ලාංකේය ඉතිහාසය ගත්කළ, එය ගම-පන්සල-වැව-දාගැබ යන අංග සතර නිමිති කොටගෙන ස්වයංපෝෂිත වූ බව පෙනේ. කෙත් වතු තවමත් සරු කරන්නේත් අපට දියවර සපයන්නේත් පුරාණයේ අපේ මුතුන් මිත්තන් එළෙස තැනූ වැව් වලිනි. රට ස්වයංපෝශිත කිරීමට උරදුන් මේසා විසල් නිර්මාණයන්ගේ පරිසරයද එක් කරන්නේ ඇසට මන්ස්කාන්ත දසුනක්. පරිසරය මෙන්ම එකී නිර්මාණයන් තුල ගැබ්ව ඇති ඉතිහාස කතා ද හදවතට දැනෙන්නක් . මේ අපේ රටේ වැව් ගැන ඉතිහාසයේ දැක්වෙන කතා පුවත් කීපයක් පිළිබඳ පළ වන ලිපි පෙලක රන්තිසා වැව පිළිබඳ ලිපියයි.
රන්තිසා වැවද මහසෙන් රජුගේ නිර්මාණයකි. මහසෙන් රජු බලසම්පන්න මෙන්ම ජනතාවගේ ගෞරවාදරයට පත්වූ රජ කෙනෙකි. මේ රජතුමාට සොහොයුරියන් දෙදෙනෙක සිටි අතර එක් අයෙක් බිසෝ මැණිකාද අනෙක් සොහොයුරිය ටිකිරි මැණිකාද විය. ටිකිරි මැණිකා කුමරිය පත්තා නම් වැදි නායකයා සමග විවාහ වී සීගිරිය ආසන්නයේ පදිංචි විය. ගම්වැසියන් ඇයට බොහෝ සේ ගෞරව කළේ ඇයගේ පුත් හිඟුරක්ගොඩ බණ්ඩාර මින්නේරිය වැව රැක ගැනීමට ජීවිතය පරිත්‍යාග කළ නිසාවෙන් ය. බිසෝ මැණිකා කුමරිය ජනයා සමඟ එක් රැ ස්ව කවුඩුල්ල ප්‍රදේශයේ වැවක් ඉදි කරන්නට පටන් ගත් අතර පසුව එයට රන්තිසා වැව යැයි නම් කළා.
සිය සොහොයුරා වූ මහසෙන් රජු ඉදි කළ මින්නේරිය වැවට වඩා කවුඩුල්ල වැව ප්‍රමාණයෙන් විශාල වූ අතර ඉන් ආඩම්බරයට පත් ඇය “අයියා මින්නේරිය කියලා නැඹිලියක් හැදෙව්වා, මම ඒ නෑඹිලිය දාන්න පුළුවන් කොරහක් හැදෙව්වා” යැයි ඇය උඩගුවෙන් නන් දෙඩවීය. වැඩි කල් නොගොස් මේ පුවත රජතුමාට සැලවිය. ඉන් කෝපයට පත් රජතුමා රන්තිසා වැව කඩා දැමීමට කටයුතු කළ අතර ඒ සදහා මිත්‍ර යක්ෂ පිරිසකගේ සහයලබා ගත්තේය. යක්ෂයන් මුවන්ගේ වෙස් ගෙන වැවේ බැම්ම විනාශ කළහ. ඒ මොහොතේ නිදා සිටි බිසෝමැණිකා කුමරියට සිදු වූ සිද්ධිය සිහිනෙන් මෙන් පෙණිනි. ඇය ක්ශණයකින් අවදිවී කෑ ගසාගෙන වැව් ඉස්මත්තට දුවන විටත් සියල්ල සිදුවී හමාරය. සිදුවී ඇති හානිය දැක හටගත් ශෝකය වාවාගත නොහැකි තැන ඇය වැවට පැන දිවි නසා ගත්තාය. මේ පුවත ඇසූ රජතුමාට සොහොයුරිය ගැන දුකක් හට ගත්තේය. රජු, තමා දුරදිග නොබලා කළ දේ ගැන පසුතැවිලි විය. වරද නිවැරදි කරගැනීමට සිතූ රජතුමා මින්නේරිය වැවේ සිට සැතපුම් 6ක් පමණ දිග ඇළක් කප්පවා රන්තිසා වැව ඊට සම්බන්ධ කළේය. මහසෙන් රජුගේ සොයුරිය දේවතාවක්ව ඉපිද ඇතැයි විශ්වාස කළ මහසෙන් රජතුමා ඇය වෙනුවෙන් බිසෝ බණ්ඩාර දේවාලය ඉදි කළේය. මෙලෙස ජනප්‍රවාදයට අනුව කථා පුවතට බඳුන් වූ රන්තිසා වැව අද හදුන්වන්නේ කවුඩුල්ල වැව නමිනි.