කැවුම් ගැන අතීත රස කතා

කැවුම් යනු සියවස් ගණනක අතීතයක් ඇති කෑමකි. මෙහි නාමයේ මුල සෙවීමේ දී, ‘කන දේ කැවුම්’ බව පෙනේ. අතීතයේ දී රාජ්‍ය වටිනාකමක් කැවුමට තිබී ඇත.වත්මනේ දී කැවුමේ වැදගත්කම වැඩි වන්නේ සිංහල අලුත් අවුරුද්දේදී ය. පෙර කල කැවුම් වර්ග 18ක් තිබී ඇත. මේ ගැන සද්ධර්ම රත්නාවලියේ සඳහන්ව තිබේ. මේ එම කැවුම් ගැන ඇති අතීත රස කතා එක් කල ලිපියයි.රජ කාලයේ දී අලුත් අවුරුද්දට රජු බැහැ දැකීමට එන උසස් රාජ්‍ය නිලධාරින් ගෙනෙන තෑගිබෝග අතර කැවුමට මුල් තැනක් ලැබී ඇත. යුද පිටියේ දී කැවුම ඖෂධයක් විය. සොල්දාදුවන්ගේ කෑමට, තැනින් තැනට පහසුවෙන් මේවා ගෙන යා හැකි විය. තුවාල නරක් වීම වැලැක්වීය. කැවුම් වර්ග ද රාශියකි. හැඳි කැවුම්, මුං කැවුම්, උළුඳු කැවුම්, උටුපු, කොණ්ඩ කැවුම්, නාරං කැවුම්, උඳු කැවුම්, දිය කැවුම්, පැණි කැවුම්, කුඩු කැවුම්, ගෑරුප්පු කැවුම්, පනා කැවුම් ආදී වශයෙන් 18කි.

කැවුම් පිසීම සිදු කරන්නේ මෙසේ ය.

හාල් පිටි, පැණි හා පොල්තෙල් මීට අත්‍යවශ්‍ය ය. හාල් පිටි හා පැණි මිශ්‍ර කොට, උණු පොල් තෙල් සහිත තාච්චියක බදිනු ලැබේ. කොණ්ඩ කැවුම් සෑදීමට (කොණ්ඩය ගැනීමට) ඉරටු කූරක් භාවිතයට ගැනේ. රන් වන් පැහැ වී බැදුණු පසු, එය පිටතට ගනී.මේ ආකාරයට කැවුම් සකස් කිරිමේ දී අපේ කාලයේ කැවුම් හදන කතාන්දරයද, අතීතයේ කැවුම් කතාන්දර ද, වර්තමානයේ කැවුම් මිලදී ගන්නට වෙළෙඳ පොළට යන ඇත්තන්ගේ රසබර කතාන්දර ද කැවුම්වලටත් වඩා රස ය.

කැවුම් සාදන අයුරු

කැවුම් පුරාණය, කැවුමේ ඉතිහාසය හරිම රස ය. බක්‌ මාසයේ උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්දේ, එරබදු මල් කැකුළියෝ හෙමින් හෙමින් ගම්මැද්දේ මල්වර වනවිට, තුරු වදුලින් පිරි බැද්ද දෙසින් ඇසෙන කොවුල් ගී මැසි හඬට මුසුව ‘දොම් තරිකිට දොම් කියනා රබන් සුරල් සද්දේ පැතිරෙද්දී, සිංහල – සිරිතට විරිතට මුල් තැන දෙන කැවුම් උයන්න තෙල් තාච්චියක්‌ හැම ගෙදරකම ළිප නොතැබුවහොත් නිවෙසට මූ දේවිය පැමිණෙන බව පැරැණි ගැමියන්ගේ විශ්වාසයයි.

කැවුමේ රසයට වඩා එහි ඉතිහාසය ඉතා රසවත් ය. මිනිසාගේ උපතේ සිට කෙස්‌ කැපීම, කන් විදීම, ඉඳුල් කට ගෑම, අකුරු කියැවීම, වැඩිවියට පත්වීම, විවාහය යන ජීවිතයේ අමරණීය අවස්‌ථාවලදී ද, කැවුම් ප්‍රමුඛ ස්ථානයක් ගනී. පිරිත් ගෙදර, දානෙ ගෙදර, ගෙවදීම ආදී අවස්‌ථාවලදී ද කැවුම ඉදිරියෙන් තිබුණ ද, මළ ගෙයකදී හෝ දුක්‌ මුසු අවස්‌ථාවලදී කැවුම් සංග්‍රහයට නොගනී.

කැවුම් පිසින්න නොදන්නේ නම් එය කාන්තාවන්ට මහත් අඩුවකි. මහෞෂධයන් අමරාදේවී පිරික්‌සීමට පවා කැවුම් ඉවීම කරවූ බව උමංදා කතුවරයා අගේට පෙන්වා ඇත. කුස ජාතකයේ එන කුස රජුගේ මුහුණ කැවුමකට උපමා කරයි. මහ රහතන් වහන්සේ නමකට කැවුම් තිබියදී නොදී තනිවම කෑ නිසා මතු ආත්මයේදී කුස රජුගේ මුහුණ කැවුමක්‌ වගේ සිටින සේ උපත ලැබීය. මසුරු සිටානෝ උඩු මහලට ගොස්‌ කාටත් හොරෙන් කැවුම් උයාකෑ නිසා, මුගලන් තෙරුන් විසින් මසුරුකම නැති කොට, නිවන් මඟට යොමු කළ හැටි, කැවුම් වගේම රසවත් කතාවකි.

සිංහලයාගේ කැවුම් කා රසයෙන් මත් වූ පෘතුගීසීන්ට, සිංහලයා යස පාඩමක්‌ ඉගැන්වූ හැටි දක්‌වන රසවත් ජනප්‍රවාද කතාවක්‌ මෙසේ ය. එකල සිංහලයන්ගේ බඩුමුට්‌ටු ගෙන යන විට පෘතුගීසීන් මඟදී කොල්ල කයි. ඔවුන්ට යස පාඩමක්‌ උගන්වන්නට ඕනෑ යෑයි හිතා දිනක්‌ දෙබර කූඩ දෙකක්‌ මලු දෙකකට දමා කට බැඳ, කදක බැඳගෙන කැවුම් කැවුම් කියමින් යනවිට, පෘතුගීසීන් පන්නාගෙන ඇවිත් එය උදුරා ගන්නට සැරසී ඇත. කුරුවිට රාළ එය බිමදා කැලයට දිව ගියේය. පෘතුගීසීන් ඒ මලු රැගෙන කට ලිහන විටම කෝපයෙන් හිටි දෙබරුන් ඔවුන්ට පන්න පන්නා අනින්නට විය. දෙබර විස ඉහවහා ගිය ඔවුන්ට කැවුම් රසයට වඩා නීරස වූ බව රස කතාවකට ගෙතී ඇත.

කැවුම් හැදීම ගැන රොබට්‌ නොක්‌ස්‌ගේ කෘතියක මෙසේ සඳහන් වේ. ‘රසකැවිලි අතර ප්‍රධාන තැනක්‌ ගන්නා කැවුම්, සහල් පිටියෙන් හා පැණියෙන් හදාගනු ලැබේ. සහල් පිටි අනා ගුලි ගසා කොළ පතක තබා ඇඟිල්ලෙන් පැතැලිකොට තෙල් තාච්චියකට දමා පදමට බැඳ ගත් පසු, තෙලෙන් එළියට ගනී.’ මෙසේ ඔහු සඳහන් කළේ අතිරස නමැති කැවුම් වර්ගයයි. එදා මී පැණියෙන් ඉවූ කැවුම් , දාන ගෙදරකදී වැළඳූ මහා කාල තෙරුන්ගේ සුව නොවුණ අසනීපයක්‌ ද සුවපත් වූ බව සඳහන් වේ.

පිසින ලද කැවුම්

මීපැණි, කිතුල්පැණි, උක්‌පැණි, පොල්පැණි එදා මෙන්ම අදත් කැවුම් රසවත් කර ගැනීමට ගනී. වැඩි වශයෙන් කැවුම් ඉවීමට ගන්නේ පිරිසුදු පොල් තෙල් ය.

ආදිතම යුගයේ සිට ම ඉපැරැණි මිනිසා අපේ රටේ බුද්ධ පූජාවට, දේව පූජාවට, යක්‍ෂ භූත ප්‍රේතයන් පිදීමට පමණක්‌ම නොව, අවුරුදු සමයේ නිවෙසේ සිටින කෝඳුරුවාට ද කැවුමක්‌ නූලකින් ගැට ගසා නිවෙසේ වහලේ එල්ලීම සිංහල ගැමි සිරිතකි. මෙතරම් ඉතිහාසයක්‌ ඇති ගැමි රස කැවිල්ලක්‌ වන කැවුම්, නිවෙසින් ඈත් වී ඇති බව අපට පෙනේ. කැවුම් අතරින් කොණ්‌ඩ කැවුමට විශේෂ තැනක්‌ හිමි වුව ද, එය හදාගන්නට නොදන්නාකමින්, අපේ ගැමි මේසයෙන් ඉවත්ව ගොස්‌ ඇත. ඊට ප්‍රධාන හේතුව වත්මන් ගෘහනියන් ,කැවුමේ කොණ්‌ඩය ගැනීමට නොදැන සිටීමයි. වත්මන් කාලයේ කොණ්‌ඩ කැවුම් අච්චුවක්‌ තනා හැදුවත්, නිර්මාණයේ දක්‍ෂතාවක්‌ නොවන නිසා, එහි අගය, රසය, හැඩය, අඩුවී ඇත.

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *