චියාපාස් වනයෙන් පලායාම

පුරාවිද්‍යාඥයන් පැමිණ තිබුණේ මායාවරුන්ගේ මිල කළ නොහැකි අල්තාරය සොරු‍න්ගෙන් ගලවා ගැනීමටය. එතැන් සිට ඔවුන්ගේ බියකරු සිහිනය ඇරඹිණි.

පීටර් මැතිව්ස්

තම මුහුණට නැඟුණු දා බිඳු පිස දැමූ පීටර් මැතිව්ස් නළලත බැඳී රතු පැහැති ලේන්සුව සකසා ගත්තේය. ඒ 1997 වසරේ ජුනි 25 වැනිදාය. චියාපාස් නමැති මෙක්සිකානු ජනපදයේ උසුමසින්ටා ගංගාව අවට වනාන්තරය දිවා හිරු රැසින් නැහැවෙමින් තිබිණි. 46 හැවිරිදි කැනේඩියානු පුරාවිද්‍යා මහාචාර්යවරයා මේ අවට ප්‍රදේශය ගවේෂණය කර තිබිණි. ළමා වියේදී පවා ඔහු මායා සංස්කෘතිය කෙරෙහි උනන්දුවක් දැක්වූ අයෙක් විය.

දැන් ඔහුගේ ඉලක්කය එල් කායෝවල පැරණි නටබුන් වෙත යොමු වී තිබූ අතර , තමාට අවැසි වූ දෙයට තරමක් කිට්ටුවෙන් සිටියේය. නොගැඹුරු අගලකට පියවර තැබූ ඔහු, ඉපැරණි අල්තාරය ඉදිරියේ දණ නවා ගත්තේය. අපූරුවට කැටයම් කර තිබූ වංශවත් පාලක ආහ් චක් වේයිබ්ගේ රුව මත ඔහු තම ඇඟිලි ගෙන ගියේය. ඔහු ටොන් එකක් බරැති කවාකාර, අලංකාර ස්මාරකයට වශීකෘතව එහි ඇණ තබාගෙන සිටියේය. වසර 1200කටත් පෙර, මායා කලාකරුවකු එම හුණුගල් ස්මාරකය කැටයම් කර තිබිණි.

මැතිව්ස්ගේ පුරාවිද්‍යා කණ්ඩායම 1993 ගී‍්‍රෂ්මයේදී මේ අල්තාරය ගවේෂණය කර තිබුණේ එල් කායෝවල සිදුකළ දෙවසරක කැණීමකින් පසුවය. එහෙත් බලධාරීන්ට සංචාරක ආකර්ෂණය දිනා ගත හැකි අයුරින් සංවර්ධනය කිරීමට ඉඩ සැලසෙන අයුරින් එම භූමිය ආරක්ෂා කිරීම සඳහා ඔවුහු එම පුරාවස්තුව නැවත වළලා දැමූහ. ඉන්පසු 1994 ජනවාරියේ සපාටිස්ටා නැඟිටීම ආරම්භ වූ අතර, චියාපාස් යුද කලාපයක් බවට පත් විය. ව්‍යාකූලත්වය මැද, මේ දුරස්ථ වනගත භූමිය විශාල මුදලකට පුරාවස්තු අලෙවි කරන නිදන් සොරුන්ගේ පහසු ඉලක්කයක් බවට පත් විය.

අල්තාරය බේරාගැනීමේ මෙහෙයුම

බලාපොරොත්තු සහගතව ගෙවුණු වසරක කාලය වසර දෙකක් බවටත්, ඉන්පසු වසර තුනක් බවටත්, අවසානයේ හතරක් බවටත් පරිවර්තනය විය. අවසානයේ මැතිව්ස්ට සහ ඔහුගේ කණ්ඩායමට ආපසු එල් කායෝ වෙත පැමිණීමට හැකි වූ නමුත් ඔවුන් ප්‍රමාද වැඩි වී තිබුණි. නිදන් සොරුන් ඒ වන විටත් අල්තාරය එය තිබූ ස්ථානයෙන් ඉවත් කර ගැනීමට උත්සාහ දරා තිබිණි. ස්මාරකය ස්වදේශීය ඉන්දියානුවන්ට උපකාරී වෙතැයි මැතිව්ස් බලාපොරොත්තු විය.

උපක්‍රමයක් සැලසුම් කෙරුණු අතර එල් කායෝවලට සැතපුම් 20ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටි ‍ෆ්‍රොන්ටේරා කොරොසාල් හි ගම්වැසියන් සමඟ සාකච්ඡා කෙරිණි. ඒ අනුව අල්තාරය වනයේ මධ්‍ය ස්ථානයකට ගෙන යාමට තීරණය විය. සංචාරකයන්ට එල් කායෝ විවෘත වනතුරු තාවකාලිකව එය එහි තැබිය හැකි වනු ඇත.

ඒ බලාපොරොත්තුව මැතිව්ස්ගේ සගයන් අතරද විය. පියුබ්ලාවල පාරිසරික පුරාවිද්‍යා මහාචාර්ය මාරියෝ අලිපාට් , කැනඩාවේ ආචාර්ය උපාධියක් හදාරමින් සිටින පුරාවිද්‍යාඥ ආමන්ඩෝ අනායා යන අය ඔහුගේ සගයන් අතර විය. ඔවුන් සමඟ අල්තාරය බේරාගැනීමේ මෙහෙයුමට සම්බන්ධව සිටියේ පළපුරුදු කැණීම් පරීක්ෂකවරයකු වූ කායෝ මගානාය. එල් කායෝ බලා පුරාවිද්‍යාඥයෝ සංචාරය සුදානම් කිරීමේදී ෆ්‍රොන්ටේරා කොරොසාල් වෙතින් තරමක් ස්වදේශීය නාමයකට හුරු නමක් දැරූ මාටින් ආර්කොස් ප්‍රමුඛ ගම්වැසියන් පිරිසක් පරිවාරය ලෙස යැවීය. ෆෙඩරල් රජයේ සිට පළාත් පාලන ආයතන සහ එල් ඩිසෙම්පිනෝවල ගම්වැසියන් දක්වා සියලු දෙනාම මෙම මෙහෙයුමට අනුමැතිය දුන්හ. මෙහි ශ්‍රම බලකායෙන් බහුතරය වූයේ එල් ඩිසෙම්පිනෝවල ගම්වැසියන්ය.

1997 ජුනි මාසයේ එම දිනයේ උදෑසන, පුරාවිද්‍යාඥයන්ට එම ප්‍රදේශයේ විසිරුණු ගම්මානවල සතුරු ස්වදේශිකයන් දස දෙනෙකුගෙන් පමණ සැදි කණ්ඩායමකට මුහුණ දීමට සිදුවිය. අල්තාරය රැගෙන යන්නේ කොහේදැයි ඔවුන්ට දැන ගැනීමට වුවමනා විය. මැතිව්ස් ඔවුන්ට අනුමැතිය ලබාදී තිබූ ලිපි ලේඛන පෙන්වීය. ස්වදේශිකයෝ එම පැහැදිලි කිරීමෙන් සෑහීමකට පත් වූ බව පෙනී ගියත්, ඔවුහු තවමත් මිනිසුන් තිදෙනෙක් ඔවුන් පසුපසින් යොදවා සිටියෝය.

ස්වදේශිකයන්ගේ ආක්‍රමණය

මැතිව්ස්, අනායා සහ අලිපාට් වෙතින් උපදෙස් පැතීය. “දැන් ස්මාරකය ඉවත් කරන එක ආරක්ෂිත නැහැ.” ඔහු යෝජනා කළේය. ඔහුගේ සගයන් එම යෝජනාවට එකඟ වූ අතර අල්තාරය නැවතත් වළ දැමිණි. පසුදා උදෑසන ඔවුන්ව එතැනින් ගෙන යාමට පහුර එනතුරු මැතිව්ස් සහ අලිපාට් බලා සිටින අතරතුර නටබුන් දෙසින් කෝපාන්විත හඬ නැඟී එනු අසන්නට ලැබිණි. අල්තාරයේ ආරක්ෂාව ගැන කරදර වූ ගවේෂක නායකයෝ දෙදෙනා, පිහියා වනමින් එම භූමියේ පාලනය සියතට ගෙන සිටි ස්වදේශිකයන් ඉදිරියේ නිසොල්මන්ව සිටගෙන සිටියහ.

“මංකොල්ලකාරයෝ..,” ඔහු කෑ ගැසුවේය.

මැතිව්ස් රැකවලුන් විසින් අල්ලා ගැනිණි. කෝපාන්විත ස්වදේශිකයන් පැවසූ ආකාරයට ඔවුන්ට කටයුතු කිරීමට සිදු විය. ඔහුගේ මඟ පෙන්වන්නන්ගේ කණ්ඩායමට පිටවීමට නියෝග ලැබිණි. එහි සතුරු කතාබහකට අවශ්‍යතාවයක් නොවීය. එහෙත් විරුද්ධවාදී ගම්වැසියන්ගේ දෙනෙත්වලට මැතිව්ස් සහ ඔහුගේ කණ්ඩායම ධනවත් පිටස්තරයන් ලෙස පෙනී ගොස් තිබිණි. ඒ නිසා මෙක්සිකානු නගරයේ ඔවුන්ගේ වෛරයට පාත්‍ර වූ රජයේ සම්බන්ධකම් ඔවුන්ට තිබිය හැකිය. එසේ නම් කප්පම් ලබා ගැනීමට ඔවුන් පහසු ඉලක්කයක් වනු ඇත. දිනය පුරාම අනායා සහ ආර්කොස් ඉන්දියානුවන් සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කළහ.

එහෙත් ඒ පිරිස 80ක් පමණ විය. ගතවන සෑම පැයක් පාසාම ඔවුන්ගේ පෙනුම බෙහෙවින් ප්‍රචණ්ඩ විය. අවසානයේ පුරාවිද්‍යාඥයන් සහ ඔවුන්ගේ කම්කරුවන් ආරක්ෂාව යටතේ රඳවාගෙන මංකොල්ල කෑමට ලක්විය. කිසිවකුට එල් කායෝ බලා යාමට අවසර නොලැබිණි. හිරු බැස යාමට පටන් ගනිත්ම තව තවත් ආයුධවලින් සන්නද්ධ වූ කණ්ඩායමක් එහි පෙනී සිටියේය. තමා සතුව කිසිවක් ඉතිරිව නැති බවත් තමන් සන්තක සියලු මුදල් හා උපකරණ රැගෙන ගිය බවත් අනායා සහ ආර්කොස් ඔවුන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කළහ. පසුව ගවේෂක කණ්ඩායම පලා යාමට තීරණය කළහ.

අඳුර දසත වෙලාගනිත්ම කණ්ඩායම ගඟ දෙසට ගෑටූහ. ඔවුන්ට පිටුපසින් ඉන්දියානුවෝ තුවක්කු සහ පිහියා අමෝරාගෙන සිටියහ. “ආපහු වරෙල්ලා, අපි උඹලව මරනවා.” දෑස් බඳීන ලද මිනිස් දම්වැලක් මෙන් ඔවුහු ගල් විසිරුණු ඉවුර වෙත ළඟා වූහ. ඒ මොහොතේදීම, වෙඩි හඬින් අහස ගිගුම් දෙන්නට විය. ගං ඉවුර දෙසින් කෑ ගැසීම් හඬ ඇසුණු අතර ඔවුන්ගේ පලායාම අවසානයට එළඹ තිබිණි. “නැවතියං, නැත්නම් අපි උඹලව මරනවා.” ගුළි ගැසුණු කණ්ඩායම වෙත අලෝක ධාරා එල්ල වූ අතර දුසිම් ගණනක් වූ සන්නද්ධ ඉන්දියානුවෝ ඔවුන්ව ඉවුර දෙසට තල්ලු කර දැමූහ. ඔවුන්ගේ නායකයා ෆ්‍රොන්ටේරා කොසාල් හි මඟපෙන්වන්නන්ට බැන වැදිණි. ඉන්පසු ඔහු මැතිව්ස් ඉදිරිපිට නැවතිණි. බෙරිහන්දීම් මධ්‍යයේ කණ්ඩායමේ නායකයා සිය ගිනි අවිය එසවීය. කුවක්කු කඳ මැතිව්ස්ගේ හිසට එල්ල විය. එම පහර ඔහුගේ නළලේ යන්තම් ගෑවීගෙන ගියේය. එම වැරදීම ඔහුගේ ප්‍රහාරකයා කෝප ගැන්වීමට හේතු විය.

ඊළඟ පහර මැතිව්ස්ගේ උපැස් යුවල කුඩු කර දැමීය. එහි කැබලිවලින් ඔහුගේ මුහුණ කැපී ගියේය. තුවාලයෙන් අධික ලෙස රුධිරය ගලා යද්දී ඔහු දණින් ඇද වැටිණි. ප්‍රහාරකයන් කණ්ඩායම දෙසට එද්දී අනායා බියෙන් එදෙස බලා සිටියේය. තුවක්කු බඳ ඔහුගේ නළලට එල්ල වූ අතර ඔහු පහතට නැවී අනුකම්පාවිරහිත ප්‍රහාරයෙන් ආරක්ෂා වීමට උත්සාහ දැරුවේය. ආරම්භ වූ ඉක්මනින්ම එම කෲර ප්‍රහාරය අවසන් විය. අඳුර තුළින් හඬක් නැඟී ආවේය.

“මකබෑවෙයව්, නැතිනම් අපි ආපහු එනවා.

” මඳ නිහැඬියාවක් ගෙවී ගියේය.

“මම හිතන්නෙ එයාල ගියා,” නැගිටීමට වෙර දරමින් මැතිව්ස් කෙඳීරුවේය.

“මෙතන ඉන්න හැමෝටම පීනන්න පුළුවන්ද?” අනායා විමසුවේය.

මඟ පෙන්වන්නන් හත් දෙනාම බැරි බව හැඟවීමට හිස සැලූහ.

කණ්ඩායම සමග රැඳී සිටීමට අවශ්‍ය වූයේ ෆ්‍රොන්ටේරා කොසාල්වලින් පැමිණි ජ්‍යෙෂ්ඨ නියෝජිතයා වූ ආර්කොස්ට පමණි. ඔවුන්ට ඔහුගේ උදව් අවශ්‍ය වනු ඇත.

පලායාම

ආර්කොස් සහ අලිපාට් යන දෙදෙනාගෙන් එක් අයකුවත් පිහිනුම්කරුවෝ නොවූහ. එහෙයින් සෙමින් ගලා යන උසුමසින්ටා ගංගාවට බැසි විට ඔවුන්ගේ සිත් භීතියෙන් වෙලී ගියේය. නමුත් ඔවුන්ට වෙනත් විකල්පයක් නොතිබිණි. අඩිපාර ඔස්සේ ගමන් කරන්නේ නම් ඔවුන්ගේ ප්‍රහාරකයන්ට ඔවුන්ව වට කිරීමේ හැකියාව තිබිණි. ඔවුන්ට ලැබී තිබුණේ එකම අවස්ථාවකි. ඒ ගංගාව හරහා ගුවාතමාලාවට පැන ගැනීමයි. මැතිව්ස්ගේ වම් ඇස කැටි ගැසුණු රුධිරයෙන් වැසී ගොස් තිබුණි. එහෙත් ඔහු පළමුවෙන්ම ගඟට බැස්සේය. ජල මට්ටම ඔහුගේ ඉණ දක්වා වන විට ආර්කොස් තැතිගැන්මෙන් යුතුව හඬ නැඟුවේය.
‘‘පීටර්, මට බෝට්ටුවක් හම්බවුණා.‘‘

අල්තාරය

අලිපාට් හා ආර්කොස් නොගැඹුරු දියට බැස්සාහ. අඩි දහයක් පමණ දිගු වූ ඔරුවක් එහි වූ අතර අනෙක් අය එය ගංගාව දෙසට ඇද ගත්හ. අනායා, මැතිව්ස් සහ මගානා එහි පසෙකින් එල්ලී ගෙන තමාට හැකි උපරිමයෙන් හබල් ගාන්නට වූහ. තම අත්වලින් නැගෙන හඬ ඔවුන්ගේ ප්‍රහාරකයන්ට නොඇසේවායි මැතිව්ස් ප්‍රර්ථනා කළේය. අනෙක් පස වූ අඩි 250ක් ගංගාව හරහා වූ දුර යාමට බියකරු මිනිත්තු 20ක් පමණ ගත විය. එක් වරෙක ඔවුන්ගේ පිහිනුම්කරුවන් දෙදනකු ඇද වැටිණි. සඳ පිහිටි ස්ථානය අනුව ඒ මැදියම් රැය බව මැතිව්ස් වටහා ගත්තේය.

ඔවුන්ට දිගටම ගමන් කිරීමට සිදුව තිබිණි. ගොඩබිමින් යනවාට වඩා ගංගාව ඔස්සේ පහළට ගමන් කිරීම සුදුසු බව කණ්ඩායම තීරණය කර තිබිණි. ඔවුන්ගේ ප්‍රහාරකයන් අතුරින් සමහරක් දෙනා වාසය කළ ගම්මාන දෙකක් තවත් සැතපුම් 12ක් පමණ පහළින් පිහිටා තිබිණි. ඔවුන් බලාපොරොත්තු වූයේ සියෙඩ්රාස් නෙග්‍රාස්වලට පැමිණීමටය. එහිදී ඔවුන්ට උදව් ලබා ගැනීමට හැකි වනු ඇත. එක්විටම ගංගාව හරහා හඬ පැතිර යන්නට වූ අතර විදුලි ආලෝකය එල්ල වන්නට විය.

“එයාල අපිව හොයනවා,” මගානා පැවසීය. “අපි පැනගන්න ඕනෙ.”

තැතිගත් කණ්ඩායම නැවතත් ගංගාව මැදට පැමිණියහ. අලිපාට් සහ ආර්කොස් ඔරුව තුළ සිටිද්දී ලය තෙක් ජලයේ බැසි මැතිව්ස් ඔරුවට මඟ පෙන්වීය. ඔවුහු තම මාර්ගයට අවතීර්ණවත්ම ඔවුහු දියේ සහ ගොඩබිම සිදුවන සෑම චලනයක් ගැනම විමසිලිමත් වූහ. පැය දෙකකට පසුව ඔවුහු ආරම්භක ස්ථානයේ සිට සැතපුම් තුනක් දුර පැමිණ සිටියහ. වෙරළ තීරයෙන් හිරු නැගෙන අයුරු ඔවුන්ට දැක ගැනීමට ලැබිණි. ඉන්පසු එක පිම්මේ ඔවුහු වනය තුළට වැදුණාහ. ඔවුන්ගේ සැලසුම වුයේ වනය තුළින් ගමන් කර නැවත ගංගාවේ පහළට පැමිණ සත්කාරක ගම්මානයක් කරා පැමිණීමයි. එය සැතපුම් 15ක ගමනක් විය.

මගානා සහ ආර්කොස්ගේ මඟ පෙන්වීම මත ඔවුහු දවස පුරාම ඝන වනාන්තරය තුළින් ගමනේ යෙදුණෝය.රේසර් තල වැනි ශාක පත්‍රවලට කැපීමෙන් ඔවුන්ගේ පාදවලින් රුධිරය ගලා යන්නට විය. තෙහෙට්ටුවත්, සීතලත් නිසා මැතිව්ස් ගැහෙන්නට විය. එක්විටම තමන් ඉදිරිපිට වූ යමක් පෙන්වමින් මගානා බෙරිහන් දෙන්නට විය. ඔහු පා තබා තිබුණේ මාරක විෂ සහිත කොරල් සර්පයකු මතය. අඳුර වැටෙමින් තිබියදී කණ්ඩායමට නැවත ගංගාව වෙත පැමිණීමට හැකිවිය. “අපි ආපහු ඇවිත් තියෙන්නේ අපි පටන් ගත්ත තැනටමයි.” අනායා කෑ ගැසුවේය. “අපි එකම වටයක ඇවිදලා තියෙන්නේ.”

ඉච්ඡාභංගත්වය පස්දෙනාව දුර්මුඛ කිරීමට සමත් විය. කෑමක් බීමක් හෝ නින්දක් නොමැතිව ඒ වනවිට පැය 36ක් ගත වී තිබිණි. හිරිගඬු පිපෙන තරමේ සීතල වර්ෂාව මැද මගානා සහ ආර්කොස් ආවරණයක් ඉදි කළ අතර කණ්ඩායම එතුළට වැදී දිගු රාත්‍රිය ගෙවා දැමූහ. අධික සීතලෙන් වෙවුලන්නට වූ මැතිව්ස්ට නිදා ගැනීමට නොහැකිවිය. පසුදා උදෑසන ගංගාවේ පහළට යාම සඳහා නැවත වනය තුළට ඇතුළු විය යුතු බව කණ්ඩායමට ඒත්තු ගැන්වීමට මැතිව්ස්ට තරමක වෙහෙසක් දැරීමට සිදුවිය. “අපිට ඒක කවදාවත් කරන්න ලැබෙන්නේ නෑ.” අලිපාට් විරෝධය පෑවේය. “අපි හොඳටම දුර්වලයි. අපිට කරන්න තියෙන හොඳම දේ තමයි මෙතන නැවතිලා ගඟ පහළට යන බෝට්ටුවක් බලාපොරොත්තුවෙන් ඉන්න එක.”

මැතිව්ස්ට එය අවදානම් සහගත දෙයක් බව පෙනී ගියත් ඔහු එයට එකඟ විය.

මුළු දවස පුරාම ඔවුහු බලාගෙන සිටියෝය. මධ්‍යාහ්නයේදී අනායා නැඟී සිටියේය. ඔහුට ඈතින් හඬක් ඇසී තිබිණි. එම හඬ ක්‍රමයෙන් වැඩි වන්නට විය. එක්විටම ගංගාවේ මැක්සිකානු පැත්තේ ඉහළින් සැහැල්ලු ගුවන්යානයක හඬ ඇසෙන්නට විය. ඔවුන් උමතුවෙන් මෙන් දෑත් වැනුවත්, ඔවුන් වෙරළට ළඟා වනවිට එය ආපසු ගොස් තිබිණි. පැය දෙකකට පසු ඔවුන්ට තවත් මෝටරයක හඬ ඇසෙන්නට විය. ‘‘ඒක එන්නේ ගංගාවේ ඉහළින්.‘‘ අලිපාට් පැවසුවේය.
ඉක්මනින්ම වංගුවෙන් බෝට්ටුවක ශබ්දය ඇසිණි.

එහි රියැදුරා අඩි 40ක් දිග යාත්‍රාව සිටගෙන සිටින මිනිසා වෙත ගෙන ගියේය. ගුවාතමාලා ජාතිකයන් වූ ආමන්ඩෝ මලමිගෝ සහ ඔහුගේ සහායකයා නිතර ගංගාව ඔස්සේ භාණ්ඩ රැගෙන යන්නෝ වූහ. කණ්ඩායම ඉන්දියානුවන්ට අසු වූ පුවත ඔහු අසා තිබූ අතර ඔවුන් පළාගිය බවද ඔහු දැන සිටියේය. “එයාල හිතාගෙන ඉන්නෙ ඔයාල මැරුණ කියලා,” ඔහු ඔවුන්ට පැවසුවේය. “ගඟේ ගිලිලයි කිඹුල්ලුන්ට අහුවෙලයි.” ඊළඟ දවසේ එනම් සඳුදා ඔවුන්ට ආපසු ගඟ ඉහළට පැමිණ එල් කායෝ පසු කර ෆ්‍රොන්ටේරා කොසාල් වෙත පැමිණීමට හැකි විය. ඔවුන්ගේ ගමනාන්තයේදී ඔවුන්ට උණුසුම් පිළිගැනීමක් ලැබිණි. මොහොතකින් මුළු ගම්මානයම, ඔවුන් මිය ගියා යැයි සිතා සිටි මිනිසුන්ව දැක ගැනීමට ගං ඉවුරට රොක් වූහ.

මඟ පෙන්වන්නෝ ආරක්ෂිතව එල් කායෝ වෙත පැමිණ තිබූ අතර සිදුවූයේ කුමක්දැයි සියල්ලෝම දැන සිටියහ. මෙම ප්‍රහාරය පිළිබඳ කතා පුවත 1997 ගී‍්‍රෂ්මයේ ලෝකයේ පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයක් බවට පත් වී තිබුණි. පීටර් මැතිව්ස්ට ප්‍රදේශීය කවුන්සිලයෙන් ආරාධනයක් ලැබුණේ ෆ්‍රොන්ටේරා කොසාල්වලට පැමිණ ඔවුන්ගේ ඉපැරණි ශිෂ්ටාචාරයෙන් ලැබුණ පුරාවස්තුවේ ඇති අද්භූත රූපාක්ෂර කියවන ආකාරය උගන්වන ලෙසටය.
එල් කායෝ අල්තාරය ප්‍රහාරකයන්ගේ එක් ගම්මානයක තිබෙන බව එහිදී හෙළිදරව් විය.

රීඩර්ස් ඩයජස්ට් ඇසුරිනි

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *