය සම්බන්ධ කරමින් නාවික මාර්ගයෙන් මක්‌කමටද ගොඩ බැස ඇති හේ ලෝකය චීනයට දිනා දුන් අසම සම සේනපතියා හා දේශ ගවේෂකයාද වේ. ඔහුගේ ගමන් වාර හතේදී රටවල් 18 ක්‌ සම්බන්ධ කර ඇත.

“ෂෙන්-හෙ” යොංගල් අධිරාජ්‍යයාට මහත් පක්‍ෂව තම කටයුතු කළේ ඔවුන් දෙපළම කුඩා කල සිටම එකට හැදී වැඩුණු මිත්‍ර ස්‌නේහය නිසාය. එබැවින්ම යොංගල් අධිරාජ්‍යයාගේ සිතැඟි ඉටුකරමින් ලෝකයේ වෙළෙඳ බලය පමණක්‌ නොව, රටවල් අතර සුහදතාවද හේ චීන අධිරාජ්‍ය වෙත දිනා දුන්නේය. මෙසේ සෙන්පතියකු ලෙස හා දේශාගවේශකයකු ලෙස චීනයට මහත් සේවාවක්‌ සිදුකළ “ෂෙන්-හෙ” නපුංසක සේනාධිපති 1435 වසරේදී ඉන්දියාවේ කැලිකට්‌හීදී මිය ගියේය. එබැවින් ඔහුගේ සිරුර භූමදානය වූයේ ඉන්දියාවේදීමය.

“ෂෙන්-හෙ” ගේ පියා රාජෙද්‍රෝහියකු වශයෙන් මිය ගියද, ෂෙන්-හෙ ගේ රාජ්‍ය තාන්ත්‍රික සේවාව නිසාම චීනය මේ පිය-පුතු දෙපළට මහත් හරසරින් සලකා ඇත. “ෂෙන්-හෙ” ගේ දැවැන්ත පිළිරුවක්‌ ඔහු උපන් භූමයේ කඳුගැටයක්‌ මත පිහිටුවා ඇති අතර අක්‌කර සිය ගණනක භූමියක්‌ පුරාවිද්‍යා සංරක්‍ෂිත භූමියක්‌ බවට පත්කර ඇත.

ශෙන් හේ ගේ නැවේ අනුරුවක්

එසේම “ෂෙන්-හෙ” නමින් ඔහු උපන් ස්‌ථානයේම කෞතුකාගාරයක්‌ තනා ඔහුගේ නාවික ගමන් පිළිබඳව ඵලකයක්‌ද පිහිටුවා ඇත. අතීතයේ එක්‌ දිනෙක අපේ රජු රයිගම වීර අලකේෂ්වරයන් ෂෙන්-හෙ විසින් පැහැරගෙන යන ලැබුවද, ඔහුගේම උදව්වෙන් ලංකාවේ රජ වූ සවුළු පරාක්‍රමබාහු රජුන් ශ්‍රී ලංකාව යළිත් එක්‌සේසත් කර ශ්‍රී ලංකාවේ නොමැකෙන සාහිත යුගයක්‌ද නිර්මාණය කරන්නට දායක විය. ඒ වීදාගම මෛත්‍රි හිමියන්, තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැනි පඬිවරුන් අතින් බිහිවූ අපූරු සාහිත්‍ය ලෝකයයි.

උපුටා ගැනීම : දිවයින ඉරිදා සංග්‍රහය

 

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *