මිනෝවානු සහ මයිසේනියානුවන්ගේ කතාව

යුරෝපයේ බිහිවූ ශිෂ්ටාචාර අතුරින් ප‍්‍රථම ප‍්‍රධාන ශිෂ්ටාචාරය ලෙස සැලකෙන්නේ මිනෝවානු ශිෂ්ටාචාරයයි. මිනෝවානු ශිෂ්ටාචාරයේ ආරම්භය සිදු වූයේ මධ්‍යධරණී මුහුදේ පිහිටි කේ‍්‍රට් දූපතෙනි. මෙය මිනෝවානු ශිෂ්ටාචාරය යනුවෙන් නම් කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨ මිනෝස් රජු නිසයි. මිනෝවානු ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ කි‍්‍ර.පූ. 2000 න් පසු කාලයයි. එහෙත් කි‍්‍ර.පූ. 1450 දී මයිසේනියානුවන්ගේ ආක‍්‍රමණයක් සමඟ මිනෝවානු ශිෂ්ටාචාරය අවසන් විය. මයිසේනියානුයන්ගේ මුල් බිම වූයේ දකුණු රුසියාවයි. නමුත් ඔවුහු යුරෝපය හා බෝල්කන් ප‍්‍රදේශය හරහා ගී‍්‍රසියට පැමිණ එහි පදිංචි වූහ. මේ මිනෝවානු සහ මයිසේනියානුවන්ගේ කතාවයි.

ව්‍යාප්ති සිතියම

මිනෝවානුවෝ

යුරෝපයේ බිහිවූ ශිෂ්ටාචාර අතුරින් ප‍්‍රථම ප‍්‍රධාන ශිෂ්ටාචාරය ලෙස සැලකෙන්නේ මිනෝවානු ශිෂ්ටාචාරයයි. මිනෝවානු ශිෂ්ටාචාරයේ ආරම්භය සිදු වූයේ මධ්‍යධරණී මුහුදේ පිහිටි කේ‍්‍රට් දූපතෙනි. මෙය මිනොවානු ශිෂ්ටාචාරය යනුවෙන් නම් කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨ මිනෝස් රජු නිසයි. මිනෝවානු ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ කි‍්‍ර.පූ. 2000 න් පසු කාලයයි.

මිනෝවානුවන්ගේ වෙළඳ කටයුතු

කේ‍්‍රට් දූපතේ විසූ මිනෝවානු වැසියන් මනා ලෙස සංවිධානය වූ පිරිසකි. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් එකක් විය. මිනෝවානුවෝ ගොවිතැනට දක්ෂයෝ වූහ. ඔවුහු තිරිඟු, බාර්ලි, මිදි සහ ඔලිව් වගා කළහ. මිනෝවානු වෙළෙන්දෝ කුඩා නැව්වලින් මධ්‍යධරණී මුහුද හරහා යාත‍්‍රා කරමින් වයින්, ධාන්‍ය, ඔලිව් තෙල් ආදී වටිනා නිෂ්පාදන වෙනත් බඩුවලට හුවමාරු කළහ. මෙම භාණ්ඩ අතුරින් ප‍්‍රධාන වූයේ දුම්මල, ඇත්දත් සහ අනර්ඝ ලෝහ වර්ගයි.

මිනෝවානු මහා මාලිගා

සෑම විශාල මිනෝවානු නගරයක ම දස දහස් ගණනකට හොඳින් ඉඩකඩ තිබූ ඉතා අලංකාර තේජවන්ත මාළිගා ඉදිකෙරිණි. මෙම මාළිගා නිවහන වූයේ රජ පවුල්වල අයට පමණක් ම නොවේ. මෙම මාළිගා වෙළඳ භාණ්ඩ හුවමාරු ස්ථාන බවට ද පත් විණි. පිටරට පැටවීමට මෙම මාළිගාවල භාණ්ඩ ගබඩා කර තිබිණි. දේවාල සහ වැඩපොළවල්ද මෙම මාළිගාවල අංග විය. එමෙන් ම නගර බලධාරීන් පදිංචි ව සිටියේ ද මේ මාළිගාවල ඔවුන්ට වෙන්වූ කාමරවලයි. කි‍්‍ර.පූ. 1450 වන විට මෙම අනර්ග මාළිගා බොහොමයක් විනාශ වී ගියේය. ගිනිකඳු පිපිරීම් හා භූමිකම්පා ඊට හේතු වන්නට ඇතැයි පුරා විද්‍යාඥයෝ පවසති. ඒ හැරුණුවිට මාලිගා විනාශ වීමට ප‍්‍රධානතම හේතුව වන්නට ඇත්තේ මයිසේනියානුවන් කේ‍්‍රට් දූපතට පැමිණ කළ ආක‍්‍රමණයයි.

නෝසස් මාළිගාව

මිනෝවානු මාළිගා අතර විශාල ම මාළිගාව ලෙස සැලකෙන්නේ නෝසස් මාළිගයයි. ආගමීක චාරිත‍්‍ර වාරිත‍්‍ර සිදුකරනු ලැබුවේ මෙම නෝසස් මාළිගයේ මැද මිදුලේය. නෝසස් මාළිගය කාමර 1,300 කින් සමන්විත විය. රාජකීය පවුල්වලට වෙන්වූ කාමරවල බිත්ති බිතු සිතුවම්වලින් අලංකාර කර තිබිණි. මිනෝවානු වැසියන්ගේ ජීවන රටාවන් මෙම චිත‍්‍රවලින් පිළිබිඹු විණි. නටබුන් වී ගිය නෝසස් මාළිගය සොයා ගැනුණේ 1894 වසරේ දී ය. ඒ ශ‍්‍රීමත් ආතර් එවන්ස් විසිනි.

දක්ෂ කුඹල් කර්මාන්තකරුවෝ

මැටි බඳුන්

මිනෝවානුවෝ දක්ෂ කුඹල් කර්මාන්තකරුවන් ද වූහ. ඔවුහු පුද්ගලයෙකුගේ ප‍්‍රමාණයට උස විශාල මැටි බරණි නිර්මාණය කළහ. මේවා භාවිතා කළේ තෙල්, ධාන්‍ය සහ වයින් ගබඩා කිරීමටය. මේ බරණි හැඳින්වෙන්නේ ‘පිතෝයි’ යනුවෙනි. නටඹුන් වී ගිය නෝසස් මාළිගයේ සිදු කළ කැණීම්වලදී මෙම බරණි හමුවිණි.

වෘෂභ හිසක් ඇති ‘මින්ටෝර්’

මින්ටොර් යනුවෙන් හැඳින්වෙන්නේ වෘෂභ හිසක් ඇති ග‍්‍රීක ප‍්‍රවාදවල සඳහන් මෘග මානවයෙකි. මේ මෘග මානවයා ජීවත් වූ බව පැවසෙන්නේ කේ‍්‍රට් දූපතේ පිහිටි නෝසස් මාළිගය යට ඉදිකර තිබූ වංකගිරියකය එසේත් නැතිනම් වටාරමකය. වංකගිරියක් හෝ වටාරමක් යනුවෙන් හැඳින්වෙන්නේ සංකීර්ණ හා අවුල් වූ මාර්ග ජාලයකි. මෙම නපුරු මෘගයා මරා දැමුවේ තෙසියස් නම් ඇතන්ස් කුමරා බව ප‍්‍රවාදවල සඳහන් වේ. ප‍්‍රවාදයක් වුණත් මෙම කතාවේ සත්‍යයක් ඇත. මිනෝවානු සංස්කෘතියේ වැදගත් මෙන්ම ශුද්ධ වූ සතෙකු ලෙස ගවයා සැලකේ. ආගමීක සැණකෙළිවලදී රජ්ජුරුවෝ ගව හිසක් සහිත වෙස් මුහුණක් පැලඳගෙන සිටි බවට සාක්ෂි ලැබී තිබේ.

මයිසේනියානුවෝ

කි‍්‍ර.පූ. 1600 සිට 1100 දක්වා ග‍්‍රීසියේ ප‍්‍රධාන භූමියේ ආධිපත්‍යය පැතිරවූයේ මයිසේනියානුවනුය. ඔවුන් ජීවත් වුණේ වෙන් වෙන් වූ කුඩා රාජ්‍යවලය. ඔවුන්ගේ භාෂාව හා ආගමීක විශ්වාසයන් එකම විය. ඔවුන් මයිසේනියානුවන් ලෙස නම් කර ඇත්තේ ඔවුන්ගේ ‘මයිසේනියා’ නම් මහා නගරය නිසාය. මයිසේනියානු සංස්කෘතියේ සුලමුල සොයා ගැනීමට හැකිවූයේ මෙහි දීය.

කන්දේ හැදූ මාළිගා: ඇක්‍රොපොලිස්

මයිසේනියානුවන් ඔවුන්ගේ මාළිගා ඉදිකරනු ලැබුවේ කඳු ගැට මුදුන්වලය. ඒවා වටා යෝධ ශක්තිමත් ගල් ප‍්‍රාකාර ඉදිකෙරිණි. මේ ආකාරයෙන් නිර්මාණය කළ නගර හැඳින්වෙන්නේ ඇක්‍රොපොලිස් යනුවෙනි. ගී‍්‍රක බසින් එහි තේරුම ‘උසින් පිහිටි නගරය’ යන්නයි. උසින් පිහිටීමත් ශක්තිමත් ප‍්‍රාකාරත් නිසා ආක‍්‍රමණවලින් බේරීමට පහසුවක් විණි.

කන්දේ හැදූ මාළිගා: ඇක්‍රොපොලිස්

මයිසේනියානුව ජන ජීවිතය

මයිසේනියානු සංස්කෘතිය පදනම් වී තිබුණේ ගොවිතැන හා වෙළඳාම පාදක කර ගනිමිනි. රෝඞ්ස් හා සයිප‍්‍රස් දූපත්වල ද මයිසේනියානු ජනපද බිහිවිණි. ඔවුහු නිර්භීත රණශූරයින් වූහ. මයිසේනියානු රජුන්ගේ හා රණවිරුවන්ගේ සොහොන් ගෙවල්වලින් හමුවූ සන්නාහ සහ ආයුධ මීට හොඳ නිදසුනක් බව පුරා විද්‍යාඥයෝ පෙන්වා දෙති.

1876 දී කළ අපූරු සොයා ගැනීම්

1876 වසරේදී ජර්මානු පුරා විද්‍යාඥ හෙයින්රිච් ෂිලයිමාන් නටඹුන් වූ මයිසේනියා නගරයට ඔබ්බෙන් නගරය වටා ඉදි කළ මහා ප‍්‍රාකාරය අසළ පිහිටි වළල්ලක ආකාරයෙන් වූ ගල් කුලූනු මැද කළ කැණීම්වලදී අපූරු දෙයක් සොයා ගැනිණ. ඔහුට හමුවුණේ පතල් විවරයකි. එය සොහොන් ගෙයක් වූ අතර එහි මයිසෝනියානු රාජකීය පවුලේ 16 දෙනෙකුගේ සිරුරු මිහිදන් කර තිබිණි. මෙම සිරුරු 16 න් පස් දෙනෙකු මුහුණු ආවරණය කර තිබුණේ රත්තරනින් තැනූ අවමංගල වෙස් මුහුණුවලිනි. මිල කළ නොහැකි ඉතා වටිනා රත්තරන් ආභරණ හා භාණ්ඩ තැන්පත් කළ තිබුණි. ඊට අමතරව අසිපත්, කුසලාන, ඔටුනු සහ මාල ද ඒවායේ හිමිකරුවන් සමඟ මිහිදන් කර තිබිණි.

සිංහ දොරටුව

සිංහ දොරටුව

සිංහ දොරටුව ලෙස හැඳින්වෙන්නේ ‘මයිසේනියා’ නගරයේ පිවිසීමේ දොරටුවයි. ගල්වලින් නිර්මාණය කළ මෙම දොරටුවේ ඉහළින් සිංහයින් දෙදෙනෙක් කැටයම් කර තිබේ. එයින් සංකේතවත් කළේ මයිසේනියානු රාජ පවුල්වලයි. මෙම දොරටුව ඉදි කර ඇත්තේ කි‍්‍ර.පූ. 1250 දීය.

රත්තරන් අවමංගල වෙස් මුහුණ

මේ රනින් කළ අවමංගල්‍ය වෙස් මුහුණ සොයා ගැනුනේ පුරාවිද්‍යාඥ හෙයින්රිච් ෂිලයිමාන් විසිනි. මෙම වෙස් මුහුණ මයිසේනියා නගරයේ ශ්‍රේෂ්ඨ රජෙකු වූ ද ට්‍රෝයි පුර සංග‍්‍රාමයේදී නායකත්වය ගෙන කටයුතු කළ ආගමෙනොන් රජුගේ මුහුණ ආවරණය කිරීමට යොදා ගෙන ඇති බව ඔහු පවසයි. මෙම වෙස් මුහුණ හමුවීම සිහිනයක් සැබෑ වීමක් බව පුරාවිද්‍යාඥ හෙයින්රිච් ෂිලයිමාන් පවසයි. එහෙත් වර්තමාන විද්වත්හු මේ ගැන වාද විවාද කරති. ඔවුන් පවසනුයේ ෂිලයිමාන්ට හමුවූ සොහොන් ගැබ ආගමෙනොන් රජුගේ කාලයේ ඉදි කළ එකක් නොව එය ඊට වසර 300 කට පෙර ඉදිකරනු ලැබූවක් බවයි.

රත්තරන් අවමංගල වෙස් මුහුණ

ට්‍රෝයි නගරය වැනසූ යෝධ ලී අශ්වයා

ට්‍රෝජන් යුද්ධය ඇරඹුණේ ආගමෙනොන් රජු මයිසේනියානු හමුදා සමඟ ට්‍රෝයි පුරවරය ආක‍්‍රමණය කළේ ඔහුගේ නෑනණ්ඩිය වූ සුරූපී හෙලන් කුමරිය ට්‍රෝජන් කුමරකු වූ පැරිස් සමඟ ටෝයි පුරයට පැනගිය නිසා ඇයව යළි ලබා ගැනීමටය. ආගමෙනොන් ඇතුළු අනෙකුත් ග‍්‍රීක වීරයින්ට ට්‍රෝයි පුරවරය වටා වූ ශක්තිමත් මහා ප‍්‍රාකාරය අබිබවා යාමට නොහැකි විණි. අවසානයේ ප‍්‍රඥාවන්ත ඔඩිසියස් යෝධ ලී අසකු සාදා ගී‍්‍රක හමුදාවේ දක්ෂතම රණ ශූරයින් ඒ අසු තුළ සඟවා ට්‍රෝයි පුරයට ගෙන යන්න සැලැස්වීමෙන් පසු ට්‍රෝයි පුරය ආක‍්‍රමණය කළ බව මහා කවි හෝමර්ගේ ‘ඉලියඞ්’ නම් වීර කාව්‍යයේ සඳහන් වේ.

මිනෝවානුවෝ

කි‍්‍ර.පූ. 6000 – පළමු ගොවීහූ කේ‍්‍රට් දූපතේ ස්ථිර ජනපද පිහිටුවා ගත්හ.
කි‍්‍ර.පූ. 3000-1000 – කේ‍්‍රට් දූපතේ හා ග‍්‍රීක වැසියෝ ලෝකඩ නිපදවීමට හුරුවූහ.
කි‍්‍ර.පූ. 2000 – කේ‍්‍රට් දූපතේ පළමු රජ මාළිගා ඉදි කෙරිණි.
කි‍්‍ර.පූ. 1700 – භූමි කම්පාවලින් රජ මාළිගා විනාශ විණි. පසුව ඒවා යළි ඉදිකෙරිණි.
කි‍්‍ර.පූ. 1600 – පළමු මයිසේනියානුවන් කේ‍්‍රට් දූපතට පැමිණීම.
කි‍්‍ර.පූ. 1450 – ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් නෝසස් ඇතුළු සියලූම රජමාළිගා විනාශ විය.
කි‍්‍ර.පූ. 1100 – මිනොවානු ශිෂ්ටාචාරයේ අවසානය.

මයිසේනියානුවෝ

කි‍්‍ර.පූ. 1600-1100 – මයිසේනියානුවෝ ගී‍්‍රසියේ ආධිපත්‍යය පැතිරවූහ.
කි‍්‍ර.පූ. 1450 – මයිසේනියානුවෝ කේ‍්‍රට් දූපතේ පාලකයෝ වූහ.
කි‍්‍ර.පූ. 1250 – ට්‍රෝයි පුරයේ බිඳ වැටීම සිදුවීම.
කි‍්‍ර.පූ. 1200 – මයිසේනියානු සංස්කෘතිය කෙමෙන් පරිහානියට ලක්වීම. ඊට ප‍්‍රධාන හේතු වූයේ වගා පාලූවීම සහ දුර්වල ආර්ථිකයයි.
කි‍්‍ර.පූ. 1100-800 – ගී‍්‍රක අඳුරු යුගයේ ආරම්භය.

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *