කහ නදිය දෙපස හොවැංහෝ ශිෂ්ටාචාරය

චීන ඉතිහාසය ආරම්භය නිශ්චිතව කිය නොහැකිය. පුරා විද්‍යා කැණීම් අනුව චීනයේ ප‍්‍රාග් ඓතිහාසික යුගය කි‍්‍ර.පූ. 600,000 පමණ හෝ කි‍්‍ර.පූ. 200,000 පමණ හෝ ආරම්භ වන්නට ඇතැයි සැලකෙයි. නයිල්, යුප‍්‍රටීස් ටයිගී‍්‍රස් ගංගා නිම්නවල ශිෂ්ටාචාර බිහිවුණා සේම චීන ශිෂ්ටාචාරය බිහිවූයේ හොවැංහෝ ගංගා නිම්නයේයි. හොවැංහෝ ගඟ අද අප හඳුන්වන්නේ කහ ගංගාව කියලයි. හොවැංහෝ හෙවත් චීන ශිෂ්ටාචාරය ගැන දැනගන්න පුළුවන් වන්නේ ජනප‍්‍රවාද හා පුරාවස්තුවලිනුයි.

හ්වැන්ග්-හෝ නදිය ගුවනින්

ජනාවාස බිහිවූ අයුරු

හොවැංහෝ හෙවත් කහ ගඟ වාර්ෂිකව පිටාර ගලා යද්දී ගංගා නිම්නයේ පස සරු වෙන්න පටන් ගත්තා. ජනතාව මෙම ප‍්‍රදේශවල පදිංචි වීමෙන් පසු ගොවිතැන් කටයුතු හා සත්ත්ව පාලන කටයුතු ඇරඹුණා. චීන ශිෂ්ටාචාරය බිහිවීමට අනෙක් කිසිදු ශිෂ්ටාචාරයක ආභාසයක් හෝ බලපෑමක් ලැබී තිබුණේ නැහැ. එහි හුදෙකලා වූ ස්වාධීන වර්ධනයක් දැකිය හැකි වුණා. ඒ නිසාම එහි වෙනස්වීම් ඇතිවුණේ සෙමින්. කි‍්‍ර.පූ. 1800 වන විට ගංගා නිම්නයේ ගම්මාන බිහිවී තිබූ බවට සාක්ෂි හමුවී තියෙනවා. ඒවායේ ගැමියන් ගොවිතැන් කටයුතු මෙන්ම එදිනෙදා කටයුතු සඳහාද ජලය ලබා ගත්තේ කහ ගංගාවෙනුයි. ගඟ දිගේ ඔරු හා පාරුවලින් ප‍්‍රවාහන සේවාවන් පවා පැවති බව කියැවෙනවා. ධීවර කර්මාන්තයත් ඔවුන් අතර හුඟක් ප‍්‍රචලිතව පැවති බව සඳහන් වෙනවා.

චීන මැටි බඳුන්

චීනයේ ආදීවාසීන්

මෙම ඉපැරණි යුගයේ ජීවත් වූ චීන මිනිසුන්ගෙන් ආදීම මුතුන්මිත්තන් වන්නේ කයි යුවාන්, ලැන් තියෙන් සහ පීකිං ආදී නම්වලින් හැඳින්වෙන වානර-මානවයින්ය. මොවුන් ගැන සාක්ෂි සොයාගෙන තියෙන්නේ චීනයේ යුනාන්, හෝනාන්, හෝපෙයි යන පළාත්වලිනුයි. මේ අතුරින් වඩාත් ප‍්‍රසිද්ධ පීකිං මානවයායි. පීකිං මානවයා ජීවත් වී ඇත්තේ කි‍්‍ර.පූ. 400,000 ක් තරම් ඈත කාලයේ බව පැවැසෙනවා. පුරාවිද්‍යා කැණීම්වලට අනුව චීනයේ නව ශිලා යුගය ගැන තොරතුරු ලැබී තියෙන්නේ හෝනාන් පළාතේ යංෂා ඕ, ෂංදුන්, ලූංෂන් සහ ජියංසු යන ප‍්‍රදේශවල කළ කැණීම්වලිනුයි. නව ශිලා යුගයේ ජීවත් වූ චීන මිනිසා දඩයම් කිරීමේ සිට ක‍්‍රමයෙන් සතුන් ඇති කිරීමටත්, ගොවිතැන් කිරීමටත් පටන් ගත් බව මෙම සාක්ෂිවලින් හෙළිදරව් වී තියෙනවා.

චීන සාහිත්‍යය

චීන සාහිත්‍ය සම්ප‍්‍රදාය ආරම්භ වුණේ කි‍්‍ර.පූ. 3000 දී පමණ උතුරු දිග ප‍්‍රදේශවල ගංගා නිම්න ආශි‍්‍රතව ගොවිතැන මුල් කර ගනිමින් බිහි වූ ගම්මාන සමඟ බව හෙළි වී තියෙනවා. ලොව අනෙකුත් ශිෂ්ටාචාරයන්හි ඉතිහාසය දෙස බලද්දී මෙම කාලය මෙසපොටේමියානු, නයිල් හා ඉන්දු නිම්න ආදී පුරාණ ශිෂ්ටාචාරයන්හි ආරම්භක කාලය සමඟ දළ වශයෙන් සමකාලීන වෙනවා. පුරාවිද්‍යා කැණීම්වලින් ලැබුණු තොරතුරු අනුව මෙම කාලය අයිති වෙන්නේ නව ශිලා යුගයටයි. මෙහි මුල් ම ගොවීන් ජීවත් වුණේ කටුමැටි ගෙවල්වලයි. මුල් කාලයේ පටන්ම වර්ණාලේප කළ මැටි බදුන් නිර්මාණය කිරීමේ හැකියාව ඔවුන්ට තිබුණා. ඔවුන්ගේ ආගම වුණේ ඔවුන්ගේ මුතුන්මිත්තන් වන්දනා කිරීමයි. සතුන්ගේ අස්ථි යොද ගනිමින් අනාගතය හෙළි කිරීමේ හැකියාවක් ද ඔවුන්ගේ පූජකයින්ට තිබුණා.

හොවැංහෝ ශිෂ්ටාචාරයේ ව්‍යාප්තිය

ආදීතම චීන පාලකයින්

චීනයේ ආදී පාලකයින් හඳුන්වන්නේ ප‍්‍රඥාවන්ත රජුන් (Sage Kings) කියලයි. එවැනි රජුන් තුන් දෙනෙකු සහ අධිරාජයන් පස් දෙනෙකු සිටි බව ඉතිහාසයේ සඳහන් වෙනෙවා. මෙම රජවරුන් සියලූම දෙනා ඉතා බුද්ධිමත් හා ධාර්මිෂ්ට පාලකයින් බවත් පැවැසෙනවා. ඔවුන් මහලූ වියට පත්වූ පසු ස්වකීය සිංහාසනයට තමන් ඉතාම සුදුසු යැයි සැලකූ පුද්ගලයාට පවරා විශ‍්‍රාම ගියා. ය ඕ සහ ෂුන් යන රජුන් දෙදෙනා ම මහලූවියේ දී විශ‍්‍රාම ගියේ ඔවුන්ගේ දක්ෂතම අමාත්‍යවරුන්ට රජකම භාරදීමෙන් පසුවයි. පියාගෙන් පුතාට රජකම උරුම වීම අතීත චීන රජ පෙළපත්වල නොතිබිණි. මේ කාලයේදී සතුන් හීලෑ කිරීම, මසුන් ඇල්ලීම, කෘෂිකර්මය, වෙළඳාම පැවැතුණා. මෙකල පැවති ගෝත‍්‍රික රාජ්‍ය අතර එක්සත් බවක් ද පැවති බව සඳහන්. චීන සංස්කෘතික වර්ධනයේ මුල්ම අවධිය ලෙස සැලකෙන්නේ කි‍්‍ර.පූ. තුන්වන සහස‍්‍රයයි. මේ කාලයේ විසූ පාලකයින්ගෙන් අවසාන පාලකයා වූ ‘යූ’ගෙන් පසු චීනයේ රජ පෙළපත ආරම්භ වෙනවා. පාලන කටයුතු ඇරඹූ මුල්ම චීන රජ පෙළපත වන්නේ ෂැංග් රජ පෙළපතයි. ඔවුන් කි‍්‍ර.පූ. 1400 දී පටන් උතුරු චීන නිම්නයේ පාලන කටයුතු සිදුකළා. ෂැංග් අධිරාජයාගේ අගනුවර ලෙස සැලකෙන්නේ අන්යංග් නම් නගරයයි. වෙළඳුන්ගෙන් සහ අත්කම් නිර්මාණකරුවන්ගෙන් සැදුම්ලත් කුඩා නගර ඒ වටා ඉදිවුණා. දක්ෂ ලෝකඩ නිර්මාණකරුවන් ද මේ නගරවල ජීවත් වුණා. මොවුන්ගෙන් වැඩි දෙනාට ලිවීමේ හැකියාව තිබූ බව තහවුරු වෙලා තියෙනවා.

නගරයේ ආරක්ෂාවට මුල්තැන

අන්යංග් නගරයේ ගොඩනැගිලි ඉදිකරන්න කලින් පිරිමින් සහ ගැහැනුන් බිලි දී ඔවුන්ගේ මළ සිරුරු මත ගොඩනැගිලි ඉදි කිරීම සිදු කර ඇතැයි පැවැසෙනවා. පුරාවිද්‍යා කැණීම් කරද්දී පුරා විද්‍යාඥයන්ට මෙසේ බිල්ලට දුන් ඇටසැකිලි 852 ක් හමුවී තිබෙනවා. ඒ නගරයේ ජීවත්වූවන් අනාගත පරපුරේ ආරක්ෂාව පතා මෙසේ බිලි පූජා පවත්වා ඇත්තේ දෙවියන් වෙනුවෙන්. එක් ස්ථානයක සෙබළු සමූහයක් ද, අශ්වාරෝහකයන් ද සමග අසුන් බැඳි කරත්ත පහක් ද මිහිදන් කර තිබියදී හමුවී තියෙනවා.

මහා දාර්ශනිකයා : කොන්ෆියුසියස්

බටහිරින් ආ චෞ ආක‍්‍රමණිකයෝ ෂැංග් අධිරාජ්‍යය පෙරළා දමා අවුරුදු 800 කට ආසන්න කාලයක් පුරා චීනය පාලනය කළා. මේ කාලයේ දාර්ශනිකයන් ඔවුන්ගේ දර්ශනය පැහැදිලි කරමින් දේශනා පවත්වමින් තැනින් තැන උසස් වංශිකයන්ගේ සභාවලට ගියා. මෙම දාර්ශනිකයන් අතර ශ්‍රේෂ්ඨතමයා ලෙස සැලකෙන්නේ කුං ෆූට්සූ හෙවත් කොන්ෆියුසියස්ය. බුදුරජාණන්වහන්සේගේ සමකාලීනයෙකු වූ ඔහු වාසය කළේ කි‍්‍ර.පූ. 550 ත් 480 ත් අතර යැයි පැවැසෙනවා. යහපත් දේ කිරීමට සෑම මිනිසෙකුට ම ශක්තියක් ඇති බවත් පාලක පක්ෂයට ඔවුන්ගේ බලය දෙව්ලොවින් ලැබුණු දෙයක් බැවින් ඔවුන්ගේ රටවැසියන්ගෙන් යහපත් දේ වඩාත් හොඳින් ලබා ගැනීම කළ යුතු බවත් ඔවුන් ජනතාවගේ මව්වරුන් හා පියවරුන් ලෙස සිතිය යුතුයි. නීතිය, සත්‍යවාදී බව හා මාපියන්ට ගරු කිරීම රටේ පවත්වාගෙන යාම ඔවුන්ගේ වගකීමයි. තරාතිරම කුමක් වුනත් සුදුස්සාට හා දක්ෂයාට තැන දිය යුතුයි යන්න ඔහුගේ දර්ශනය වුණා. එකල චීන නිලධාරීන් තෝරාගනු ලැබුවේ උසස් විභාගයකින් පසුවයි.

චීන මහා ප්‍රාකාරය

ආරක්ෂා වෙන්න ප‍්‍රාකාරයක්

කි‍්‍ර.පූ. 400 දී උසස් වාංශිකයින්ව පාලනය කර ගැනීමට නොහැකි තත්වයක් චෞ පාලකයන්ට උදා වුණා. ඒ නිසා කැරළි කෝලහාල හට ගත්තා. ඒවා අවසන් වූයේ ෂී හුවාං ටී රාජත්වයට පැමිණීමත් සමඟයි. පසුව චීනය යන නමට හේතු වූ චිං අධිරාජ්‍යය පිහිටුවන ලද්දේ මෙම අධිරාජයා විසිනුයි. එවකට සිටි කුමාරවරුන්ගේ සිත් දිනාගත් ඔහු උතුරු දේශසීමාව ආරක්ෂා කිරීම පිණිස පැවති පවුරු කොටස් එක්කොට විශාල ප‍්‍රාකාරයක් ඉදිකෙරෙව්වා. චීන මහා ප‍්‍රාකාරය වන්නේ එයයි.

 

malkakulu.com ඇසුරිණි

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *