හිට්ලර්ව පාවා දුන් ඔත්තුකරුවා

විශිෂ්ටයකු ලෙස හිට්ලර් යන චරිතය ගොඩනැංවීමේදී අද්මිරාල් කනාරිස් වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. නාසිවාදය ලෝකය තුළ පැතිරවීමේ ස්ථම්භයක් වූ ඔහු විශිෂ්ටතම ඔත්තුකරුවකු විය. හිට්ලර්ගේ විශ්වාසවන්තම ඔත්තුකරුවා වූයේද කනාරිස්ය. එහෙත් දෙවැනි ලෝක යුද්ධය අවසන් වන විට ඔවුන් අතර සබඳතාවය පලුදු වී තිබිණි. කනාරිස් ද්විත්ව නියෝජිතයකු බවට පත් ව තිබූ අතර හිට්ලර්ගේ ඇද වැටීමට වගකිව යුත්තා ලෙස කනාරිස් සැලකිණි.
සිදු වූයේ කුමක්ද? කනාරිස් තම මාර්ගය වෙනස් කළේ කුමක් නිසාද? මේ එ් කතාවයි.

අද්මිරාල් විලෙම් කනාරිස්

දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වී තිබිණි. 1939 සැප්තැම්බර් 1 , ජර්මානු හමුදා පෝලන්තයට ඇතුළු වන විට ජර්මනියේ අරෝහ පරිණාහ දේහයෙන් යුත් , නිරහංකාර මිනිසෙක් අද්මිරාල් තනතුරට උසස් කෙරිණි. එතැන් සිට ඔහු ජර්මානු රහස් නියෝජිත ඒකකයේ ප්‍රධානියා බවට පත්විය. ඔහුගේ නම කනාරිස් විය.

කනාරිස් දෙවැනි ලෝක යුද සමයේ වැදගත් භූමිකාවක් ඉටුකළා පමණක් නොව, වෙයිමර් ජනරජය බිඳ දැමීමේත්, හිට්ලර් ආඥාදායකයකු ලෙස ගොඩනැංවීමේත් ප්‍රධානතම සාධකය විය. හිට්ලර් ඔහුව අසීමිතව විශ්වාස කළේය. කනාරිස් හිට්ලර්ට ගෞරව කළේය. එහෙත් දෙවැනි ලේක යුද්ධය අවසන් වන විට සියල්ලම උඩු යටිකුරු වී තිබිණි. කනාරිස් ද්විත්ව නියෝජිතයකු බවට පත්ව සිටි අතර හිට්ලර්ගේ අහංකාර හැසිරීම නිසා එයින් තම මාතෘභූමිය වූ ජර්මනිය විනාශ වන බව කනාරිස්ට පෙනී ගියේය. දෙවැනි ලෝක යුද්ධය අවසන් වන විට කනාරිස්ගේ අභිප්‍රායන් පිළිබඳ හිට්ලර් තුළද සැක මතුවෙමින් තිබිණි. එක් අපූරු සන්ධ්‍යාවක, ඔහුව අත්අඩංගුවට ගෙන මරා දැමීමට හිට්ලර් නියෝග කළේය. ඒ අනුව 1945 අප්‍රේල් 8 උදෑසන 5ට කනාරිස්ගේ ජීවිතයට සදහටම නැවතීමේ තිත තැබිණි. ජාති ද්‍රෝහියකු ලෙස අවමන් ලැබූ ඔහු වෙඩි තබා ඝාතනය කෙරිණි.

කනාරිස් සැබැවින්ම ද්‍රෝහියෙක්ද නැතිද? යන පැනය මතුවිය. ඔහු ද්විත්ව නියෝජිතයකු වූයේ කෙසේද?

1914 ඇරඹි පළමු ලෝක යුද්ධයේදී කනාරිස් රහස් ඔත්තුකරුවකු බවට පත්විය. ඔහු ජර්මානු නාවුක හමුද‍ාවේ නිලධාරියකු ලෙස සේවය කළේය. යුද්ධය අතරතුරදී චිලියේදී ඔහුව අල්ලා ගැනිණි. ඔහු යුද සිරකරුවකු බවට පත්විය එහෙත් කනාරිස් දක්ෂයකු විය. ජර්මානු රතු කුරුස නිලධාරීන්ගේ උපකාර ලබමින් ඔහු චිලී ‍නිලධාරීන් ගොනාට ඇන්දවීමට සමත් විය. එහි සිට ඔහු අමෙරිකාවට ළඟා වූ අතර එහිදී පෝලන්ත යුදෙව්වෙකු සේ පෙනී සිටියේය. එතැන් සිට කනාරිස්ගෙ වසර ගණනාවක රහස් පරීක්ෂක ජීවිතය ආරම්භ විය.

අමෙරිකාවෙන් වැදගත් තොරතුරු රැසක් ලබා ගැ‍නීමෙන් පසු ඔහු ස්පාඥ්ඤයට ගියේය. මෙවර ඔහු චිලියේ සිට පැමිණි ව්‍යාපාරිකයකු ලෙස තමාව හඳුන්වා දුන්නේය. එහිදී ඔහු ස්පාඤ්ඤය වෙනුවෙන් බ්‍රිතාන්‍ය නෞකාවක බ්‍රිතාන්‍ය නිලධාරීන් පිරිසක් සමඟ සංචාරයකට එක්විය.

ස්පාඤ්ඤයේදී අල්ලස් ලබා දීමෙන් අප්‍රිකානු ගෝත්‍රිකයන් පිරිසක් අවනත කරගත් කනාරිස් ,ඔවුන්ව ප්‍රංශයට එරෙහිව කැරලි ගැසීමට පෙළඹවීය.
අමෙරිකාව,ප්‍රංශය, ස්පාඤ්ඤය, කැනඩාව සහ බ්‍රිතාන්‍යය කනාරිස්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ විමසිල්ලෙන් පසු විය. එහෙත් ඔවුන් අසාර්ථක විය. ඔවුන්ගේ උගුලේ හසු නොවීමට තරම් කනාරිස් දක්ෂයකු වූ බැවින් , ඔවුන්ට කිසිවිටෙක ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

ලෝ ප්‍රකට මාතාහාරී නමැති රහස් ඔත්තුකාරිය කරලියට පැමිණියේ පළමු ලෝක යුද සමයේය. ඇය රහස් ඔත්තුකාරියක වීමට පෙළඹ වූ මිනිසා වූයේ කනාරිස්ය.

මාතාහාරිගේ නියම නම ජේල් විය. ලන්දේසි මව්පිය යුවළකට දාව උපත ලද ඇය මැඩ්රිඩ්හි රාත්‍රී සමාජ ශාලාවල නලඟනක ලෙස කටයුතු කළාය. කනාරිස් ඇගේ රෑපශ්‍රීයෙන් වශී විය. ක්‍රමයෙන් ඇගේ මිතුරකු බවට පත් වු කනාරිස්, ඇගේ විශ්වාසය මුළුමනින්ම දිනා ගත් පසු ඔත්තු බැලීම සඳහා ඇයව පැරීසියට යැවීය. එම කාර්යය අවසන් කළ පසු ඇයව විවාහ කරගන්නා බවට ඔහු පොරොන්දු විය. එහෙත් කළ යුතු කාර්යයන්ගේ ලයිස්තුව බෙහෙවින් දිගු වූ අතර එහි කිසිවිටෙක අවසානයක් නොවීය. ජේල් යන ඇගේ නම මාතාහාරී ලෙස වෙනස් විය. ජර්මනිය වෙනුවෙන් සේවය කරන රහස් ඔත්තුකාරියක වූ ඇයව, කනාරිස්ට නම් H-21 යනුවෙන් හඳුන්වන රහස් ඔත්තුකාරිය ලෙස හැර වෙනත් කිසිදු විශේෂත්වයක් නොවීය.

මාතාහාරි

1917 දී ප්‍රංශ රහස් ඔත්තුකරුවකු වෙතින් ජර්මනියට තොරතුරු ලැබෙන බව මාතාහාරිට පෙනී ගියේය. ඇය මේ පිළිබඳ දැනුම් දුන් අතර ඒ පිළිබඳ බියට පත් වූ ඇය, කනාරිස්ගේ උපදෙස් පතා ස්පාඤ්ඤයට ගියාය. එහෙත් මාතාහාරිගේ මේ බෙලහීතාවයට කනාරිස් තුළ කැමැත්තක් නොවීය. ඔහු ඉක්මනින්ම මාතාහාරී පිළිබඳ ප්‍රවෘත්තිය ප්‍රංශ පොලිසියට ලබා දුන්නේය. අත්අඩංගුවට පත් ඇයව මරා දැමිණි. එයින් කනාරිස්ගේ ජීවිතයේ එක් හැඟීම්බර පරිච්ඡේදයක් නිමාවට පත් විය.

පළවෙනි ලෝක යුද්ධය නිමාවට පත් විය. ජර්මනිය තුළ මහත් වූ දේශපාලන කැලඹීමක් ඇති විය. කයිසර්ව පරාජයට පත් කෙරිණි. මෙය කනාරිස්ටද බලපෑවේය. ඔහුට රැකියාව අහිමි විය. කළ යුත්තක් නොවූ තැන තම කුටියට වැදුණු ඔහු නාසි කැරැල්ලකට අවශ්‍ය පිඹුරුපත් සකසන්නට විය.

1929 දී කනාරිස්ට මාෂල් ගෝරිං මුණ ගැසිණි. ඒව වන විට ඔහු හිට්ලර්ගේ විශ්වාසවන්තම නිලධාරියා බවට පත්ව සිටියේය. ගෝරිං කනාරිස්ව හිට්ලර්ට හඳුන්වා දුන්නේය. ඔහු වීමර් ජනරජයේ රහස් සේවයේ අනුග්‍රහය නාසි පක්ෂයට ලබා ගැනීමේ දුෂ්ඨ සැලසුම් සකස් කළේය. එය ඉතා සාර්ථකව ඉටු කර ගැනීමට හැකි වූ අතර, එයින් අනතුරුව කනාරිස් හිට්ලර්ගේ වඩාත් විශ්වාසවන්තම මිනිසා බවට පත් විය. එසේම ඔහු පක්ෂයේ මූල්‍ය තත්ත්වය ඉහළ නැංවීමට උපකාර කළේය. ඔහු සමහර වැදගත් ලේඛන ඉතාලියට අලෙවි කිරීමට කටයුතු කළ අතර එය නාසි පක්ෂයේ මූල්‍ය තත්ත්වය ඉහළ නැංවීමට හේතු විය. එහෙත් ඔවුන්ට බලය අවශ්‍ය විය. එබැවින් කනාරිස් නැවත තම චෙස් ක්‍රීඩාවට අවතීර්ණ විය. සෑම වේයිමර් නිලධාරියකුගේම චරිත සහතික ගොණුවල අනුපිටපත් සකස් කළ ඔහු ඒවායේ රැකියා විරහිත ප්‍රතිපත්තියේ යම් විකෘතියන් සිදු කළේය. ඒවා වෙයිමර් ජනරජයේ ප්‍රතිපත්තිවලට පටහැනි විය. කනාරිස් මේවා ජනාධිපති හීඩෙන්බර්ග්ට පෙන්වීය. හිට්ලර් තත්ත්වයෙන් ප්‍රයෝජන ගත්තේය. ඔහු කර්මාන්ත ප්‍රධානීන් සහ ඉඩම් හිමියන්ගේ අනුග්‍රහය ලබා ගත්තේය. ජනපතිවරයා කුතුහලයට පත් විය. චාන්සලර්වයා පහ කර දැමූ ඔහු හිට්ලර්ව එම තනතුරට පත් කළේය. මේ ආකාරයෙන් හිට්ලර්ගේ සහ කනාරිස්ගේ අභිප්‍රායන් සපුරා ගැනිණි.

පැසිස්ට්වාදය ලොව පුරා පැතිරවීමේදී කනාරිස් දක්ෂයකු විය. තම ඉලක්කය සඳහා ඔහු ඊළඟට තෝරාගත්තේ ස්පාඤ්ඤයයි. ස්පාඤ්ඤයට ආර්ථික සහාය ලබාදීමට ඔහු හිට්ලර්ට බල කළේය. ඒ අනුව හිට්ලර් ක්‍රෝර් මාක්ස් 50ක් ස්පාඤ්ඤයට ලබා දුන්නේය. එසේම කනාරිස් අලුත්ම ප්‍රබල පතරොම් විශාල ප්‍රමාණයක් ස්පාඤ්ඤයට අලෙවි කර දැමුවේය.

අනෙක් පැත්තෙන් ඔහු රුසියාව තුළ කටකතාවක් පතුරවමින් කියා සිටියේ එහි සමහර ජෙනරාල්වරු ස්ටාලින්ව ඝාතනය කිරීමට සරසෙන බවයි. කටකතාව විශ්වාස කළ ස්ටාලින් තම හමුදාවේ ප්‍රබල ජෙනරාල්වරු බොහෝ දෙනෙක් මරා දැමුවේය. කනාරිස් බ්‍රිතාන්‍යයෙන් සහ අමෙරිකාවෙන්ද තොරතුරු ලබා ගත්තේය. ව්‍යාජ ගමන් බලපත්‍රයකින් එංගලන්තයට ගිය ඔහු එතැනින් ඕලන්දයට ළඟා විය. එහිදී ඔහුට කෙලීව මුණ ගැසිණි. කෙලී බ්‍රිතාන්‍ය ජාතිකයකු වුවත් ජර්මනිය වෙනුවෙන් වැඩ කළ රහස් ඔත්තුකරුවකු විය. බ්‍රිතාන්‍යය රහස්‍ය ඔත්තු සේවයට මේ හමුවීම ගැන දැන ගැනීමට ලැබිණි. කෙලීව අල්ලාගත් ඔවුහු ඔහුට ද්විත්ව නියෝජිතයකු වන ලෙස බලකර සිටියහ. එතැන් සිට කෙලී ද්විත්ව නියෝජිතයකු ලෙස කටයුතු කරමින් වැදගත් තොරතුරු බ්‍රිතාන්‍යයටත්, නොවැදගත් ලේඛන ජර්මනියටත් ලබා දීමට කටයුතු ‍කළේය. කනාරිස් කෙලී පිළිබඳ දැනුවත් සිටි නමුත් ඔහු කිසිවක්ම නොකළේය. ඒ වෙනුවට කනාරිස් වඩා විචක්ෂණශීලී පිළිවෙතක් අනුගමනය කළේය. අමෙරිකාව යුද්ධයට අවතීර්ණව ඇති බව දැන සිටි ඔහු එය ජර්මනියේත්, හිට්ලර්ගේත් අනිවාර්ය පරාජයට හේතු වන බව වටහා ගත්තේය.

අනෙක් පැත්තෙන්, කනාරිස්ද ද්විත්ව නියෝජිතවරයකු බවට පත්විය. ඔහු අතිශය වැදගත් තොරතුරු මිත්‍ර පාක්ෂිකයන් වෙත යැවීමට පටන් ගත්තේය. ඔහු ගුවන් අනතුරකින් මිය යාමට සිටි චර්චිල්ගේ දිවි ගැලවූයේය. ජර්මනියේ සැලසුම ඔහු එංගලන්තයට දැනුම් දුන්නේය. චර්චිල් ගමන් කිරීමට සිටි ගුවන් යානය නියම වේලාවටම ගුවන් ගත වූ නමුත් එහි සිටියේ වෙනත් චර්චිල් කෙනෙකි. චර්චිල්ගේ අසුනේ චර්චිල් ලෙසින් වෙස් වලාගත් මිනිසෙක් හිඳගෙන සිටියේය. ජර්මානුවෝ ගුවන් යානය පුපුරුවා හැරියත් චර්චිල්ගේ දිවි ගැලවිණි. දුරදක්නා නුවණකින් හෙබි ජාති හිතෛෂියකු වූ බැවින් කනාරිස් තම මාවත වෙනස් කර තිබිණි. හිට්ලර් මෙන්ම ඔහුත් ජර්මනිය ලෝකයක් පාලනය කරනු දැකීමට සිහින මැව්වේය. එහෙත් අමෙරිකාව යුද්ධයට මැදිහත් වූ විට, ‍තම සිහිනය කිසිදා සැබෑ නොවන්නක් බව ඔහුට අවබෝධ විය. එබැවින් ඔහු ද්විත්ව නියෝජිතයකු හෙවත් දෙපැත්තටම ඔත්තු සපයන්නකු බවට පත් විය. හිට්ලර් අනුගමනය කළ තිරශ්චීන ක්‍රියාකලාපය වෙනස් නොවුණහොත් ඉතා ඉක්මනින්ම ජර්මානු ජාතියත්, රටත් නැසී යන බව ඔහුට අවබෝධ වී තිබිණි.

රෝමයේ පාප්තුමා සම්බන්ධ කරගත් කනාරිස් ජර්මානු ජෙනරාල්වරු සමහරක් මිත්‍රත්වයේ දෑත් දිගු කිරීමට සූදානම් බව බ්‍රිතාන්‍යයට දැනුම් දුන්නේය. ඒ සමඟම ‍බෝම්බයකින් හිට්ලර්ව මරා දැමීමට ද සැලසුම් කෙ‍රිණි. සැලසුම අසාර්ථක විය. හිට්ලර්ගේ දිවි ගැලවිණි. එහෙත් ඒ වන විට හිට්ලර් කනාරිස්ව විශ්වාස නොකරන තත්ත්වයට පත් ව සිටියේය. එම සිදුවීමෙන් දින දෙකකට පසු, ජර්මානු පොලිසිය මඟින් කනාරිස්ව අත්අඩංගුවට ගැනිණි.

කනාරිස්ගේ නිවෙසත් කාර්යාලයත් පරීක්ෂා කෙරිණි. ඔහුට චෝදනා එල්ල කළ හැකි ලේඛන විශාල ප්‍රමාණයක් ඔහුගේ කාර්යාලයේ මේස ලාච්චුව තුළ තිබී හමුවිය. මේ ලේඛන හේතුවෙන් කනාරිස්ව වෙඩි තබා මරා දැමීටම නියෝග ලැබිණි.

එ් යුද්ධයට මැදිව සිටි ජාතීන් අතර සාම ගිවිසුම අත්සන් තැබුණු 1949 වසරයි. රුසියානු හමුදා බර්ලිනය දෙසට පැමිණෙමින් තිබිණි. එවැනි පසුබිමක් තුළ හිට්ලර්ගේ සියලු අපේක්ෂා බිඳී යන තත්ත්වයක් මතුව තිබිණි. කනාරිස් දේශද්‍රෝහියකු ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. 1945 අප්‍රේල් 5 වැනිදා උදෑසන කනාරිස්ටවෙඩි තබා මරා දැමිණි.

“මා දේශද්‍රෝහියකු නොවෙමි. මා මිය යන්නේ හුදෙක් උමතුභාවය නිසා ජර්මනිය විනාශ කරන හිට්ලර්ගෙන් රට බේරා ගැනීම සඳහාය”

ඒ කනාරිස්ගේ අවසන් වදන පෙළ විය. චර්චිල් පවා කනාරිස්ගේ උත්සාහය අගය කළේය.

“කනාරිස් අපට සේවය කලේ නැහැ. ඔහු අපට උදව් කළේ හිට්ලර් විනාශ කිරීමටයි. ”

එසේවුවත් කනාරිස් සාමාන්‍ය රහස් නියෝජිතයකු නොවීය. දූරදර්ශී පුද්ගලයකු වූ ඔහු , තම මාතෘභූමිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමාගේම මාර්ගයක් තෝරා ගත්තේය.

 

World Famous Adventures ඇසුරිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *