දුටුගැමුණු රජු ආදාහනය කළ ස්ථානය – I

ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයට පිවිසෙන්න තියෙන එක් ස්ථානයක් වෙන කුරුණෑගල හන්දියේ ඉදන් ශ්‍රී මහා බෝධිය අසළට වැටිලා තියෙන මිහිඳු මාවත ඔස්සේ ඉදිරියට ගමන් කරද්දී මාර්ගයේ වම් පැත්තේ පිහිටලා තියන විශාල ගඩොල්වලින් කරලා තියෙන නිර්මාණයක් සමහර විට දැකලා ඇති. මේ ගරා වැටුණු ස්ථූපය තමා දක්ඛිණ ථූපය විදිහට හඳුන්වන්නේ.

පිවිසුම් මාර්ගය

මුල් කාලීනව එතරම් අවධානයකට ලක් නොවුණු මේ ස්ථූපය දුටුගැමුණු රජතුමා විසින් තමන්ගේ ප්‍රතිවාදියා වුණු එළාර රජතුමාව යුද්ධයේදී මරා දැමූ ස්ථානයේ එළාර රජතුමාව ගෞරව සහිතව ආදාහනය කරලා ඉදි කරපු ස්ථූපය විදිහටයි බොහෝ දෙනා සැළකුවේ.

මුලින්ම් මේ ස්ථානයේ පුරාවිද්‍යා කැණීමක් 1896 දී දියත් කරන්නේ ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වුණු H.C.P. බෙල් මහත්මයායි. මේ එළාර සොහොන නොවන බවත් ඒ කාලයේ අනුරාධපුරයේ තිබුණු ප්‍රධාන ආරාමයක් වුණු දක්ඛිණගිරි විහාරයේ ස්ථූපය කියන මතය එතුමා ඉදිරිපත් කළත් ඒ ගැන එතරම් පිළිගැනීමක් ඇතිවුණේ නැහැ.

1876 ජේම්ස් ෆර්ගසන් කියන ස්කොට් ජාතික වාස්තු විද්‍යාඥයා රචනා කරපු History of Indian and Eastern Architecture කෘතියේත් මේ අදහසම ඉදිරිපත් කරලා තිබුණා. නමුත් බෙල් මහත්තයා ඇතුළු කණ්ඩායමට දක්ඛිණ ථූපයේ කැණීම් කරගෙන යද්දී දෙබර පොදියක් කඩාවැටී සිදුවූ අනතුර නිසා 1900 විතර පස්සේ එහි කැණීම් සිදු වුණෙත් නැහැ.

1946 දී තමා නැවතත් දක්ඛිණ ස්ථූපයේ කැණීම් ආරම්භ වෙන්නේ. ඒ සඳහා මූලිකත්වය ගන්නේ ප්‍රථම ලාංකීය පුරාවිද්‍යා කොමසාරිස්වරයා වුණු සෙනරත් පරණවිතානයන්. ස්ථූපය වටා තිබූ බොහෝ සැරසිලි ඒ වගේම වාහල්කඩ වගේ නිර්මාණ නිධන් හොරුන් අතින් විනාශයට පත්වෙලා තිබුණු ආකාරය කැණීම් දිගටම කරගෙන යද්දී ඒ මහතාට දැකගන්න පුලුවන් වුණා.


උතුරු හා නැගෙනහිරි වාහල්කඩවලට දරුණු හානි නිධන් හොරුන් අතින් වෙලා තිබුණත් දකුණු වාහල්කඩට එතරම් හානියක් වෙලා තිබුණේ නැහැ. ඒ කොටසේ තිබිලා අඩි 16 ක් පමණ උස ශිලා ස්ථම්භයක් හමුවුණා. සාංචි තොරණ්වල කැටයම්වලට යම් හුරුකමක් තිබුණු මේ ශිලා ස්ථම්භය ක්‍රිස්තු වර්ෂ මුල් සියවස්වලට අයිති කියලයි නිගමනය කෙරුණේ.

පුන් කලසකින් ආරම්භ වෙන ලියවැලක් ක්‍රම ක්‍රමයෙන් උඩට යන කොට සිහින් වෙලා යන ආකාරයක් තමා ඒකේ දැකගන්න පුලුවන්. ලියවැලේ දෙපසට බෙදිලා තියෙන් අතුවල මිනිස් රූප වගේම සිංහයා, ඇතා, අශ්වයා, ගවයා වැනි සතුන්ගේ රූ කැටයම් කරලා තියෙනවා. සියල්ලටම මුදුනින් හක් ගෙඩියක් අති අරන් පද්මාසනයෙන් ඉන්න දේවතා රුවක් දැකගන්න පුලුවන්.

බස්නාහිර වාහල්කඩ තිබුණු ප්‍රදේශයෙන් උමඟක් හාරලා නිධන් හොරු ධාතු ගර්භයට ඇතුලු වෙලා තිබුණු නිසා ඒ ප්‍රදේශයෙන් නිධන් හොරු නොවටිනා දේවල් කියලා දාලා ගිය පබළු, කිරිගරුඬ කොටස්, පියාපත් ඇති සිංහ රූප, කාසි වගේ ඒව හමුවෙලා තියෙනවා. ඒවායින් අතීතයේ තිබුණු කලා ශිල්ප ගැන වැටහීමක් ලබාගන්න පුරාවිද්‍යාඥයින්ට හැකිවුණා.

දක්ඛිණ ස්ථූපයේ ධාතු ගර්භයේ තිබූ වළ පතුලේ වූ අළු

1948 දී ස්ථූපයේ සලපතල මළුව පාදා ගන්න පුලුවන් වීමත් එක්කම බිම අතුරලා තිබුණු ගල් පුවරු කීපයකම 3 වෙනි සියවසට අයිති බ්‍රාහ්මී අක්ෂරවලින් ලියපු ලිපියේ “දකිණි විහර” යන පාඨයෙන් මේ දක්ඛිණ විහාරයේ ස්ථූපය බව තහවුරු කරගන්න පුරාවිද්‍යාඥයින්ට හැකිවුණා.

මෙතෙක් හම්බෙලා තියෙන දීර්ඝතම බ්‍රාහ්මී සෙල්ලිපිය වෙන මේ ලිපියේ සමහර කොටස් තිබුණු ගල් පුවරු එතනින් අරගෙන ගිහින් තියෙන නිසා මුළු ලිපියම කියවන්න පුලුවන් වුණේ නැහැ. ඒක නිසා මේ ලිපිය කරවපු රජතුමා ගැන හොයාගන්න බැරි වුණත් විහාරයට එක් එක් අය විසින් පූජා කරපු ගම් බිම් ගැන එහෙම දැනගන්න පුලුවන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ස්ථූපය ඉදි කළේ කවුරුන්ද යන වගත් මේ ලිපියේ සඳහන්.

උපුටාගැනීම : e – අටුවාව.

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *