මාතර යුගයේ කීර්තිමත් කිවිදිය – ගජමන්නෝනා

සිංහල සාහිත්‍ය වංශ කතාවේ මාතර යුගය එක්තරා අන්දමක මතබේදාත්මක යුගයකි. එය වෙනත් සාහිත්‍ය යුග හා බැඳුණු රාජ්‍ය පාලන සමයක් විය. එහෙත් මාතර සාහිත්‍ය යුගය හා බැඳුණු රාජ්‍ය පාලන යුගයක් නොවීය. එය යටත්විජිත පාලන යුගය හා සමගාමී විය.

අධිරාජ්‍යවාදී පාලන හස්තයේ ග්‍රහණය තදින්ම පැවති වකවානුවේදී රාජ්‍ය අනුග්‍රහයකින් තොරව මාතර සාහිත්‍ය යුගය පෝෂණය කළ රුහුණේ මහා කිවිඳිය ලෙස විරුදාවලිය ලැබූ දෝන ඉසබෙලා ගාර්දිය ආරච්චි 1746 මැදින් මස දසවැනි දින උපත ලැබීය. එවකට ලක්දිව පාලනය ලන්දේසීන් සතුව පැවතුණි. දෝනා ඉසබෙලාගේ මව පෙරුමාල් ප්‍රැන්සියානා ජයසෙන්තු ග්රේෂියෝ වන අතර, දොන් ප්‍රැන්සිස්කෝ සේනාරත්න කුමාර පියාණන් විය. ප්‍රැන්සිස්කෝ පවුලේ දෙවෙනියා ලෙස උපත ලැබූ ඉසබෙලාගේ ළමා විය කොළඹ බම්බලපිටියේ ගත කර ඇත.

අවුරුදු විසිදෙකක් වූ පසු විවාහ ජීවිතයට ඇතුළු වී ගාල්ලේ තල්පේ ප්‍රදේශයේ ජීවත්වී ඇත. දොන් ජුවානිස් අල්විස් නමින් දරුවෙකු මෙලොවට දායාද කළ ඉසබෙලාගේ සැමියා විවාහයෙන් වසර දෙකකට පසුව මියගොස් ඇත. සැමියාගේ වියෝවෙන් පසුව නැවත දෙමාපියන් හමුවට ගිය අතර, මාතර දොන් ගේබ්බ්‍රියෙල් හෙන්ද්‍රික් සිරිවර්ධන විජයවිමලසේකර මුහන්දිරම් සමග දෙවැනි වරට විවාහ විය. එම විවාහයෙන් වසර අටකට පසුව සැමියා මියගිය අතර, දොන් ගිරිගෝරිස්, දොන් දාවිත්, දොන් දියස් යනුවෙන් පුතුන් තිදෙනෙක් ලැබී ඇත.

ගජමන් නෝනා මාතර ප්‍රදේශයේ ජීවත් වූ වකවානුවේදී වේරගම්පිට පන්සලේ වැඩ විසූ කරතොට ධර්මාරාම නාහිමියන්ගෙන් කාව්‍ය ශාස්ත්‍රය හදාරා ඇත. ජනප්‍රවාදයට අනුව ඇය පිරිමියෙකු ලෙස වෙස්වළාගෙන හාමුදුරුවන්ගෙන් කාව්‍ය ශාස්ත්‍රය ප්‍රගුණ කළ බව සඳහන් වේ. අප සමාජයේ තිබූ හර පද්ධතීන් සුණු විසුණු කර දමන්නට සුදු අධිරාජ්‍යවාදීන් කටයුතු කළ ඒ වකවානුවේදී එම ග්‍රහණයෙන් අත්මිදීමට ගජමන්නෝනා ඇතුළු ඇගේ පවුලේ අයට නොහැකි වී ඇති බව පෙනී යයි. පවුලේ පුද්ගල නාම වලින්ම මෙය සනාථ වේ. ගජමන් නෝනා නාමය හා බැඳුණු තවත් නාමයක් සිහිපත්වේ. එය නම් දෙනිපිටියේ නුගරුකයි. පොල්වතු ගඟ අසබඩ දෙනිපිටියේ තිබී ඇති මෙම වෘක්ෂය පිළිබඳ වැනුම සිංහල සාහිත්‍යයේ පවර සළකුණකි.

ගජමන්නෝනා සහ ඇලපාත මුදලි අතර පැවැති සංවාද කවි අදටත් සිංහල පාඨකයා අතර ප්‍රකටය. දෙනිපිටියේ නුගරුක වැනුමට අමතරව දැඩිතර ශෝක මාලය, පියාගේ මරණය පිළිබඳ ශෝක මාලය, සෙව් වික්‍රමාරච්චි මහතාට කළ සෙත් පැතුම, සමරසේකර ගුණවර්ධන ගජනායක අවමඟුල් වැනුම, තිලකරත්න දසනායක මැතිනිය සිදුකළ පිංකම් පිළිබඳ වැනුම වැනි කාව්‍ය නිර්මාණ ඇගේ නිර්මාණ දිවියේ නොමැකෙන මතක සටහන්ය.

ඇය ජීවිතයේ මැදිවියේදී ආර්ථික අපහසුතා මත ජීවත් වූ බව විදහා දක්වන සාධකයක් ලෙස තිලකරත්න මුදලිතුමාගෙන් පිහිට පතා යැවූ සංදේශය සාක්ෂි දරයි. ජෝන් ඩොයිල් මාතර මහ දිසාපති ධුරය දැරූ අවධියේදී එතුමාට යැවූ පෙත්සම සලකා බලා අම්බලන්තොට ප්‍රදේශයෙන් ගම්වරයක් ලබාදී ඇත. අදත් ‘නෝනාගම’ එම ගම්වරය ලද ප්‍රදේශයයි.

මාතර සාහිත්‍ය සමය ප්‍රදීපායමාන කළ ගජමන් නෝනා කිවිඳිය 1815.12.15 දින දැයෙන්න් සමුගේන මෙම දෙසැම්බර් 15 දිනට වසර දෙසීය දෙකක් සපිරේ. දේශප්‍රේමීන් තම ජීවිත පූජා කර දිනා ගන්නට වෙරදැරූ මව්බිමෙහි සාහිත්‍ය පෝෂණය වෙනුවෙන් දායක වූ ගජමන් නෝනා කිවිඳියට අප ජාතියේ ගෞරවය පුද කළ යුතුය.

උපුටා ගැනීම : ada.lk

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *