3D තාක්ෂණය යළි උපන් නෙෆර්ටිටි රැජිණ

වසර 3400කට පමණ ඉහතදී ඊජිප්තුවේ ජීවත් වුණු නෙෆර්ටිටි රැජිණගේ ඌර්ධවකය 3D තාක්ෂණය ඇසුරෙන් ප්‍රතිනිර්මාණය කෙරේ. මේ ප්‍රතිනිර්මාණය කිරීම සිදුවූයේ නෙෆර්ටිටි රැජිණගේ යැයි සැලකෙන “යන්ගර් ලේඩී” මමියෙහි අස්ථි සහ ආවේණික ද්‍රව්‍යය සැලකිල්ලට ගනිමිනි. ඇගේ මමිය දැනට තැන්පත් කර තිබෙන්නේ ඊජිප්තු කෞතුකාගාරයේය. ප්‍රතිනිර්මාණ කටයුත්තට දායකත්වය ලබාදුන් එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන්ට “යන්ගර් ලේඩී” මමිය විවෘත කිරීමට අවසරය ලැබිණ. ඊජිප්තු නෂ්ඨාවශේෂ පිළිබඳ විද්‍යාඥ ආචාර්ය ඒඩ්න් ඩොට්සන් සහ තවත් විද්‍යාඥයෝ කිහිපදෙනකු එම පිරිසට අයත් වූහ. ප්‍රතිනිර්මාණ කටයුත්ත සඳහා පැය 500කට අධික කාලයක් වැය වූ බව එම විද්‍යාඥයෝ මාධ්‍යට පවසා තිබිණ.

3D තාක්ෂණය යළි උපන් නෙෆර්ටිටි රැජිණ

ප්‍රතිනිර්මාණ කාර්යයයේදී විද්‍යාඥයන් වඩාත් අපහසුතාවකට ලක් වූයේ රැජිණගේ ඡවි වර්ණය ලබා ගැනීමේදීය. දැනට විද්‍යාඥයන් නෙෆර්ටිටි රැජිණට ලබාදී තිබෙන්නේ සුදු පැහැයට සමීප ඡවි වර්ණයකි. මේ ඡවි වර්ණය ගැන කතා කරන බොහෝ අය පවසන්නේ නෙෆර්ටිටි රැජිණ, විද්‍යාඥයන් ලබා දී ඇති අන්දමේ සුදු සමක් සහිත කාන්තාවක විය නොහැකි බවකි. දැනට ආරෝපණය කර ඇති සුදු සම නිසා රැජිණගේ පෙනුම අවතාරයක් බඳු තත්ත්වයකට පත්ව ඇතැයි සමහරු පවසති. ඊජිප්තු ජාතිකයන්ගේ සමෙහි පැහැය ලා දුඹුරු පැහැයේ සිට ලා රතු පැහැයටත්, කහ පැහැයටත්, කළු පැහැයටත් ආදී වශයෙන් පුළුල් පරාසයක විහිදී ඇත. නෙෆර්ටිටි රැජිණගේ සම මේ පැහැයන්ගෙන් කවර එකකට සමීපද යන්න ගැන නිශ්චිත නිගමනයක් නැත. ඒ වර්ණය කුමක් වුවත් ඈ ඉතාමත් රූමත් කාන්තාවක වූ බවට නම් සැකයක් නැත.

නෙෆර්ටිටි යන කෙටි නමින් හැඳින්වුණත් ඇගේ සම්පූර්ණ නම නෙෆර්නෙෆරුආටෙන් නෙෆර්ටිටි යන්නයි. ක්‍රි.පූ. 1370ත් 1330ත් අතර කාල වකවානුවේදී ජීවත් වූයේ යැයි සැලකෙන ඈ එකල ජනයා අතර මහත් ගෞරවාදරයට පත් කාන්තාවක වූවාය. ‘පාරම්පරික කුමරි’, ‘ආදරයේ ප්‍රියාවිය’, ‘මහා අභිනන්දනිය’, ‘කරුණාවේ ආර්යාව’ යනාදී විවිධ නම්වලින් ඇය මහජනයා අතර ප්‍රකටව සිටි බව සඳහන් වේ.

මෙලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ නෙෆර්ටිටි රැජිණ ඊජිප්තුව පාලනය කළ පාරා රජකු වන අකෙනාටෙන්ගේ අග බිසව යැයි මතයක් ඇත. අකෙනාටෙන් ක්‍රි.පූ. 1353 සිට ක්‍රි.පූ. 1336 දක්වා හෝ ක්‍රි.පූ. 1351 සිට ක්‍රි.පූ. 1334 දක්වා හෝ රජකම් කළ ඊජිප්තු රජෙකි. හෙතෙම 18 වන රාජවංශයට අයත් බව තහවුරුව ඇත. අකෙනාටෙන් රජකම් කළ කාලය ඊජිප්තු ඉතිහාසයේ ධනවත්ම කාලය යැයි කියැවේ. ඒ නිසා නෙෆර්ටිටි රැජිණ ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කළාට සැකයක් නැත.

නෙෆර්ටිටි රැජිණගේ මව්පියන් කව්ද?, විවාහයට පෙර ඈ ගත කළේ කවර ආකාරයේ ජීවිතයක්ද?, අකෙනාටෙන් රජු සමඟ ඈ විවාහ වූයේ කවර කාලයකදී ද? යන කාරණා කිසිවක් පැහැදිලි නැත. එසේ වුවත් නෙෆර්ටිටි රැජිණ උසස් පාරාවෝ පවුලක සාමාජිකාවක වන්නට ඇතැයි සැක කෙරේ. නෙෆර්ටිටි – අකෙනාටෙන් යුවළට දියණියන් සය දෙනෙකු සිටි බව විද්‍යාඥයෝ පවසති. මේ දියණියන් සයදෙනාට අමතරව අකෙනාටෙන් රජුට තවත් පුතණු කෙනෙකු සිටි බව තහවුරුව ඇත. ඒ පුතණුවන් අනෙකකු නොව ලෝකයට අබිරහසක්ව ඇති ටූටන්ඛාමන්ය. ටූටන්ඛාමන්ගේ උපත සිදුව තිබෙන්නේ ක්‍රි.පූ 1341දී බව දැක්වේ. එයින් වසර 18කට පසුව එනම් ක්‍රි.පූ. 1323දී පමණ ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ. ටූටන්ඛාමන්ගේ අබිරහස අනාවරණය කරගන්නට වෙර දරන විද්‍යාඥයන්ට මුහුණදීමට සිදුව ඇති බරපතලම ගැටලුව ටූටන්ඛාමන්ගේ මව නෙෆර්ටිටි රැජිණ ද? යන්න නිශ්චය කර ගැනීමයි.

ටූටන්ඛාමන්ගේ මව නෙෆර්ටිටි රැජිණ නොවේයැයි ඇතැම් පුරා විද්‍යාඥයෝ පවසති. එසේ නම් ටූටන්ඛාමන්ගේ මව කවරකුද යන පැනයට පිළිතුරක් තිබිය යුතුය. 2010 වසරේදී කරන ලද ඩී.එන්.ඒ. පරික්ෂාවන්ගෙන් තහවුරුව තිබෙන්නේ ටූටන්ඛාමන්, අකෙනාටෙන් රජුට දාව, අකෙනාටෙන් රජුගේම සොයුරියකගේ කුසෙන් උපන් දරුවකු බවයි. අකෙනාටෙන් රජුගේ ඒ සොයුරිය හෙවත් ටූටන්ඛාමන්ගේ මවගේ තොරතුරු මොනවාද යන්න මීළඟ ගැටලුවයි.

ටූටන්ඛාමන්ගේ ආවේණික තොරතුරු වඩාත් සැසඳෙන්නේ දැනට සොයාගෙන ඇති KV 35 වශයෙන් නම් කර ඇති මමිය සමඟයි. මේ මමිය හමු වී තිබෙන්නේ ඊජිප්තුවේ රජවරුන්ගේ නිම්නයෙහි තැන්පත් කර තිබියදීය. 1898දී එය විද්‍යාඥයන් අතට පත්විය. ඒ වනවිට එම මමිය දැඩි ලෙස විනාශයට පත්ව තිබුණේය. මේ මමිය විද්‍යාඥයන් නම් කරනු ලැබුවේ ‘ද යන්ගර් ලේඩී’ යනුවෙනි. ‘යන්ගර් ලේඩී’ ටූටන්ඛාමන්ගේ මව බව 2010දී කරන ලද ආවේණික පරික්ෂාවගෙන් තහවුරු කෙරිණ. ඊජිප්තු නෂ්ඨාවශේෂ පිළිබඳ විද්‍යාඥ ජෝනන් ෆ්ලෙචර් 2003 වසරේදී කියා සිටියේ ‘යන්ගර් ලේඩී’ ලෙස හඳුනාගෙන ඇති මමිය වෙනත් කිසිවකුගේ මමියක් නොව නෙෆර්ටිටි රැජිණගේ ම මමිය බවයි. ඒ අනුව අපට තර්ක කළ හැකි වන්නේ අකෙනාටෙන්ගේ සොයුරියත්, ටූටන්ඛාමන් බිහි කළ මවත් යන දෙදෙනාම නෙෆර්ටිටි රැජිණ නොවේදැයි කියාය. එසේම දියණියන් සයදෙනාගේ මවත් අකෙනාටෙන්ගේ සොයුරිය හෙවත් ටූටන්ඛාමන්ගේ මව ම නොවන්නේද කියා කෙනෙකුට සිතුනද එහි වරදක් නැත. නමුත් ඒ දියණිවරුන්ගේ මමි විද්‍යාඥයන් අතට තවමත් පත්ව නැති බව දැක්වේ. ඒ නිසා මේ කාරණා සියල්ලක්ම විවාදයන්ට භාජනය වෙමින් පවතී.

සිය සැමියා වූ අකෙනාටෙන් රජුගේ මරණින් පසු නෙෆර්ටිටි රැජිණ රාජ්‍යය පාලනය අතට ගෙන ඇත. නෙෆර්නෙෆරුආටෙන් යන නමින් පාලනය ගෙන යන්නට ඇත්තේ ඇය බවට විද්‍යාඥයන් අතර මතයක් තිබේ. අකෙනාටෙන් රජු මිය යනවිට ටූටන්ඛාමන් ද දස හැවිරිදි වියට ආසන්නව සිටි බව පෙනේ. මේ වාතාවරණය තුළ නෙෆර්ටිටි රැජිණ ක්‍රි.පූ. 1336 සිට 1332 දක්වා හෝ ක්‍රි.පූ. 1334 සිට 1332 දක්වා හෝ පාලන බලය දරන්නට ඇතැයි අනුමාන කෙරේ.

ක්‍රි.පූ. 1330න් පසුව නෙෆර්ටිටි රැජිණ ගැන සඳහනක් නැත. එහෙත් ක්‍රි.පූ. 1332 සිට ටූටන්ඛාමන්ගේ පාලන කාලය ඇරඹෙන බව දැනට තහවුරුව ඇත. ඒ අනුව නෙෆර්ටිටි රැජිණගේ අතුරුදහන් වීම සනිටුහන් වන්නේ ටූටන්ඛාමන් රජ පැමිණ තෙවසරක් පමණ ඉක්ම යනවිටදිය. එහි අරුත ඊට ආසන්න කාලයකදී ඈ ජීවිතක්ෂයට පත් වූ බව නොවේද?. එසේ වී නම් ඈ මරණයට පත්වන්නට ඇත්තේ වයස අවුරුදු 40ක් තරම් කාලයේදී විය හැකිය. නෙෆර්ටිටි රැජිණ ඉතා හදිසියෙන්ම මිය යන්නට ඇතැයි කියා පුරා විද්‍යාඥයෝ පවසති. නගරය පුරා පැතිර ගිය වසංගතයක් ඇයගේ මරණයට හේතුවක් වන්නට ඇති බව සමහර විද්වතුන්ගේ මතයයි. තවත් ඇතැම් විද්වතුන් පවසන්නේ නෙෆර්ටිටි රැජිණ ස්වභාවික ආපදා තත්ත්වයකට මුහුණ දෙන්නට ඇතැයි කියාය. මෙයින් ගම්‍යය වන්නේ රූමත් නෙෆර්ටිටි රැජිණගේ ජීවිත කතාව සහ ඉරණම විද්‍යාඥයන්ට අදටත් විසඳා ගත නොහැකි වූණු සිද්ධි දාමයකින් වැසී ඇති බව නොවෙද?

මංජුලා විජයරත්න
azimuthworld.com

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *