කතා රැසක් ඇති උස්සන්ගොඩ

උස්සන්ගොඩ යනු, දකුණු පළාතේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ, තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පිහිටි අතිශයින් ම වැදගත් පරිසර පද්ධතියකට උරුමහරුමකම් කියන පෙදෙසකි. කොළඹ – වැල්වාය මාර්ගයේ නෝනාගමට සමීපව පිහිටි මේ ස්ථානය වැදගත් වන්නේ, ශුෂ්ක පරිසරයක පිහිටා ඇති පුරා විද්‍යාත්මක උරුමයක් බවට පත්ව ඇති ස්ථානයක් වන නිසාවෙනි. ජනප්‍රවාද සහ විවිධ විශ්වාසවලින් ගහණ පෙදෙසක් ලෙස ද මේ ස්ථානය මිනිසුන් අතර ප්‍රකටව ඇත. එසේ ම, මෙතෙක් ඔබ නොදුටු රත් පැහැ පාෂාණ විශේෂයක් පැතිර පැවතීම ද, මේ ස්ථානය තුළ ඇති විශේෂත්වයකි.

මේ නිසා ම මෙය, පාරිසරික මෙන් ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත ය. ශ්‍රී ලාංකේයයන් වන අප ලද දුර්ලභ උරුමයක් ලෙසට ද මෙය හැඳින්විය හැකි ය. මේ ස්ථානය, රන්න ප්‍රදේශයේ කොළඹ – වැල්ලවාය මාර්ගයට හා බටහිරින් ලුනම, කළමැටිය අභයභූමියේ ලුනම කළපුවට සීමාවේ. නැඟෙනහිර ප්‍රදේශයෙන් වැලිපටන්විල ග්‍රාමයටත්, උතුරින් පුංචි උස්‌සන්ගොඩටත් සීමාවන අතර, දකුණින් මුහුදට මායිම්ව පිහිටා තිබේ. උස්සන්ගොඩ අභය භූමිය, කොළඹ – හම්බන්තොට මාර්ගයේ අම්බලන්තොට සමීපයේ පිහිටි කළමැටිය අභය භූමියේ හෙක්ටයාර 111ක පමණ පෙදෙසක පිහිටා ඇත. පියකරු බිම් පෙතකින් හෙබි කළමැටිය අභය භූමිය ඉහළට වන්නට පිහිටි ප්‍රදේශය, පෙර ඈත අතීතයේ සිටම හඳුන්වා ඇත්තේ උස්සන්ගොඩ ලෙසට ය. සොබා දහමේ අපූර්ව නිර්මාණයක් වන උස්සන්ගොඩ, රක්ත වර්ණයෙන් යුතු පාෂාණවලින් හෙබි නිසාවෙන් ම, එය නිර්මාණය වූ ආකාරය පිළිබඳ විවිධ කතා ගොඩනැගී තිබේ.

උස්සන්ගොඩ

මෙහි ඇති පස්, අතින් ඇල්ලු විට අතෙහි ද එම පාෂාණවල වර්ණය තැවරේ. මේ පස්, හෙක්ටයාර් ගණනාවක් පුරා ම පැතිර තිබීම ද විශේෂත්වයකි. වසර මිලියන 15 කට පෙර, උල්කාපාතයක් කඩා වැටීම නිසාවෙන් මේ ආකාරයට වෙනස් අයුරින් භූමිය නිර්මාණය වන්නට ඇත යන්න, මේ පිළිබඳ පර්යේෂණ කළ විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ.

පිවිසුම් මාර්ගය

පස මේ ආකාරයට වෙනස්ව ඇත්තේ, එලෙස පිළිස්සීම නිසා බව සමහරුන්ගේ මතය වී තිබේ. උණු වූ පාෂාණ, ඒ සඳහා සාක්ෂ්‍ය සපයයි. මේ පස් මත තැන්හි තන්හි උණු වූ යකඩ මෙන් කළු පැහැයට සමාන පස් විශේෂයක් ද දැකීමට පුළුවන. ඒවා ලාවා වැනි ස්වභාවයකින් යුක්ත බව සමහරු පවසති. උල්කාපාතයක් කඩා වැටී ‘උස් වූ ගොඩ’ පසුකාලීනව උස්සන්ගොඩ වූ බව ගම්මු පවසති.

උස්සන්ගොඩ උල්කාපාතයක්‌ කඩා වැටුණු ස්ථානයක් බවට වන කතාව මෙන් ම, මේ ආසන්න වායුගෝලයේ දී උල්කාශ්මයක්‌ පුපුරා යාමෙන් මෙවන් බිමක් ඇතිවූ බව ද තවත් විශ්වාසයකි. උල්කාපාතයක්‌ පුපුරා පිටවූ අධික තාපය නිසා පස් උණු වී මේ බිම්කඩ තුළ මෙවැනි පාෂාණ ලක්ෂණ විද්‍යමාන වූ බව එම අදහස දරන්නන්ගේ මතය වී තිබේ.

 

මේ භූමිය කරා පිවිසෙන්නකුට දැකගත හැක්කේ, රතු පස් පිහිටි පෙදෙස තුළ ශාක නොවැඩෙන ස්වරූපයකි. වැඩුණ ද ඉතා කුඩා පැලෑටි ය. බිම් පෙත පුරා ඇත්තේ කටු වන ලැහැබකි. මේ පසේ, අධික වශයෙන් ලෝහ සාන්ද්‍රණය පවතින බැවින්, ගස් වැල් හට ගන්නේ නැති බව පැවසේ. එහෙත්, සුළං සමඟ විවිධ ස්ථානවලින් පාව ආ පස්, මේ බිම මත වැතිරීම නිසා, කරඹ, පතොක්, එරමිණියා වැනි ශුෂ්ක පරිසර තත්ත්ව යටතේ වැඩෙන ශාක තැනින් තැන පවතින සෙයක් දිස්වේ. එහෙත් වැඩිපුර ඇත්තේ ශාක රහිත විවෘත පස්‌ ගොඩැලි ය.

ශ්‍රී ලංකාවේ පිහිට වූ 21 වැනි ජාතික උද්‍යානය වන්නේ ද උස්සන්ගොඩ ය. පසුගිය 2010 වසරේ මැයි 06 වැනිදා ප්‍රකාශයට පත්කළ මෙහි බිම් ප්‍රමාණය හෙක්‌ටයාර් 349.077 කි. ජෛවවිවිධත්වයෙන් අනූන පෙදෙසක් ලෙස, ජාත්‍යන්තර සංරක්ෂණ සංගමය මඟින් නම් කර ඇති මේ ස්ථානය, හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ පිහිටා ඇති තුන් වැනි ජාතික උද්‍යානය ලෙස ද සැලකේ.

අවට පරිසරය

වසර මිලියන ගණනකට පෙර, සාගරයෙන් ඉහළට එසැවී ගිය ප්‍රදේශයක්‌ ලෙස උස්සන්ගොඩ හැදින්වේ. එසේ සඳහනක් කිරීමට හේතුව, මේ ආසන්නයේ ම ඇති ලුනම, කළමැටිය වැනි ප්‍රදේශවල ගණ සිප්පි නිධි තැන්පත්ව තිබීම ය. එසේ ම, අතීතයේ දී රාවණ රජුගේ ‘දඬු මොණරය’ ගොඩ බෑ ස්ථානය වන්නේ උස්සන්ගොඩ බවටද ජනප්‍රවාදයක් පවතී.

මුහුද පෙදෙස

එසේ ම, අතීතයේදී උස්සන්ගොඩට ඇතුළු වූ අයට උණ රෝගය වැළඳුණු බව ප්‍රදේශවාසීන්ගේ අදහස යඋස්සන්ගොඩ සම්බන්ධ ජනකතා අතර හනුමන්තා ගේ සබැඳියාවක් පිළිබඳව ද පැවසේ. ඌ ගෙන ආ බෙහෙත් කන්දෙන් පතිත වූ කුඩා කැබැල්ලක් ලෙසට ද සමහරු මේ පෙදෙස පිළිබඳ අදහස් පවසති. අතීතයේදී මේ ප්‍රදේශයේ මානාභරණ රජතුමාට අයත් රජ මාලිගය ඉදි කර තිබී ඇත.

රජතුමා යුද්ධයකට යාමට සිදු වූයෙන්, සිය කුමාරිකාවන් සත් දෙනා අමතා පවසා ඇත්තේ, තමා ජය ගතහොත් සුදු කොඩියක් ද, මිය ගියහොත් කළු කොඩියක් ද රැගෙන රාජ පුරුෂයන් එන බව ය. රජු යුද්ධයෙන් දිනුව ද,විහිළුවක් කිරීමට සිතා, තමා මිය ගිය බව හැඟවීමට ඔහු, රාජ පුරුෂයන්ට කළු කොඩියක් රැගෙන යාමට අණ කර ඇත. එය දුටු කුමාරිකාවන් සත් දෙනා, උස්සන්ගොඩ අසලින් මුහුදට වැටුණු වලවේ ගෙඟ් අතු ගංගාවක් වන ‘කොටි ආර’ට පැන් දිවි නසා ලත් බව ද සඳහන් වේ. මේ ආකාරයට අභිරහස්‌ හා කුතුහලය ජනිත කරන ජනප්‍රවාදවලින් ගහණ ප්‍රදේශයක් වන මේ පෙදෙස, දැකුම්කළු ය.

උස්සන්ගොඩ පිහිටි වනපෙත තුළ වල් ඌරා, කලවැද්දා, තිත්මුවා, ඉත්තෑවා, වැලිමුවා, කබල්ලෑවා, උගුඩුවා, වල්හාවා, මීමින්නා, විවිධ මී විශේෂ, දඬු ලේනා, ඉරි ලේනා වැනි සතුන් ජීවත් වේ. එසේ ම, පිඹුරා, කබරයා ,තලගොයා, කටුසු විශේෂ රැසක්‌ද, නයා, පොළඟා, වැලි පොළඟා, කරවලා, කුණකටුවා ජීවත් වේ. ‍එසේ ම මුහුදු සීමාවේ කැස්‌බෑවන් ජීවත් වේ.

දාර කැස්‌බෑවා,කොළ කැස්‌බෑවා, මඩ කැස්‌බෑවා මෙන් ම, තාරකා ඉබ්බා ද මේ පෙදෙසේ වෙසේ. මුහුදු රාජාලියා, මුහුදු ළිහිණියා, ගෝමර පිළිහුඩුවා වැනි ජලය ආශ්‍රිත වෙසෙන කුරුල්ලන් ද, මාලගිරවා, මයිනා, පොල්කිච්චා, දෙමලිච්චා, කහ කුරුල්ලා, පොළොස්‌ කොට්‌ටෝරුවා, සිවුරු හොරා, සුදුරෙදි හොරා, රත් කෑරලා, කපුටා, නීල කොබෙයියා, අළු කොබෙයියා, විවිධ උකුසු විශේෂ, කුරුලුගොයා, මොණරා, වළිකුකුළා ඇටිකුකුළා, වටුවන් වැනි කුරුලු විශේෂ ද මෙහි වෙසෙති.

වනජීවී සංරක්ශන දෙපාර්ථමේන්තුවේ දැන්වීම් පුවරුව

වැටකෙයියා, මුහුදු බිම් තඹුරු, පිල මහා රාවණා වැනි ශාක මුහුද ආශ්‍රිතව සුලභව දැකිය හැකි ය. කටුපඳුරු ශාක ද මෙහි ඇත. කටුපතොක්‌, හීරුස්‌ස පළු, මලිත්තං වැනි ශාක ද මේ පරිසර පද්ධතිය තුළ දැකීමට පුළුවන.

කතරගම යන අතරමඟ, සොඳුරු බිම් කඩක සුව පහස විඳ ගන්නට කැමැත්තක් දක්වන ඔබ, මේ ස්ථානයට පිවිසීමට කැමැත්තක් දක්වන්නේ නම්, තිස්ස – හම්බන්තොට මුහුදුබඩ මාර්ගයේ නෝනාගමට පැමිණ, එහි සිට මීටර් 500ක් පමණ ඉදිරියට ගොස් උස්සන්ගොඩ ජාතික උද්‍යානයට වෙත යා හැකි ය.

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *