මහත් ආන්දෝලනයක් ඇති කළ පුනර්භවය සිදුවීම

හැත්තෑවේ දශකයේදී මහත් ආන්දෝලනයක් ඇති කළ පුනර්භවය සිදුවීමක් වූයේ දොඩන්ගොඩ ප්‍රදේශයේදී උපත ලැබූ දරුවකු හෙළි කළ පුනර්භවය සාධකයි. එදා එම දරුවා විසින් හෙළි කරනු ලැබුවේ ඉංගිරියේ පදිංචිව සිටි ජයතිස්ස නම් ව්‍යාපාරිකයකුගේ ජීවිත තොරතුරුය. එම පුනර්භව පර්​ෙ‌ය්ෂණයේදී පෙර භවයේ නෑදෑ හිතවතුන් හඳුනා ගැනීම සඳහා හඳුනා ගැනීමේ පෙරට්ටුවක්ද පවත්වනු ලැබීය. එහිදී එම දරුවා විසින් ඉතා සාර්ථක අයුරින් පෙරභව ඥාති හිතවතුන් කීප දෙනෙක්ම නිවැරදිව හඳුනාගනු ලැබීය. එහෙත් මෙම පුනර්භව සාධකය අන් කතාවලට වඩා සුවිශේෂී බවක්ද දක්නට ලැබිණි.  

පුද්ගලයකු මියයෑමෙන් පසු යළි උපතක් සිදුවීමේදී මව් කුස තුළ සිටින මාස නවයක පමණ කාල සීමාවකට පෙර පෙරභවයේ තැනැත්තාගේ මරණය සිදුවිය යුතු යයි සාමාන්‍ය පිළිගැනීමය. එහෙත් මෙම දරුවා හෙළිකළ පෙරභව පුද්ගලයා මරණයට පත්වී තිබුණේ එම දරුවාගේ උපත සිදුවීමෙන් පසුවය. අතිශය දුර්ලභ මෙවැනි සිදුවීම් ඉන්දියාව, බුරුමය සහ තායිලන්තයේ පර්යේෂණ අතරින්ද වාර්තා වී තිබේ. ලොව ප්‍රකට පුනර්භව පර්යේෂකයකු වූ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන්ගේ පර්​ෙ‌ය්ෂණ අතර එවැනි සිදුවීම් රැසක් ඇතුළත් වේ. මහාචාර්ය ස්ටීවන්සන් ඒ පිළිබඳව කරන ලද හැඳින්වීමක්ද පර්යේෂණ වාර්තාවකට ඇතුළත් කර ඇත. එහි සංස්කෘත භාෂා​ෙවන් හැඳින්වෙන වදනක්ද ඉදිරිපත් කර තිබේ. එය මෙසේය. (පරකායප්‍රවේශ)  PARAKAYAPREVESH  

THIS SANSKRIT WORD DESIGNATES THE TAKING OVER OF A LIVING BODY, AFTER ITS BIRTH BY A PERSONALITY NOT THE ORIGINAL OWNER OF THE BODY. THE LITERAL TRASNLATION OF THE WORD IS ”ENTERING ANOTHER BODY’ THE WORD IS USUALLY TRANSLATED BY THE ENGLISH WORD POSSESSION යනුවෙනි.

මේ යටතේ අනාවරණය වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම පුනර්භව සාධකය වූයේ දොඩන්ගොඩදී උපත ලද දරුවාගේ කතා පුවතය. අජිත් නම් එම දරුවා උපත ලැබුවේ 1969 දෙසැම්බර් මාසයේදී නාගොඩ රෝහලේදීය. පවුලේ බාලම දරුවා ලෙස උපත ලද එම දරුවා වයස අවුරුදු එකහමාරක් වන විට බහ තෝරන වියට පත්විය. දෙවසර පිරීමත් සමඟ අජිත්ට ඉතා හොඳින් කතා කිරීමට හැකියාව ලැබිණි. දිනක් නිවෙසට ගෙනා එළවළු වර්ග කීපයක් අතර තිබූ කැරට් ගෙඩි කීපයක් දුටු දරුවා ඒ දෙස බලා “අපේ ගෙදරට නම් කැරට් ගේන්නේ ගෝනි ගණන්” යයි කීය. මව ඒ වදන පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකළාය. නැවතත් මව ඇමතූ දරුවා ‘මගේ කඩේට කැරට් ​ෙගා්නි ගෙනාවාම වැඩ කරන කොල්ලෝ ලිහාගෙන කනවා’ යයි පැවසීය. එම වදනින් දරුවාගේ මව මවිතයට පත්වූවාය. කැරට් ගෝනි මගින් ගෙන එන දර්ශනයක් ඒ වන විට ඔහු කිසි දිනෙක දැක​ නොතිබීම එයට හේතුව විය.  

“ඔයාගෙ කඩේ තියෙන්නේ කොහේද?’ පුංචි ප්‍රශ්නයක් සිය පුතුට ඉදිරිපත් කළාය. එයට ක්ෂණයෙන් පිළිතුරු දුන් දරුවා,   ”ඉංගිරියේ” යයි එක්වරම කීය. අජිත් කිසියම් පෙරභවයක තොරතුරු හෙළිකරන බැව් දෙමාපියන්ට අවබෝධ විය. එහෙත් ඒ පිළිබඳ වැඩිදුර විමසීමට මාපියෝ උත්සාහ නොකළහ. එහෙත් අජිත් සිය පෙරභවයේ මතක සටහන් වරින් වර හෙළිකරන්නට උත්සාහ කළේය.  

‘අපේ ඒ ගෙදර මීට වැඩිය ලොකුයි. ගේ ඉස්සරහ බෙලි ගහක් තියෙනවා. එහිදී නෑවෙ ඔළුව අල්ලලා. ආදී වශයෙන් පෙර මතක සටහන් ඔහු අනාවරණය කළේය. ඒ සමඟම ‘එහෙදි කාර් එක ඇන්දේ හැපුණා’ යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළේය.  

පෙරභවය හෙළි කරන මෙම දරුවාගේ පුනර්භව පර්​ෙ‌ය්ෂණ සඳහා අප ඔහු හමුවන විට ඒ පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදුවී නොතිබිණි. ඒ වනවිට අජිත්ට වයස අවුරුදු පහක් පමණ වූ අතර ඔහුට පෙරභවය පිළිබඳ ඉතා හොඳ මතකයන් තිබිණි.  

“ඔයා ඉස්සර හිටියේ කොහේද?” යයි අප එදා එම දරුවාගෙන් විමසූවිට ඔහු පෙරභවයේ සිදුවීම් එකින් එක විස්තර කරන්නට වූයේ පුදුමාකාර ලෙසටය. ඔහු හෙළි කළ තොරතුරු අතර පෙරභවයේදී විවාහකයකු බවත් දරුවන් සහ බිරිඳ පිළිබඳවත් අනාවරණය කළේය. “මගේ නෝනයි දරුවොයි හිටියා. මම එදා කාර් එක එළවාගෙන යන කොට කාර් එක ඇන්දෙ හැපිලා වතුරට වැටුණා” යයිද කීය  

“කාර් එක හැපුණාම මාව ඉස්පිරිතාලෙ ගෙන ගියා” යනුවෙන්ද පැවසූ ඔහු කාරයේ තවත් අයකු සිටි බැව්ද පැවසුවේ ඒ පිළිබඳව පැහැදිලි පිළිතුරු නොදෙමිනි. පෙර භවයේ නමද ඔහු අනාවරණය කළේ අප ඒ පිළිබඳව විමසීමක් කළ විට දී ය.  

“ඔයාගෙ ඉස්සර නම මොකක්ද? යයි අප විමසූ විට ‘ජයතිස්ස’ යි එම දරුවා පිළිතුරු දුන්නේය. ඒ අනුව ඔහු හෙළිකළ පෙරභවයේ නිවෙසත් නෑදෑ පිරිසත් හමුවීමට එම දරුවාට එදා අවස්ථාව ලැබිණි.  

ජයතිස්ස මහතා


අජිත්ගේ මෙම පුනර්භව පර්​ෙ‌ය්ෂණ සඳහා මහාචාර්ය ස්ටීවන්සන්ද ශ්‍රී ලංකාවට පැමිණියේය. හොරණ තානායම් පොළේදී අජිත්ට පෙර නැදෑ පිරිස හඳුනාගැනීමේ පෙරට්ටුවකටද සහභාගීවීමට හැකි විය. එහිදී පෙරභවයේ ජයතිස්ස මහතා ඇසුරු කළ නෑදෑ හිතවතුන් කීප දෙනෙක්ම කුඩා අජිත් විසින් හඳුනාගනු ලැබීය. ඔහු අනාවරණය කළ පෙරභවයේ තොරතුරු අනුව සනාථ වූයේ ඉංගිරියේ ව්‍යාපාරිකයකු​ ලෙස ජීවත්ව හිටි ජයතිස්ස නම් අයෙකුගේ ජීවිතය පිළිබඳ එම දරුවා අනාවරණය කළ බවය. ජයතිස්ස මහතා මියගොස් තිබුණේ ඔහු පදවාගෙන ගිය මෝටර් රථය ඉංගිරිය පාලමේ ඇන්දේ වැදී දියට වැටීම නිසාය. ඔහු සමඟ ගමන්ගත් සේවිකාවක්ද එම අනතුරෙන් මරණයට පත්වී තිබිණි. ජයතිස්ස මහතාගේ දූ දරුවෝ සහ ඥාතීන්ද එදා මෙම පුනර්භව පර්​ෙ‌ය්ෂණයට සහභාගී වූහ. අජිත් විසින් හෙළි කරන ලද සියලු තොරතුරු සත්‍ය බව එදා සනාථ විය.  

එහෙත් මෙම පුනර්භව පර්​ෙ‌ය්ෂණයේදී මතුවූ ගැටලුවක් වූයේ ජයතිස්ස මහතාගේ මරණය සිදුවී ඇත්තේ ​ෙපරභවය හෙළි කළ අජිත් ගේ උපත සිදුවී මාස දෙකහමාරකට පමණ පසුවය වීමය. ජයතිස්ස මහතාගේ මරණය සිදුවූයේ 1970 මාර්තු මාසයේදීය. අජිත් උපත ලැබුවේ 1969 දෙසැම්බර් 22 වනදා ය. අජිත් විසින් හෙළි කළ පෙරභව කරුණු සනාථ වීමේදී ඔහු පැවසූ පරිදි ඔහු පදිංචිව සිටි නිවෙස අජිත්ගේ නිවසට වඩා ප්‍රමාණයෙන් විශාල නිවෙසක් විය. නිවස ඉදිරිපිට බෙලි ගසක් සහ කොළ පාට ගේට්ටුවක් තිබිණි. ‘ඔළුව අල්ලා නානවා’ යනුවෙන් කළ ප්‍රකාශය එම නිවෙසේ ජලය ලබාගැනීම ජල කරාම මඟින් සිදු කර තිබීම නිසා ස්නානය කිරීම සිදුවී තිබුණේ නාන කාමර තුළ ජල කරාමයකිනි. අජිත් පැවසූ පරිදි පෙරභවයේ ඔහු විවාහක දරුවන් සය දෙනෙකුගේ පියෙකි. ඔහු ව්‍යාපාරිකයකු වූ අතර කඩ කීපයක හිමිකරුවෙකු ද විය.  

ජයතිස්ස මහතා ඇසුරු කළ පුද්ගලයන් හඳුනාගැනීම සඳහා පවත්වන ලද හඳුනාගැනීමේ පෙරට්ටුවේදී ඔහු ඇසුරු කළ භික්ෂූන් වහන්සේ නමක්ද නිවැරදිව හඳුනාගැනීමට හැකිවූයේ අතිශය පුදුම අයුරිනි. එම භික්ෂූන් වහන්සේ දුටු විගස එම හිමියන්ගේ නමද අජිත් නිවැරදිව ප්‍රකාශ කළේ පෙරභව ඥාතීන් පුදුමයට පත් කරවමිනි.  

පුනර්භව සිදුවීම් අතර උපත හා මරණය අතර ගැටලු සිදුවී මතුවූ ඉන්දියාවේ සිදුවීම් කීපයක් ද ඇත. මහාචාර්ය ස්ටීවන්සන්ගේ පර්​ෙ‌ය්ෂණ ග්‍රන්ථයක්වූ (SEVEN CASES SUGGESTIVE OF REINCARNATION IN INDIA) නම් ග්‍රන්ථ​ෙය් ඇතුළත් එක් සිදුවීමක පෙරභවයේ තැනැත්තා මරණයට පත්වී ඇත්තේ ​ෙපරභවය හෙළි කළ දරුවා උපත ලබා වසර තුනහමාරකට පසුවය. 

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ජීවත්ව සිටි ජස්බීර් නම් එම දරුවා වයස අවුරුදු තුන හමාරේදී වසූරිය රෝගයෙන් මරණයට පත්විය. මියගිය දරුවාගේ සිරුර භූමිදානය සඳහා ඔහුගේ පියා ඇතුළු ඥාතීහු කටයුතු පිළියෙළ කරමින් සිටියහ. එහිදී පියාට දක්නට ලැබුණේ මියගොස් සිටි දරුවාගේ සිරුර චලනයවීමකි. වහාම භූමිදාන කටයුතු නතර කැරිණි. යළිත් ප්‍රාණය ලැබූ සිරුර ස්වසන ක්‍රියාවලිය ආරම්භ කර තිබිණි. අනතුරුව ඔහුට කතා කිරීමට හැකි විය. ඔහු ප්‍රකාශ කළේ වෙනත් ගමක් වූ ‘වේගේදී’ නම් ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකුගේ තොරතුරුය. ඔහු ඉතා උසස් කුලයක අයකු බැව් හෙළිකළ දරුවා ආහාර පාන පවා වෙනස් අයුරින් ඉල්ලා සිටියේය. ඒ සමඟම පෙරභවයේ තොරතුරු හෙළි කරමින් එහිදී ගත් ආහාර වර්ගයක් විසවීමෙන් පසු මරණය සිදුවූ බව කීය. මංගල උත්සවයකට ගොස් එන අතරතුර ඔහු ගමන් ගත් කරත්තයෙන් වැටුණු බැව්ද එම දරුවා කීය. ඒ පිළිබඳව සිදු කළ විමර්ශනයේදී පෙර භවයේ තැනැත්තාගේ නම්ද පැහැදිලිව අනාවරණය කිරීමට එම දරුවාට හැකිවූ බවද දක්නට ලැබිණි. ඔහු විසින් හෙළි කරනු ලැබුවේ විසි දෙහැවිරිදි වියේ පසුවූ සොබාරම් නම් තරුණයකුගේ ජීවිත තොරතුරුය. සොබාරම්ගේ මරණය සිදුවූයේ 1954 මැයි මාසයේදීය. ඒ වනවිට ජස්බීර් අවුරුදු තුනහමාරක දරුවකුව සිටියේය. සොබාරම් තරුණයා මියයෑමට හේතු වූයේ මංගල උත්සවයකදී ගත් ආහාර වර්ගයක් වසවීම නිසාය. ඔහු පැවසූ පරිදි එදින ගමන්ගත් කරත්තයෙන් වැටීමද සිදුවී තිබිණි.   

පෙරභවයේ නිවෙස සහ පුද්ගලයා පිළිබඳව හෙළිවීමෙන් පසු එම දරුවාට පෙරභව ඥාතීන් හඳුනාගැනීමට ද අවස්ථාව ලබාදුන්නේය. එහිදී මාපියන් ඇතුළු ඥාතීන් කීප දෙනෙක්ම ඔහු නිවැරදිව හඳුනාගැනීමද විශේෂත්වයක් විය. මෙහිදී සනාථ වූයේ ජස්බීරගේ වයස අවුරුදු තුනහමාරක සිරුරට සොබාරම් ඇතුළු වී යළි උපත සිදුවී ඇති බවය. මහාචාර්ය ස්ටීවන්සන්ගේ පර්​ෙ‌ය්ෂණ වාර්තාවේ ජස්බීර්ගේ අධිමානසික තත්ත්වය පිළිබඳව සඳහන් කර ඇත. (COMMENTS ON THE EXIDENCE OF PARANORMAL KNOWLEDGE ON THE PART OF JASBIR යනුවෙන් ඔහුගේ හඳුනා ගැනීම් පිළිබඳව හැඳින්වීමක් කර තිබේ. එහි මෙම පුනර්භව සාධකයේ සනාථවීම දක්වා ඇත්තේ (THAT JASBIR HAD DETAILED KNOWLEDGE OF THE LIFE AND DEATH OF SOBHARAM SEEMS ENTIRELY CLEAR FROM THE LIST OF THE STATEMENTS HE MADE AND RECOGNITIONS HE ACHIEVED) යනුවෙනි.  
ඉන්දියාවෙන් හෙළිවූ තවත් පුනර්භව සාධකයක් අනුව චිපානි දිස්ත්‍රික්කයේ පදිංචිව සිටි ‘මුන්නා’ නම් පාසල් දරුවකු ඛේදජනක ලෙස මරා දමනු ලැබීය. මළ සිරුර ලඳු කැලෑවක තිබී මාපියන් විසින් සොයාගනු ලැබුවේ දෙදිනකට පසුවය. එය සිදුවූ​ෙය් 1957 ජනවාරි 19 වැනිදාය. මාපියන් සමඟ පැවති දේපළ ආරවුලක් නිසා පුද්ගලයන් දෙදෙනකු විසින් එම දරුවා ඝාතනය කළ බැව් සනාථ විය. එහෙත් ඇසින් දුටු සාක්ෂි නොමැතිවීමෙන් මිනීමරුවෝ නිදහස් වූහ. පවුලේ එකම දරුවා වූ මුන්නාට සිදුවූ ශෝකජනක සිදුවීම නිසා මාපියෝ අතිශය කම්පාවට පත්ව සිටියහ. මුන්නා මරණයට පත්වී මාස හයක් ගතවිණි. 1951 ජූලි මසදී වෙනත් දිස්ත්‍රික්කයක උපත ලද රවි නම් දරුවෙක් බහ තෝරන වියට පැමිණ පෙරභව තොරතුරු අනාවරණය කළේය.  

පුද්ගලයන් දෙදෙනකු විසින් ඔහු මරා දැමුණු බවත් ඔවුන්ගේ නම් සිය මතකයේ ඇති බැව් ඔහු හෙළි කළේය. මිනීමරුවන්ගේ නම් අනාවරණය කිරීම මෙම දරුවා හෙළි කළ තොරතුරු අතර විශේෂත්වයක් විය. මුන්නා හෙළි කළ පෙරභව කරුණු විමර්ශනය කිරීම පුනර්භව පර්​ෙ‌ය්ෂකයන්ට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳ පූර්ණ පර්​ෙ‌ය්ෂණයක් සිදු කෙරිණි. එහිදී පෙර භවයේ මිනීමැරුම සිදු කළ ස්ථානය පවා නිවැරදිව පෙන්වා දීමට එදා එම දරුවාට හැකිවිය. මුන්නා මරා දමන අවස්ථාවේ ඔහුගේ ගෙල කැපීම නිසා සිදුවූ තුවාලය උපන් ලපයක් ලෙස රවිගේ සිරුරේ දක්නට ලැබීමද සුවිශේෂී සිදුවීමක් මෙන්ම පෙර භවය පිළිබඳ ප්‍රබල සාක්ෂියක්ද විය. මෙම පුනර්භව සාධකය මඟින් සනාථ වූයේ 1951 ජනවාරි 19 වැනිදා මරුමුවට පත්වූ මුන්නා ඒ වන විට මව් කුසක් තුළ වැඩෙමින් මාස හයක්ව සිටි සිරුරකට ඇතුළත් වී රවි නමින් යළි උපත ලබා ඇති බවය.  

උපුටා ගැනීම : තිස්ස ජයවර්ධන, ලංකාදීප

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *