දළදා වතුර 1828

දළදා පෙරහර හා ජන සම්ප්‍රදාය කෙතරම් දුරට තදානුබද්ධ වූයේ ද යත්, ඇසළ මාසය පෙරහර මාසය ලෙසින් හැඳින්වේ. ඒ, මහනුවර ඇසළ මංගල්ලය හේතුවෙනි. ක්‍රි.ව 1592 දී සෙංකඩගල රාජ්‍යත්වට පත් පළමු වැනි විමලධර්මසූරිය රජතුමා, දෙල්ගමුව රජමහා විහාරයේ සඟවා සිටි දළදා හාමුදුරුවන් මහනුවරට වැඩමවා එතැන් සිට නුවර යුගයේ දළදා පෙරහර සම්ප්‍රදායය ආරම්භ කිරීමට මුල පුරන ලදී. පසුව සෙනරත් රජු, දෙවන රාජසිංහ රජු, දෙවන විමලධර්මසූරිය රජු, නරේන්ද්‍රසිංහ රජු, විජය රාජසිංහ රජු, රාජාධි රාජසිංහ රජු සහ ශ්‍රී වික්‍රම රාජසිහ රජු මහනුවර දළදා පෙරහර සම්ප්‍රදාය ගොඩනැඟූ රාජකීයෝ වෙති.

ලක්දිව පළමු වරට දළදා පෙරහරක් හා දළදා ප‍්‍රදර්ශනයක් පවත්වන ලද්දේ කීර්ති ශී‍්‍ර මේඝවර්ණ රජතුමා (කි‍්‍ර.ව. 301 – 328) ගේ රාජ්‍ය පාලන කාලයේදී ය. සිය රාජ්‍ය පාලනයේ 9 වැනි වර්ෂයේදී ලක්දිවට වැඩම කරවන ලද දළදා වහන්සේ දළදා මාලිගාවේ සිට අභයගිරි විහාරයට පෙරහරින් වැඩමවා ප‍්‍රදර්ශනය කළ අතර, ඉන් ඉක්බිති ව දළදා පුද පූජා පවත්වන්නට නියම කළේය. ඒ අනුව දළදා වහන්සේ අභයගිරි විහාරයට පෙරහරින් වැඩමවා විත් ප‍්‍රදර්ශනය කිරීමේ චාරිත‍්‍රය 5 වැනි සියවස දක්වා ම පැවැති බව වර්ෂ 413 දී ලක්දිවට පැමිණි චීන ජාතික ෆාහියන් (Fa-Hsien) භික්ෂුවගේ දේශාටන වාර්තාව (A Record of Buddhist Kingdoms or The Travels of Fa-Hsien) ට අනුව පැහැදිලි වේ.

වර්ෂ 1818 දී ඇතිවූ මාතලේ කැරැල්ලෙන් පසු සිංහලයින් කෙරෙහි තදින් සිටීමට කල්පනා කළ ඉංග්‍රීසි පාලකයෝ  1818 – 1827 යන කාල වකවානුවේ දළදා පෙරහර හෝ දළදා ප‍්‍රදර්ශන පැවැත්වීම සම්පූර්ණයෙන් ම තහනම් කොට නියෝග පනවා තිබුණි. ඒ අතර වර්ෂ 1827 – 1828 යන කාල වකවානුවේ දිවයින පුරා දැඩි නියඟයක් ඇතිවිණි. මේ නියඟයෙන් ඇළ දොළ ගංගා සිඳී භවභෝග විනාශ වී වසංගත රෝග දසත පැතිර ගියේය. මෙයට මූලික හේතුව ලෙස, සැලැකිය යුතු කාලයක් දළදා පෙරහරක් හෝ දළදා ප‍්‍රදර්ශනයක් නොපැවැත්වීම යැයි, යන අදහස ගිහි පැවිදි සියලු දනන් අතර මුල් බැසගෙන තිබුණි. එබැවින් භික්ෂුන් වහන්සේලා හා උඩරට නායකයන්, ආණ්ඩුකාර සර් එඩ්වඩ් බාන්ස්‌වෙත ගොස්‌එළඹෙන වෙසක්‌පුන් පොහෝ දිනයේ දී දළදා මාළිගය මූලිකත්වයෙන් පෙරහරක්‌පැවැත්වීමට අවසර පැතීය. ඔච්චමට සිනාසුනු එඩ්වඩ් බාන්ස්‌, දළදා පෙරහැර පැවැත්වීමෙන් පසුවද වැසි නොලදහොත් උඩරට නායකයින්ට දැඩි දඩුවම් පමුණුවන බවට කොන්දේසියක්  දැමූහ. එහිදී සිංහල නායකයින් ඕනෑම දඩුවමක් විදිමට එකඟ වූහ. ඒ අනුව ශී‍්‍රමත් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා විසින් වර්ෂ 1828 මැයි මස 29 දින යෙදුණු වෙසක් පුන් පොහො දින දළදා ප‍්‍රදර්ශනයක් සහිත දළදා පෙරහරක් පැවැත්වීමට නිල අවසරය ලබා දෙන ලදී.

1828 මැයි මස 29 වන දිනට යෙදුණු වෙසක් පුන් පොහෝ දින පවත්වන ලද දළදා පෙරහර හා දළදා ප‍්‍රදර්ශනය (මෙය වූ කලි ඉංගී‍්‍රසි ආණ්ඩුව යටතේ පවත්වන ලද පළමු දළදා ප‍්‍රදර්ශනය යි) අවසානයේදී මහනුවර ප‍්‍රදේශයට ඇදහැලුණු මහා ධාරානිපාත වර්ෂාවෙන් මුළුමහත් නගරයම ජලයෙන් යටවූ බව කියැවේ. මේ මහා ධාරානිපාත වර්ෂාව මින් පෙර නොවූ විරූ එකක් වූ අතර දිගු නියඟය අවසන් කිරීමේ දළදා ප‍්‍රාතිහාර්යක් බඳු වූ මෙය මහජනතාව විසින් හඳුන්වන ලද්දේ ‘දළදා වතුර’ යන නමිනි. මෙයින් පේරාදෙණියේ මහ පාලම සහ කටුගස්තොට ලී පාලමත් තැන්නේකුඹුරේ පාලමත් කඩාබිඳ දමමින් මහ ගංවතුරක්ද ඇතිවු බව කියවේ. මේ නිසා පෙරහැරට නුවර ගිය එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාට යළි කොළඹ බලා පැමිණීමට නොහැකිව මහනුවරට වී දින කිහිපයක් ගත කිරීමට සිදුවී ඇති බවද සදහන්‍ය. එම ගංවතුර බැස ගිය පසු රැජිණ හෝටලයේ මේස මත ඉදිබුවන් පවා දක්නට ලැබුන බව ඉතිහාස වාර්තා කියයි.

මෙසිරිලකට වැඩි බුදුරදුන් කෙරෙහි අප්‍රමාණ භක්‌ත්‍යාදරයෙන්, රජවරු ඒ ඒ කලට උචිත විවිධ වතාවත් තෙමගුල සිහිකරමින් පවත්වා ඇති බව පාහියන් වාර්තාවේද සඳහන් වෙයි. පස්‌වන ශත වර්ෂයේදී අනුරාධපුර අභයගිරියේදී, දළදාවහන්සේට ගෞරව කරමින් ද, බුදුන්වහන්සේගේ තෙමගුල සිහි කරමින්ද, වෙසක්‌පෙරහරක්‌පැවැත් වූ බව එහි කියැවෙයි. ජාතක කතා පන්සියය චිත්‍රයට නගන ලද ධජ පතාක පුවරු රැගත් ජනයා මෙම පෙරහරේ ගමන් කර ඇතැයි ද දැක්‌වේ. වෙසක්‌මංගල්‍යය උදෙසා වූ ලංකාද්වීපයේ පෙරහරක ඇරඹුම එය විය හැකිය.

එහි ක්‍රමික විකාශනය සමග වෙසක්‌පෙරහර මහනුවරට සැපත් වන්නේ, 1828 වසරේදී ය. ඒ සිරිලකම කලඹා ලූ “දළදා වතුර” ගැලීමත් සමගය. “දළදා වතුර ගැලුයේ,වෙසක්‌පෙරහරේ ආනුභාවයටය. මාගේ ඇස්‌පනා පිට මෙවැන්නක්‌සිදු වූයේ කෙසේද යන්න අදහා ගත නොහැකිය. ස්‌වාභාවික පරිසර සංසිද්ධියක්‌යටතේ ඇතිවන වර්ෂාව බෙර ඝෝෂාවකින් දෙවියන් ට කියා කලේ කෙසේද යන්න මට ප්‍රශ්නයකි…” යැයි සර් එඩ්වඩ් බාන්ස්‌පවසා ඇත. ජෝන් ඩොයිලි විසින් රචිත  A sketch of the constitution of Kandyan Kingdom කෘතියෙහි ඒ බැව් සපථ කොට තිබේ.

එතැන් සිට මේ දක්‌වාම දළදා මාළිගය ඇසුරෙහි වෙසක්‌පෙරහර පවත්වනු ලබයි. වීථි සංචාරය නොකරන වෙසක්‌පෙරහර, මාළිගා පරිශ්‍රය හෝ මහමළුව වටා පමණක්‌ගමන් කිරීමට හුරු ව සිටියි. කාලයේ විකසනය සමගම ඇතැම් විටෙක දැන් දැන් වෙසක්‌පෙරහර වාහල නාග උපසම්පදා මහෝත්සවයේ ආරම්භක දින හා සමගද පවත්වනු දක්‌නට ලැබේ.

උපුටා ගැනීමකි.

මූලාශ්‍ර :
Wikipedia
ravaya.lk
deephe.com
ifbcnet.org

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *