ලංකාවේ ඉතිහාසය උඩු යටිකුරු කළ පණාකඩුව තඹ සන්නස.
මහාවංශය ඇතුළු වංශ කතාවලට අනුව මෙතෙක් ඉතිහාසයේ ශේ්‍රෂ්ඨතම නරපතියා වන්නේ දුටුගැමුණු රජුය. පණාකඩු තඹ සන්නස හමුවීමෙන් පසු ඒ මතයේ වෙනසක් විය යුතු බවට තොරතුරු විස්‌තර කරදීම මෙම ලිපියෙහි අරමුණ වී ඇත. ලංකා ඉතිහාසයේ භයානක දකුණු ඉන්දීය ආක්‍රමණය සිදුවන්නේ ක්‍රි. ව. 1017 දීය. එම ආක්‍රමණය ලංකා ඉතිහාසයේ තීරණාත්මක අවස්‌ථාවකි. මේ අවස්‌ථාවේ රට නිදහස් කරගත් නායකයාගේ ළමා කාලය නිර්මාණය වන්නේ මාතර ප්‍රදේශයෙනි. මේ පිළිබඳ වංශ කතාවලින් මෙතෙක් හෙළි නොවූ කරුණු රාශියක් හෙළිවන්නේ පණාකඩුව තඹ සන්නස කියවා බැලීමෙන් පසුවය. ඒ අනුව වංශ කතා නොදුටු ඉතිහාසයේ ශේ්‍රෂ්ඨතම නරපතියා පළමු විජයබාහු බව පණාකඩුව තඹ සන්නසින් හෙළිවෙයි. මේ එම පණාකඩුව තඹ සන්නස පිළිබඳ සති පතා පළවන ලිපි පෙළෙහි පළමු ලිපියයි.
මේ තීරණාත්මක අවස්‌ථාවේ රට බේරා ගැනීමට නායකත්වය දුන් නායකයා අන් කිසිවකු නොව ෂ විජයබාහු රජු බව කවුරුත් දන්නා කරුණකි. ඔහුට මේ සඳහා පසුතලය ගොඩනඟා දුන්නේ කවුරුන්ද කුමන ප්‍රදේශයකින්ද යන්න හෙළි කිරීම දෙවැනි අරමුණයි. පසින් වැසී ගිය ඉතිහාසයක තොරතුරු හෙළි කරගන්නේ පණාකඩු තඹ සන්නසෙනි. පසින් වැසී ගිය මේ ඓතිහාසික විස්‌තරය ඇතුළත් තඹ සන්නස සොයාගත් අයට ද ඉතිහාසයේ යම්කිසි ස්‌ථානයක් හිමිවිය යුතුය. ඒ වාගේම එම සන්නසෙහි සඳහන් වන බූදල්නාවන් (බුද්ධරාජ) නමැති ප්‍රාදේශීය පාලකයාටත් මාතර ප්‍රදේශයටත් ඉතිහාසයේ විශේෂ ස්‌ථානයක් හිමිවිය යුතුය යන්න මෙම සටහන ඉදිරිපත් කිරීමේ පරමාර්ථය බව ඉතාම පැහැදිලිව කිවයුතු කරුණකි.
ක්‍රි. පූ. යුගයේ පටන් ලංකා ඉතිහාසය ගොඩනැඟෙනුයේ මහාවංශය හා දීපවංශය වැනි වංශ කතා හා රාජාවලිය ආශ්‍රයෙනි. එයිනුත් මහාවංශයට විශේෂ තැනක් හිමි වේ. මහාවංශය අනුව ද්‍රවිඩ ආක්‍රමණවලින් රට බේරාගත් පළමු නරපතියා වන්නේ දුටුගැමුණු රජුය. එය අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. නමුත් අප අදහස්a කරන්නේ ද්‍රවිඩ ආක්‍රමණ අතර වඩාත් තීරණාත්මක අවස්‌ථාව කුමක්‌ද කියා සොයා බැලීමයි. ලංකා ඉතිහාසයේ පළමු දකුණු ඉන්දීය ආක්‍රමණය ආරම්භ වන්නේ සේන ගුත්තික අශ්ව වෙළෙඳුන් දෙදෙනාගේ ආක්‍රමණයයි. ඔවුන් දෙදෙනා ද ද්‍රවිඩ සම්භවයක් ඇති බව මහාවංශය වැනි වංශ කතාවලින් හෙළි කරදී ඇත. මහාවංශය ලියෑවෙන්නේ ක්‍රි. ව. පස්‌වැනි සියවසේදීය. වර්ෂ හත්සියයක් තරම් පැරණි මෙම තොරතුරු මහාවංශ කතුවරයා ලබාගත්තේ කෙසේද? මුඛ පරම්පරාවෙන් ලබාගත් කරුණුවලට තව නොයෙක් මත පසුකාලීනව එකතු විය හැකිය. සේන ගුත්තික වෙළෙඳුන් දෙදෙනා සූරතිස්‌ස රජු විනාශ කර වර්ෂ (22) විසිදෙකක් මේ රට පාලනය කර ඇති බව මහාවංශය පෙන්වා දෙන අතර එය ද්‍රවිඩ ආක්‍රමණයක්‌ද නොවන බව එම විස්‌තරයෙන්ම තහවුරු කරයි. මෙයින් අපට තවත් කරුණක් පැහැදිලි වන්නේ එදා පැවැති රාජරක්‍ෂාවයි. වෙළෙඳ කණ්‌ඩායමකම පවා රාජ්‍ය පැහැර ගැනීමට හැකිවීම එදා අප රටේ පැවැති රටේ ආරක්‍ෂක සංවිධානය දුර්වලව පැවැති ආකාරය කොතරම් ද වටහා ගත හැකිය.
මොවුන් විනාශ කර නැවත රාජ්‍ය ගොඩනඟන්නේ අසේල රජුය. ඉන්පසු ඇතිවන එළාර ආක්‍රමණය පිළිබඳ විස්‌තර ඉතිහාසඥයෝ නොයෙක් මත පළ කරති. මහා වංශයට අනුව එළාර රජු උතුර කේන්ද්‍රිය කරගෙන වර්ෂ 44 දැහැමෙන් සෙමෙන් ඉතා නීතිගරුකව ලංකාව පාලනය කර ඇත. සමහර ඉතිහාසඥයන් එළාර ආක්‍රමණය ද්‍රවිඩ ආක්‍රමණයක් විදියට හඳුන්වන්නේ නැත. මෙම අවස්‌ථාව ද සිංහල රාජ්‍ය ඉතිහාසයේ සංධිස්‌ථානයක් වන අතර එය ලඝූ කොට දැක්‌වීම අපේ අදහස නොවේ. එළාර පාලනය විනාශ කර නැවත පාලනය භාර ගත්තේ දුටුගැමුණු රජතුමාය. ඉතිහාසඥයන් දෙවිදියටක මේ සඳහා කරුණු ඉදිරිපත් කර ඇත. මහාවංශයේ පරිච්ඡේද කිහිපයකින්ම විස්‌තර වන්නේ දුටුගැමුණු එළාර යුද්ධයත් දුටුගැමුණු රජුගෙන් බුද්ධාගමට සිදුවූ සේවාවත් සවිස්‌තර ඉදිරිපත් කිරීමටය. මහා වංශයට අනුව දුටුගැමුණු එළාර යුද්ධය සිංහල දෙමළ අතර ඇතිවූ යුද්ධයක් ලෙසය හඳුන්වා ඇත්තේ. ඒ අතර බුද්ධාගම බේරා ගැනීමට කරන ලද යුද්ධයක් ලෙස ද හඳුන්වා ඇත. දුටුගැමුණු රජු පවසා ඇත්තේ “මාගේ මේ ව්‍යායාමය කිසි කලෙකත් රජ සැප පිණිස නොවේ බුද්ධ ධර්මයේ චිරස්‌ථිතිය සඳහාය” යන ප්‍රකාශයෙන් එය තවත් තහවුරු කර ඇත. ඉන්දියාවේ අධිරාජ්‍යයක් ගොඩනැඟූ අසෝක අධිරාජයාගෙන් පසු බුද්ධ ධර්මයේ පැවැත්මට සේවාවක් කළ එකම රාජ්‍ය නායකයා දුටුගැමුණු රජු බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. නමුත් ඊට පෙර පැවැති එළාර පාලන සමය බුද්ධ ධර්මයේ පැවැත්මට වැඩ නොකළත්a එහි විනාශය කරා ගෙන නොගිය බව මහාවංශය ප්‍රකාශ කරන අයුරින්ම පැහැදිලි වේ.
රන්ගිරි දඹුලු විහාරයෙන් නිකුත් කරන “රන්ගිර” නමැති සඟරාවේ 2010 අගෝස්‌තු නිකිණි කලාපයට ලිපියක් සපයමින් ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා සඳහන් කර ඇත්තේ මෙසේය. “සේන ගුත්තික ද, එළාර ද ද්‍රවිඩ ආක්‍රමණිකයන් විදියට මහාවංශය හැඳින්වුවද රාජවංශය පුස්‌ථක සටන, රාජ වෘත්තාන්තය, පූර්ණ වංශ හා පරම්පරා පුස්‌ථක ග්‍රන්ථ සමඟ විමසන විට මහාවංශය අවිද්‍යාත්මක ප්‍රබන්ධයක් ලෙස සිතීමට අපමණ සාවද්‍ය කරුණු ඇති බව පවසා ඇත. මේ අනුව එළාර භාරතීය වංශිකයෙකි. භාරතීය වංශය ආර්ය වංශයට අයත්ය. ද්‍රවිඩයන් ආර්ය වංශයට අයත් නොවන බව ද ඔහු එම ලිපියෙන් පවසා ඇත. මහාවංශය “එළාලෝ නාම දව්ලෝ” යන්නෙන් සඳහන් කරමින් එළාර රජුට අපකීර්තියක් ද දුටුගැමුණු රජුට කීර්ති නාමයත් පලලඳවා ඇත. මහා වංශයේ ප්‍රධාන කතා නායකයා දුටුගැමුණු රජු ය. ඒ නිසා අනෙකුත් නරපතියන් ලඝූකොට සලකා ඇත.
මෙම ලිපිය අනුව මහාචාර්ය පරණවිතාන සූරීන්ගේ මතය වන්නේ එළාර රජු මවු පාර්ශ්වයෙන් මුටශීව රජුට මෙන්ම දුටුගැමුණු රජුගේ සමීප ඥතියෙක් බවටය.
ලක්‌දිව සිංහල, දෙමළ සබඳතා නමැති ග්‍රන්ථය ලියූ ලයනල් සරත් මහතා එම ග්‍රන්ථයෙන් ප්‍රකාශ කර ඇත්තේ දුටුගැමුණු එළාර යුද්ධය සිංහල, දෙමළ යුද්ධයක් නොවන බවය. එම ග්‍රන්ථයට අනුව ඒ සඳහා කොතෙකුත් සාධක දක්‌වා ඇත. දීඝාභය කුමරු කාවන්තිස්‌ස රජුට දාව අනෙක් බිසවකගේ කුසින් උපන් කුමාරයෙකි. ඔහු දුටුගැමුණුට විරුද්ධව එළාරගේ පැත්ත ගෙන සිටි සෙනෙවියෙකි. එළාරගේ සෙනෙවියන් අතර පෙරුමක තත්ත්වයේ සිටි චිත්‍ර නමැති සෙනෙවියෙක් ද විය. ඔහු සිංහල ප්‍රධානියෙකි. ඔහු දුටුගැමුණු රජුගේ දසමහා යෝධයන්ගෙන් කෙනකු වූ නන්දිමිත්‍රගේ මාමාය. එයින් පෙනී යන්නේ එකල අනුරාධපුර වැසියන් අතර සිංහල දෙමළ භේදයක් නොතිබූ බවය. යුද සේනාව සිංහල, දෙමළ දෙපාර්ශ්වයම භටයන්ගෙන් සමන්විත වී තිබුණි.
එළාර සමයේ රට සරුසාර වූ බවට සාධක කොතෙකුත් එම ග්‍රන්ථයේ දක්‌වා ඇත. කාවන්තිස්‌ස රජුගේ යෝධයකු වූ තිමිල මිහින්තලාවට නුදුරු දොරමඬලාවට ගොස් සල්පිල්වලින් රෙදිපිළි රැගෙන ශ්‍රීමහා බෝධියත් ථූපාරාමයත් වැඳ පුදාගත් බව පැවසේ. එයින් කියෑවෙන්නේ එළාර පාලන සමයේ බුqදුදහමට හානියක් නොවූ බවය. මහා වංශයේ 21 වැනි පරිච්ඡේදයේ දහතුන්වන ගාථාව අවසානය දක්‌වා එළාර දැහැමි පාලකයෙක් බවත් නීතිය කාහටත් සමානව ක්‍රියාකර ඇති බවත් ප්‍රකාශ කර ඇත. සිංහල රජෙකුටත් වඩා දැහැමින් පාලනය කළ බවත් බුද්ධාගමට සතුරුකම් නොකළ බවත් එහි සඳහන්ව ඇත. මහා වංශයේ සඳහන් පරිදි ගවයෙක් තම රියට යට කළ පුත්‍රයා පවා මරණයට පත්කළ බව සඳහන් වේ. එළාර රජු මනුෂ්‍යයන්ට පමණක් නොව සතුන්ට පවා සාධාරණය ඉටු කර ඇත. පූජාවලියේ සඳහන් වන්නේ එළාර බෞද්ධ වෙහෙර විහාර විනාශ කළ බවය. පූජාවලිය ලියෑවෙන්නේ මහාවංශය ලියා වර්ෂ 800 කට පමණ පසුවය. එනම් දහතුන්වන සියවසේදීය. ධර්මසේන හිමියන් එසේ සඳහන් කිරීමට හේතුවී ඇත්තේ කාලිංග මාඝ ආක්‍රමිකයාගෙන් ඇති වූ විනාශය නිසා විය හැකිය.
උපුටා ගැනීම – දිවයින