දුටුගැමුණු රජු ආදාහනය කළ ස්ථානය – II

කලින් කියපු ඉඩම් පූජා කළේ පිත මහ රජ දවස කරවපු දක්ඛිණ විහාරයේ තිස මහ චෙතිය ට කියලා ලිපියේ කියවෙනවා. මෙහිදී පිත මහ රජකියන්නේ වළගම්බා රජතුමාට. ඒ තමන්ගේ සොයුරා වුණු ඛල්ලාට නාගගේ පුතා වුණු මහාචූළි මහාතිස්ස තමන්ගේ පුතෙක් විදිහටම හදා වඩා ගත් නිසයි.

ඒ රජතුමාගේ උත්තිය කියන සෙනෙවියා ක්‍රි.පූ 2 සියවසේදී පමණදක්ඛිණ විහාරය කරවලා තියෙනවා. නගරයට දකුණින් පිහිටි නිසා දක්ඛිණ විහාරය යන නම් ලද බවයි කියවෙන්නේ.

කණිට්ඨ තිස්ස රජ සමයේ ස්ථූපය විශාල කරවපු නිසා තිස මහ වෙතිය විදිහට ස්ථූපය හඳුනවන්න ඇති කියලා විශ්වාස කරනවා. ඒ වගේම ඒ රජතුමා දාන ශාලාවක්ද ඉදි කරලා තියෙනවා. පස්සේ කාලේ ගෝඨාභය රජතුමා උපෝසථාගාරයකුත් 1 අග්බෝ රජතුමා ගොඩනැඟිලි කීපයකුත් දක්ඛිණ විහාරයට පූජා කළ බව වංශ කතා කියනවා.
දක්ඛිණ ස්ථූපය ඉදි කරපු ස්ථානය ගැන බලද්දී ඒක මිහිඳු හාමුදුරුවෝ සංඝ කර්ම කරන්න ඉදිකරපු පිචුල මාලක එහෙමත් නැත්නම් පුලිල මළුවේ දක්ඛිණ විහාරයේ ස්ථූපය ඉදිකළා කියලා සද්ධර්මාලංකාරයේ එන සඳහන වංශ කතාවල එන කතා ප්‍රවෘත්තිත් එක්ක බලද්දී සනාථ වෙනවා.

විශේෂම කතා පුවත වෙන්නේ මරණාසන්නව හිටපු දුටුගැමුණු මහ රජතුමා තමන්ගේ සිරුරට කළ යුතු දේ දැනුම් දීමත් එක්ක බැඳුණු කතාවයි. රජතුමා කියනවා “සූවිසි වසක් මුළුල්ලෙහි සංඝයාට උපකාරක වූයෙමි. මේ කය ද සංඝයාට උපකාර වේවා. මහ සෑයට පෙනෙන්නා වූ සංඝයාගේ කම්මාළකයෙහි සංඝදාස වූ මගේ සිරුර ආදාහනය කළ මැනව” කියලා.

ඒ කරුණුත් එක්ක බලද්දී රජතුමා ආදාහනය කරලා තියෙන්නේ පෙර දක්වපු පුලිල මළුවේ කියන එක තහවුරු වෙනවා. ඒත් එක්කම දක්ඛිණ විහාරයේ ස්ථූපය දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ මත ඉදිකරලා තියෙන බවත් පිළිගැනෙනවා.

ඒ බව තහවුරු වුණේ ස්ථූපයේ ධාතු ගර්භයේ කරපු කැණීම්වලින්. I වෙනි දාඨෝපතිස්ස රජතුමාට විරුද්ධව කැරලි ගහලා රජවුණු II කාශ්‍යප යුධ වියදම් පියවා ගන්න දක්ඛිණ ථූපය, ථූපාරාමය කොල්ල කෑ අතර ඊට පසුවත් දක්ඛිණ ථූපය කීප වරක් කොල්ලකෑම්වලට ලක්වෙලා තියෙනවා. එය කරපු නිධන් හොරු ධාතු ගර්භයේ හාරපු වළ තව කැණීමට ලක් කරද්දී පිළිස්සී කරවුණු ගඩොල් වගේම අඟුරු වුණු මැටි ගුලිත් හමුවෙලා තියෙනවා.

පසුව ඇති කරපු ගින්නක් නිසා නොව අඟුරු තට්ටුවක් උඩ ස්ථූපය ඉදිකළා කියන එක තමා පරීක්ෂණවලින් තහවුරු වුණේ. මේ භෂ්මාවශේෂවලට කළ කාල නිර්ණ පරීක්ෂණ අනුව මේවා දුටුගැමුණු යුගයට අයතියි කියලා තහවුරු වුණා.

ඒ නිසා භෂ්මාවශේෂ උඩ මේ ස්ථූපය කරවපු බවත් සාහිත්‍යමය මූලාශ්‍රත් එක්ක බලද්දී මේ පුලිල මළුවේ ආදාහනය කළේ දුටුගැමුණු රජතුමාව නිසාත් රජතුමා සිහිපත් වෙන්න මේ ස්ථූපය ඉදිකලා කියන මතය ඉදිරිපත් වෙනවා.

මේ ස්ථූපය එළාර රජතුමා වෙනුවෙන් කරවපු ස්ථූපය වෙන්නේ නැත්තේ සාහිත්‍ය මූලාශ්‍රවල දක්වන විදිහට දුටුගැමුණු රජතුමා එළාර ස්ථූපය ඉදිකරන්නේ රජුන් දෙන්නා ද්වන්ධ යුද්දේ කරලා එළාර රජතුමාව මරා දාපු අනුරාධපුරයේ දකුණු වාසල් දොරට පිටතින් වෙන නිසා.

මේ අනුව බලද්දී දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ මැදි කරලා ඉදි කරපු කුඩා ස්ථූපය වළගම්බා රජ දවස විශාල කරවලා ඉදි කිරීමක් කරවපු බවත් ස්ථූපයේ වත්මන් හැඩරුව පසු කාලීනව කණිට්ඨ තිස්ස රජතුමාගේ කටයුත්තක් බවත් නිගමනය කරන්න පුලුවන්.

මෙයින් ලබාගත්තු දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ ඒ කාලේ ප්‍රදර්ශනය කරවපු බව පුවත් පතක ලිපියකින් කියෙව්වා වගේ මතකයි. ඉන් පස්සේ ඒ භෂ්මාවශේෂවලට වුණු දේ ගැන නම් මතක නැහැ.

ඒ කොහොම වුණත් සිංහල රාජාවලියේ සුවිශේෂී රජ කෙනෙක් වුණු ඒ වගේම මේ රට පළමු වරට එක්සේසත් කරපු, බුදු සසුනට මහත් අනුග්‍රහ දක්වපු දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් වුණු මේ දක්ඛිණ ථූපය සිංහල බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍ර විය යුත්තක්.

උපුටාගැනීම : e – අටුවාව.

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *