සෞරග්‍රහ මණ්ඩලයේ අපුරු තොරතුරු

පෘථිවිය ඇතුළු තවත් ග්‍රහලෝක හතක්‌, වාමන ග්‍රහලෝක පහක් හා ග්‍රහක වල්ගාතරු ආදී ග්‍රහ වස්තු විශාල ප්‍රමාණයක එකතුවකින් සෞරග්‍රහ මණ්ඩලය සැකසී පවතී. මේ ඒ පිලිබදව තොරතුරුයි.

සෞරග්‍රහ මණ්ඩලය

සුර්යයාත් එහි ගුරුත්ව බලය යටතේ කක්ෂ ගත වී තිබෙන අනෙකුත් වස්තුන් ද සෞරග්‍රහ මණ්ඩලයට අයත් වේ. මෙයට ග්‍රහලෝක,වල්ගාතරු, ග්‍රහක, උපග්‍රහයින් හා උල්කාපාත අයත් වේ.සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වී තිබෙන්නේ මීට වසර බිලියන 4.6 කට පෙරයි. සෞරග්‍රහ මණ්ඩලයට ග්‍රහලෝක අටක් අයත් වේ. ඒවා ඇතුලත ග්‍රහලෝක හා පිටත ග්‍රහලෝක වශයෙන් කොටස් දෙකකට බෙදේ. බුධ, සිකුරු, පෘථිවි, අගහරු යන ඒවා ඇතුලත ග්‍රහලෝක වලටද බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් හා නෙප්චුන් පිටත ග්‍රහලෝක වලටද අයත් වේ. 2008 වසර වන විට සෞරග්‍රහ මණ්ඩලයට අයත් වාමන ග්‍රහලෝක 5ක් හදුනා ගෙන තිබිණි. ඒවා නම් ප්ලුටෝ, සෙරස්, ඒරිස්, මෙක්මෙක් හා හවුමියා ය. සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.86%ක්ම අයත් වන්නේ සුර්යයාටය. ඉතිරි ප්‍රමාණයෙන් වැඩි ප්‍රතිශතයක් හිමිවන්නේ බ්‍රහස්පතිට හා සෙනසුරුටය.අනෙකුත් ග්‍රහලෝක වලට අයත් වන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් ඉතාමත් සුළු ප්‍රතිශතයකි.

සුර්යයා

සුර්යයා

සෞරග්‍රහ මණ්ඩලයේ මධ්‍යයේ පිහිටා ඇති තාරකාව සුර්යයා හෙවත් හිරු ලෙස හැදින්වේ. සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.86%ක්ම අත්කර ගෙන සිටින්නේ හිරුය. හිරුගේ ස්කන්ධයෙන් 74% ක්ම සැදී ඇත්තේ හයිඩ්‍රජන් වලිනි. 24%ක් හීලියම් වලින්ද ඉතිරිය ඔක්සිජන්, කාබන්, නියෝන් හා යකඩ වලින්ද සැදී තිබේ. හිරුගෙන් නිකුත් වන ආලෝක කිරණයක් පෘථිවියට ලගා වීමට මිනිත්තු 8ක් ගත වේ. හිරුගේ විෂ්කම්භය කි.මී.1392000ක් වේ. එය පෘථිවියේ විෂ්කම්භය මෙන් 110 ගුණයකි. හිරුගේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 5500ක් පමණ වේ.සුර්යයාගේ සිට පෘථිවියට ඇති දුර කි.මී.මිලියන 150කි.හයිඩ්‍රජන් හීලියම් බවට බිද හෙලීමෙන් හිරුගෙන් අධික ශක්තියක් නිෂ්පාදනය වේ.මෙය හදුන්වන්නේ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව වශයෙනි.සූර්යයාගෙන් නිපදවෙන සුර්ය සුළං වල ආරෝපිත අංශුන් අන්තර්ගත වේ.මේවා පිටවන්නේ හිරුගේ අධික ගුරුත්වය හා සුර්ය කොරෝනාවේ අධික උෂ්ණත්වය නිසාය.

පෘථිවිය

පෘථිවිය

සෞරග්‍රහ මණ්ඩලයේ ඇති අනෙකුත් ග්‍රහලෝක හතම නම් කර ඇත්තේ රෝම දෙවිවරුන්ගේ හෝ දෙවගනකගේ නම් වලිනි.නමුත් දෙවියෙකුගේ හෝ දෙවගනකගේ නමින් නම් කර නොමැති එකම ග්‍රහලෝකය වන්නේ පෘථිවියයි. එමෙන්ම සෞරග්‍රහ මණ්ඩලයේ ඇති වැඩිම ඝනත්වයක් සහිත ග්‍රහලෝකය වන්නේද පෘතුවියයි. එහි සාමාන්‍ය ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 5.52කි, පෘථිවියේ මතුපිටින් 70%කම වැසී පවතින්නේ ජලයෙනි. එම නිසා එය අභ්‍යවකාශයට නිල් පැහැයෙන් දිස් වේ.

මේ නිසා පෘථිවිය නිල් ග්‍රහලෝකය ලෙසින්ද හැදින්වේ. පෘථිවිය සෑදී ඇති මුලද්‍රව්‍ය අතරින් බහුලවම ඇත්තේ යකඩ, ඔක්සිජන් හා සිලිකන්ය.පෘථිවියට ප්‍රබල චුම්භක ක්ෂේත්‍රයක් පවතී. මෙයට හේතු වී ඇත්තේ පෘථිවි හරය නිකල් හා යකඩ වලින් නිර්මාණය වී ඇති නිසාය. පෘථිවියේ වේගවත් භ්‍රමණයත් සමග මේ හරය තුල ප්‍රබල චුම්භක ක්ෂේත්‍රයක් හට ගනී. මේ චුම්භක ක්ෂේත්‍රය මගින් පෘථිවිය ප්‍රබල සුර්ය සුළං වලින් ආරක්ෂා කරනු ලැබේ. පෘථිවියට ඇත්තේ එක් ස්වභාවික චන්ද්‍රිකාවක් හෙවත් උප ග්‍රහයෙකු පමණි. ඒ චන්ද්‍රයාය. එය සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම උප ග්‍රහයන් අතුරින් පස් වෙනි තැන ගනී. නමුත් පෘථිවියට අයත් උප කක්ෂීය ග්‍රහක දෙකක් දක්නට ලැබේ. ඒවා හදුන්වන්නේ 3753 කෘයිතෙන් හා 2002 AA9 ලෙසිනි.පෘථිවියේ භෞමික ස්කන්ධයෙන් 30% ක්ම අත්කර ගෙන සිටින්නේ ආසියා මහද්වීපයයි.

බුද ග්‍රහලෝකය

බුද

හිරුට ආසන්නයේම කක්ෂගත වී ඇති ග්‍රහලෝකය වන්නේ බුද ග්‍රහයායි. මෙය අධික උණුසුමින් යුත් ආවාට වලින් වැසී ගිය නිසරු මුඩු බිමක් වේ. සුර්යයාට බෙහෙවින් ආසන්න වීම හේතුවෙන් දිවා කාලයේ උෂ්ණත්වය සෙ.අ.400 ඉක්මවා යන බව පැවසේ. කෙසේ වුවද රාත්‍රියේදී උෂ්ණත්වය රදවා තබා ගැනීමට වායුගෝලයක් නොමැති වීම නිසා එහි මතුපිට උෂ්ණත්වය සෙ.අ.-180 දක්වා පහත වැටේ.බුද ග්‍රහයා මත වායුගෝලයක් නොමැති වීම නිසා සුළං හැමීමක් සිදු නොවන අතර කාලගුණික තත්වයන්ද දක්නට නොලැබේ. එමෙන්ම බුද මතුපිට ජලය නොමැති බව සදහන්ය. එහෙත් විශ්වාස කරන්නේ එහි මතුපිට පෘෂ්ටයට යටින් ජලය තිබෙන්නට හැකි බව යි. එපමණක් නොව මතුපිට වාතය නොපැවතියත් එහි පෘෂ්ටයට යටින් වාතය සිරවී පැවතීමට ඉඩ ඇති බව විශ්වාස කෙරේ.

සිකුරු ග්‍රහලෝකය

සිකුරු

සෞරග්‍රහ මණ්ඩලයේ දෙවැනි ග්‍රහලෝකය වන්නේ සිකුරු ග්‍රහලෝකයයි. එහි වායුගෝලය ප්‍රධාන වශයෙන් සෑදී ඇත්තේ කාබන්ඩයොක්සයිඩ් වලිනි. මෙහි ගුරුත්වාකර්ෂණ බලය පෘථිවියට සමානය. රසදිය, ෆෙරික් ක්ලෝරයිඩ්, හයිඩ්රොකාබන, සල්පියුරික් වැනි අම්ලවලින් සපිරූ වලාකුළුවලින් සිකුරු ග්‍රහයා වැසී පවතී.

මේ වලාකුළු හේතුවෙන් බෙහෙවින් විඛාධක අම්ල වර්ෂා ඇති වේ. මෙම වලාකුළු වල ඇති ඝනකම නිසා මතුපිට ට ලැබෙන ආලෝකය බෙහෙවින් අඩුය. එහෙත් මේ ලැබෙන සුළු ආලෝකය මතුපිටදී තාපයට පරිවර්තනය කෙරෙන අතර වායුගෝලය මගින් එයට පිට වීමට නොදී රදවා ගනී.

නෙප්චුන් ග්‍රහලෝකය

නෙප්චුන් යනු විශාල ග්‍රහලෝකයකි. එය ආසන්න වශයෙන් පෘථිවිය මෙන් සිව් ගුණයක් පමණ විශාලය. එමෙන්ම සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රචණ්ඩතම කුණාටු ඇතිවන්නේ ද නෙප්චුන් ග්‍රහයා මතයි. මෙහි මතුපිට පෘෂ්ටයට ආසන්නයේ කරකැවෙන මිදුණු සුළං වල ප්‍රබලත්වය පෘථිවිය මත හටගන්නා හර්කෙන් කුණාටුවක් මෙන් දස ගුණයක් තරම් ප්‍රබල වේ. එම නිසා සුළං අධිකම ග්‍රහලෝකය බවට පත් කිරීමට එහි කුණාටු සමත් වී තිබේ. මෙම ග්‍රහයා තුනී සුදු පැහැති වලාකුළු වලින් පිරී පවතී. එසේම නෙප්චුන් යනු විශාල ජල ග්‍රහයකි.මෙහි වායුගෝලය හයිඩ්‍රජන් හා මීතේන් සංයෝග වීම නිසා නිල් පැහැයෙන් දිස්වේ.

අගහරු ග්‍රහලෝකය

අගහරු

මලකඩ වැනි දුවිල්ලකින් වැසී පවතින නිසා අගහරු ග්‍රහලෝකය රතු ග්‍රහලෝකය යනුවෙන්ද හැදින්වේ. මෙහි වායුගෝලය රෝස පැහැයට හුරු රතු පැහැයක් ගෙන තිබියදී පවා එහි මතුපිට ඇති කුඩා අංශු වල පැහැය මනාව කැපී පෙනේ. අගහරු මතුපිට විශාල ගිනිකදු ගණනාවක් දක්නට ලැබේ. මේ අතර ඈති ඔලිම්පස් මොන්ස් ගිනි කන්ද සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලතම ගිනි කන්ද වේ. එහි උස කි.මී.21ක් වන අතර දිග කි.මී.600ක් පමණ වේ. අගහරු මත ඇල මාර්ග මෙන්ම තැනිතලා ආවාට ද විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. මේ නිසා අගහරු මත අතීතයේදී ජලය තිබෙන්නට ඇති බවත් මේ භූ ලක්ෂණ ඒ ජලය ගලා යාමෙන් සිදු වූ ඛාදනය හේතුවෙන් නිර්මාණය වූ ඒවා වන්නට ඇතැයි විද්‍යාඥන්ගේ මතයයි. එමෙන්ම අගහරුට ඇත්තේ ඉතාමත් කුඩා වායුගෝලයක් බව පැවසේ. එහි ප්‍රධාන වශයෙන් සැදී ඇත්තේ කාබන්ඩයොක්සයිඩ් වලිනි.එසේම අගහරුගේ ගුරුත්වාකර්ෂණය බෙහෙවින්ම දුර්වල බැවින් එයට එහි වායුගෝලය හොදින් රදවා ගැනීමේ හැකියාවක් පවතී.

සෙනසුරු ග්‍රහලෝකය

සෙනසුරු

සෞරග්‍රහ මණ්ඩලයේ ඇති දෙවන විශාලතම ග්‍රහලෝකය වන සෙනසුරු සතුව අභ්‍යවකාශයේ කිලෝමීටර් දහස් ගණනක් දුරට විහිදී ගිය වළලු පද්ධතියක් පවතී. මෙම වළලු නිර්මාණය වී ඇත්තේ මිලියන ගණනක් වූ අයිස් ස්ඵටික එක් වීමෙනි.මේ අයිස් ස්ඵටික වලින් සමහර ඒවා නිවසක් තරම් විශාල වන අතර තවත් සමහර ඒවා දුවිලි අංශු තරම් කුඩා වේ. සෙනසුරු සාමකාමී නොවන ග්‍රහලෝකයක් ලෙස ප්‍රකටය. එහි වායුගෝලය වටා හටගන්නා සුළං කුණාටු පැයට කි.මී. 800 ක පමණ වේගයකින් යුක්ත වේ. එමෙන්ම සෙනසුරුගේ චුම්භක ක්ෂේත්‍රය බෙහෙවින් ප්‍රබලය. මේ නිසා එයට ශක්ති අංශු අල්ලා ගැනීමේ හැකියාව පවතින අතර එහි ප්‍රථිපලයක් ලෙස අධික මට්ටමෙන් විකිරණ පිට කරයි. සෙනසුරු ග්‍රහලෝකය ඉතාමත් සැහැල්ලු ග්‍රහලෝකයකි. හීලියම්වලට වඩා මෙය හයිද්‍රජන් වලින් නිර්මාණය කර තිබීම මෙයට හේතුවයි.

යුරේනස් ග්‍රහලෝකය

දුරේක්ෂයක් ආධාරයෙන් සොයා ගත් මුල්ම ග්‍රහලෝකය වන යුරේනස් ග්‍රහලෝකයට හිරු වටා යාමට පෘථිවි වර්ෂ 84ක් ගත වන බව පැවසේ. එසේම යුරේනස් භ්‍රමණය වන්නේ පැත්තට ඇලවීගෙනය. එයට හේතුව ලෙස විශ්වාස කරනුයේ එය නිර්මාණය වූ මුල් කාලයේ ඇති වූ ගැටීමකි. මෙහි වායුගෝලය ප්‍රධාන වශයෙන් හයිඩ්‍රජන් වලින් නිර්මාණය වී තිබුනත් එහි මීතේන් වායුවද විශාල වශයෙන් අන්තර්ගත වේ.මීතේන් වලින් රතු ආලෝකය අවශෝෂණය කර ගන්නා අතර නිල් ආලෝකය විසුරුවා හරී. එම නිසා නිල්-කොළ මීතේන් වළාවකින් ග්‍රහලෝකයේ ඇතුලත සැගවී පවතී. එහෙත් එය පිටතට දර්ශනය නොවේ.

බ්‍රහස්පති ග්‍රහලෝකය

බ්‍රහස්පති

සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලතම ග්‍රහලෝකය වන්නේ බ්‍රහස්පතිය. ඒ තුළ පෘථිවිය තරම් විශාල ග්‍රහලෝක 1300ක් අන්තර්ගත කල හැකි බව පැවසේ.එමෙන්ම බ්‍රහස්පතිට චන්ද්‍රයන් විශාල ප්‍රමාණයක් පවතින අතර ඉන් සිවුදෙනෙක් ප්ලුටෝට වඩා විශාලත්වයෙන් යුක්තය. බ්‍රහස්පතිට ඇත්තේ ඉතා ප්‍රබල චුම්භක ක්ෂේත්‍රයකි. එනිසා පෘථිවිය මත ඇති වස්තුවක් මතදී එහි බර 2.5 ගුණයකින් පමණ වැඩිවේ. එසේම බ්‍රහස්පති මත බොහෝ කුණාටු ඇතිවේ. මෙහි දක්නට ලැබෙන විශාල රතු ලපය අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුල දක්නට ලැබෙන විශාලතම හරිකේන් කුණාටු ලෙස සැලකේ. එය වසර 3000 ක් පමණ කාලයක් පවතින බව පැවසේ.බ්‍රහස්පති වටා මාරක විෂ සහිත වායුවලින් සැදී වර්ණවත් ඝන වලාකුළු පවතී. බ්‍රහස්පතිගේ මතුපිට දෙසට යන විට එහි තුනී සිසිල් වායුගෝලය වඩාත් ඝන හා උණුසුම් තත්වයට පත්වේ. එම නිසා එහි පහළට යත්ම ක්‍රමයෙන් ඝන අදුරු මීදුමක් නිර්මාණය කරයි. බ්‍රහස්පතිගේ මධ්‍යයේ ඇති හරය පෘථිවියට වඩා තරමක් විශාලත්වයෙන් යුක්තය.එහෙත් එහි බර පෘථිවියට වඩා 20 ගුණයක් වැඩිය.

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *