දෙවැනි ලෝක යුද සමයේ නාසින් ලෝකයේ ප්‍රබල පාලකයන් බවට පත්වී සිටියහ. රටවල් එකින් එක ඔවුන්ගේ පාලනයට නතු වෙමින් පැවතිණි. එහෙත් නිර්භීත බ්‍රිතාන්‍ය මේජර්වරුන් දෙදෙනෙක් ක්‍රීපි නමැති නාසි ජෙනරාල්වරයකු පැහැර ගැනීමට සමත් වූහ.පැහැරගැනීම පහසු කාර්යයක් නොවීය. බ්‍රිතාන්‍ය නිලධාරීන් දෙදෙනා තම දිවි පරදුරුවට තබමින් ජෙනරාල්වරයා පැහැර ගැනීමේ සැලසුම සකස් කරමින් සිටියහ.

දෙවැනි ලෝක යුද සමයේ ජීවිතය තරම් අන් කිසිවක් අවිනිශ්චිත නොවීය. මිනිසුන් ජීවත් වුයේ අසීමිත බියකිනි. ඔවුහු නාසීන්ට බියෙන් ජීවත් වූහ. මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකල ජර්මානුවෝ කෲර අන්දමින් මිනිසුන් ඝාතනය කළහ. විශේෂයෙන් යුදෙව් ජනයා ජර්මානු නාසීන්ගේ සංහාරයට ලක්විය. එහෙත් නාසි සෙබලුන්ගේ සහ ජෙනරාල්වරුන්ගේ ජීවිතයද පහසු එකක් නොවීය. පැහැරගැනීමේ හෝ සතුරන් අතින් ඝාතනයට ලක්වීමේ අවදානම ඔවුන් හමුවේද තිබිණි. මේ හේතුව නිසා ඔවුන්ටද නිරන්තර බියකින් ජීවත් වීමට සිදුවිය. ජීවිත අවදානම හමුවේ නාසි ජෙනරාල්වරුන්ට විශේෂිත ආරක්ෂාවක් ලබා දී තිබුණි. හිට්ලර්ගේ වෙහර්මැච්ට් හි සාමාජිකයකු වූ ජෙනරාල් ක්‍රීපි ලෙනින්ගාඩ් හි වීරයා ලෙස හැඳින්වූ අතර එකල ඔහු රාජකාරි කළ ග්‍රීසියේ ක්‍රීට් දුපතට විශේෂ ආරක්ෂාවක් ලබා දීමටද කටයුතු කර තිබුණි.
ජර්මානු සෙබලුන් 2200ක ගෙන් සැදි සේනාංකයක්ද සහිතව ජෙනරාල් කාල් ක්‍රීපි ක්‍රීට් දූපතේ සිට දෙවැනි ලෝක යුද්ධයට සම්බන්ධ වී සිටියේය. අනෙක් අතට ඔහු හිට්ලර්ගේ බලවත්ම සහ වඩාත් විශ්වාසවන්තම ජෙනරාල්වරයකුද විය. එහෙත් සතුරන්ට ඔහුගේ අනාතගතය පිළිබඳ වෙනත් සැලසුම් තිබිණි. ජෙනරාල්වරයාව පැහැර ගැනීමට ඔවුන්ට අවශ්‍යව තිබූ අතර එයින් ජර්මානු සොල්දාදුවන් කෝපයෙන් උමතු වන බව සතුරෝ දැන සිටියහ. එය බෙහෙවින් අසීරු කාර්යයක් වූ නමුත් බ්‍රිතාන්‍යය තම මෙහෙයුම පිළබඳ බලාපොරොත්තු සහගතව පසු වූහ.
1944, අප්‍රේල් මාසය වන විට ක්‍රීට් දූපතේ අගනුවර වූ හෙරක්ලියන් හි මාර්ග ජර්මානු සොල්දාදුවන්ගෙන් පිරී පැවතිණි. චිත්‍රපට දර්ශනය නිමා වූ විට ජනයා ඉක්මන් ගමනින් තම නිවෙස් බලා ගමන් කරමින් සිටියහ. ඉබාගාතේ ඇවිදින ජර්මානු සොල්දාදුවන් සහ චිත්‍රපට රසිකයන් නිසා එහි පටු මාර්ග තවත් පටු වී තිබිණි. එක්විටම ඔවුන් අතරට පැමිණියේ ජෙනරාල් ක්‍රීපිගේ මෝටර් රථයයි. සොල්දාදුවන් සහ ජනයා ජෙනරාල්වරයාගේ රථයට ඉඩ ලබා දුන්හ. සොල්දාදුවෝ ඔහුට ආචාරය කළහ. ජෙනරාල් ක්‍රීපි එතුළසෘජු කයින් හිඳගෙන සිටියේය. අත වනා අචාර කිරීමක් හෝ සෙබලුන්ගේ ආචාරය පිළිගැනීමක් හෝ ඔහු වෙතින් දක්නට නොලැබිණි.

හිස වැනීමකින් පමණක් ඔහු ඔවුන්ගේ අචාරය පිළිගත්තේය. ඔහුගේ මේ පුරුද්ද සෙබලුන්ට අමුතු දෙයක් නොවීය. ඔවුන්ගේ දැඩි විනය ජෙනරාල් වරයා මොහොතකට කම්පනයට පත් කිරීමට සමත් විය. එහෙත් ජෙනරාල්වරයාගේ මේ භාවානුගත ඉරියව්ව ඔවුන්ට ප්‍රහේලිකාවක් විය. සැබැවින්ම ඔවුන් මේ ආචාරය පිරිනමන්නේ තම ජෙනරාල්වරයාට නොවන බව දැන සිටියේ ටික දෙනකු පමණි. ඔවුන්ගේ ජෙනරාල්වරයා, ජෙනරාල් ක්‍රීපි, සිටියේ ඒ වනවිට මෝටර් රථයේ බිම වැතිරී සිටියේ කඹයකින්ද බැඳ දමාය. ඔහු පැහැරගැනීමට ලක්ව තිබිණි. ඔහු පැහැරගෙන තිබුණේ බ්‍රිතාන්‍ය මේජර්වරුන් දෙදෙනෙකි. ඒ මේජර් පැට්‍රික් සහ මේජර් මොස්ය.
ජර්මානු සොල්දාදුවෝ මේ කරුණ දැන ගත්තේ පසුදා ය. පැහැදිළි නිල් අහස් කුස එක් වරම ගුවන්යානා සහ හෙලිකොප්ටර් හඬින් ගිගුම් දෙන්නට පටන් ගත්තේය. නිවේදන හඬ දසත පැතිරෙන්නට විය. සතුරන්ට දරුණු ප්‍රථිපලයකට මුහුණ දෙන්නට සිදුවිය. තමන්ගේ ආධිපත්‍යය ප්‍රකට කළ ජර්මානුවෝ වසර 900ක් පැරණි නගරයට බෝම්බ දැමූහ.
පැහැරගැනීම සිදුකළේ කවුරුන්ද සහ කෙසේද යන ප්‍රශ්නයට තවමත් පිළිතුරු නොවීය. පැහැරගැනීමේ නාටකයේ සමස්ත සැලසුම නිර්මාණය වූයේ මේජර් පැට්‍රික්ගේ සහ මේජර් මොස්ගේ හිස තුළය. දෙදෙනාම බ්‍රිතාන්‍යය හමුදාවේ නිලධාරීන් විය. නාසි ජෙනරාල්වරායා පැහැර ගැනීම පිළිබඳ සැලසුම් කරන විට දෙදෙනාම සිටියේ කයිරෝවේ නිවාඩුවක් ගත කරමිනි. ඔවුන්ගේ සැලසුම බ්‍රිතාන්‍ය නිලධාරීන්ගේ ආත්ම ධෛර්යය වර්ධනය කරවන්නක් විය.

ඉහළ නිලධාරීන්ගෙන් ලැබුණ කොළ එළියත් සමඟ මේජර් පැට්‍රික් සහ මේජර් මොස් ගමනට බඬු පොදි බැන්දෝය. පැරෂුටයකින් මේජර් පැට්‍රික් ක්‍රීට් දූපතට ඇතුළු විය.
එහෙත් මේජර් මොස් තරමක් අවසනාවන්ත විය. ඔහු ගුවන්යානයෙන් පිටතට පැමිණි සැනින්ම වායුගෝලයේ තත්ත්වය වෙනස් විය. ඝන මීදුමකින් භූමිය වැසී ගිය අතර ඔහුගේ ගොඩබෑම ප්‍රමාද විය. අවසානයේ, මොස් මුහුද ආසන්නයට පහත් වූ අතර ඉතා ප්‍රවේසමෙන් රට තුළට ඇතුළු වීමට ඔහුට සිදුවිය. තම අනන්‍යතාවය සඟවා ගත් ඔහු හෙරක්ලියොන් වලට ගියේය. මේජර් පැට්‍රික් ඒ වන විට එහි පැමිණ තිබිණි. එහිදී ඔවුහු මිකී සමඟ එක් වූහ. ජෙනරාල් ක්‍රීපිගේ වාසභවනය ආසන්නයේ ජීවත් වූ මිකී තවත් බ්‍රිතාන්‍ය ඔත්තුකරුවකු විය.
මේජර්වරුන් දෙදෙනා තත්ත්වය අධ්‍යයනය කළහ. ඔවුහු අඛණ්ඩව ජෙනරාල් ක්‍රීපිගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ විමසිල්ලෙන් පසුවූහ. පුරුද්දක් ලෙස ජෙනරාල්වරායා සෑම උදෑසනකම හමුදා මූලස්ථානය වෙත යන අයුරුත් සන්ධ්‍යාවේදී ආපසු තම වාසභවනය වෙත පැමිණෙන අයුරුත් බ්‍රිතාන්‍යය නිලධාරීන් දෙදෙනාගේ අවධානයට ලක්විය. හමුදා මූලස්ථානය එතැන සිට සැතපුම් 5ක් දුරින් පිහිටා තිබිණි. ජෙනරාල්වරයාගේ මෝටර්රථයේ වේගය අඩු කිරීම සමත් තියුණු වංගුවක් හැරුණු විට එම මාර්ගය බෙහෙවින් පැහැදිළි මාර්ගයක් විය. පැහැර ගැනීමට සුදුසුම ස්ථානය මෙය බව මේජර්වරුන් දෙදෙනාගේම නිගමනය විය.
පැහැරගැනීමට සහය වීම සඳහා ඔවුන්ට දොළොස්දෙනෙකු අවශ්‍ය විය. සෑම දෙයක්ම සූදානම් කෙරිණි. එහෙත් ඔවුන් පැහැරගැනීම සැලසුම් කළ දිනයේ, ජෙනරාල්වරායා තම කාලසටහන වෙනස් කර තිබිණි. ජර්මානුවෝ ඔවුන්ගේ සැලසුම පිළිබඳ දැනුවත් ව සිටින බවට මෙය සංඥාවක් විය. එහෙත් මේජර්වරුන් දෙදෙනා පරාජය බාර ගැනීමට සූදානම් අය නොවූ අතර සිව්වැනි දිනයේදී ඔවුන්ට තම සැලසුම සාර්ථක කර ගැනීමට හැකිවිය.
අප්‍රකට ඇඳුමින් සැරසුණු පැහැරගන්නන් හැර මාර්ගයේ වෙනත් කිසිදු මිනිසකු නොවීය. මේජර් පැට්‍රික් සහ මේජර් මොස් ජර්මානු හමුදා නිල ඇඳුමින් සැරසී සිටියහ.

ජෙනරාල් ක්‍රීපි රැගත් මෝටර් රථය තියුණු වංගුවට පැමිණි විගසම මොස් සහ පැට්‍රික් මෝථර් රථය නැවැත්වූහ. ඔවුන් ජර්මානු නිලධාරීන් යැයි සිතූ ජෙනරාල්වරයාගේ රියැදුරා මෝටර් රථය නැවැත්වීය. රිය නැවැත්වීමටත් පෙර , රියැදුරා මරා දැමූ මොස් රියැදුරු අසුනට පැන ගත්තේය. ඒ අතර පිටුපස දොර විවිර කළ පැට්‍රික් ජෙනරාල්වරයාව පිටතට ඇද ගත්තතේය. අනෙක් පැහැරගන්නන් සිව් දෙනා අසල වූ පඳුරු අතර සැඟවී සිටියහ. ජෙනරාල්වරයාව තදින් බැඳ දැමූ ඔවුහු ඔහුව රථයේ පිටුපසට ඇද දැමූහ. ගරිල්ලා භටයන් දෙදෙනකු ඔහු සමඟ විය. මේජර් පැට්‍රික් ජෙනරාල්වරයාගේ භූමිකාවට අවතිර්ණ විය. මුර කපොල්ලේදී නාසි සොල්දාදුවෝ ජෙනරාල්වරයාගේ ධජය දුටු විය රථයට යාමට ඉඩ හැරියහ. ඉන්පසු මෝටර් රථය ජෙනරාල්ගේ නිවෙසට ළඟාවිය. මොස් රථයේ නලාව හැඬවූ අතර ජෙනරාල්වරයා ලෙස රඟපෑ පැට්‍රික් මුරකරුවාට අතින් සංඥා කර තමා ප්‍රමාද වී පැමිණෙන බව දැන්වීය.
එය හුදෙක් ආරම්භය පමණි. මේජර් මොස්ටත් , මේජර් පැට්‍රික්ටත් තවත් මුර කපොලු 22ක් පසු කිරීමට ඉතිරිව තිබිණි. ඔවුන් අවසාන මුර කපොල්ල පසු කරමින් සිනමා ශාලවෙන් පැමිණෙමින් සිටි පිරිස අතරින් රථය ගෙන යන විට මේජර්වරුන් දෙදෙනාම එකිනෙකාට සුබ පතා ගත්හ. මේ වන තෙක් සියල්ල හොඳින් සිදුවෙමින් පැවතිණි. එහෙත් දැන් ඉරණම පැමිණියේය. වාසනාව තවදුරටත් ඔවුන්ගේ පැත්තේ නොවන බව පෙනී ගියේය. ඔවුන් වෙනුවෙවන් නෞකාවක් සූදානම් කිරීම සඳහා ගුවන් විදුලි ක්‍රියාකරුවාට ඇමතුමක් දීමට ඔවුන්ට හැකියාවක් නොතිබිණි.
මොස් සහ පැට්‍රික් බලාපොරොත්තු සුන් වූ තත්ත්වයට පත් වූහ. මේ මොහොතේදී ඔවුන්ට දකින්නට ලැබුණේ ඔවුන් නැවතී සිටි ස්ථානය වටා පැවති කඳුකරයේ තිබූ ජර්මානු ට්‍රක් රථයකි. ඉක්මනින්ම තම ආම්පන්න සූදානම් කර ගත් ඔවුහු අඩි 8000 උසැති ඉඩා නමැති ඒ කන්ද තරණය කිරීමට පටන් ගත්හ. පැය 12කට පසු ඔවුන්ට එක් ගරිල්ලා මඩුවක නවාතැන් ගැනීමට හැකිවූ අතර රාත්‍රිය එළඹි පසු පහළ බැසීම ආරම්භ කළ ඔවුහු කඳුකරයේ පඳුරු අතරින් මුහුද දෙසට ගමන් කළහ.

ජර්මානු සේනාංකයක් ඒ වන විටත් එහි කඳවුරු ලා තිබිණි. ජෙනරාල්වරයාද සමඟ මේජර්වරුන් දෙදෙනා රහසේම එම ප්‍රදේශයෙන් ඉවත් වූහ. ඉන්පසු මේජර් පැට්‍රික් එක් එඬේරකුගෙන් ඔවුන් ට මඟ පෙන්වන ලෙස ඉල්ලා සිටියේය. සති තුනක හැංගිමුත්තන් සෙල්ලමෙන්ද, ජර්මානු නිලධාරීන්ගේ ලුහුබැඳීම්වලින්ද පසු , මේජර් පැට්‍රික්ට සුබදායී පණිවුඩයක් ලැබිණි. ඔවුන්ට රොඩකිනි වරායට යන ලෙස එයින් කියැවුණ අතර බෝට්ටුවක් ඔවුන් අපේක්ෂාවෙන් එහි රැඳී තිබිණි. ඔවුන් රොඩෙකිනිවලට ළඟාවන විට ඔවුන්ට ජර්මානු කඳවුරු දෙකක් පසුකිරීමට සිදු විය. පැට්‍රික් සහ මොස් සාර්ථකය කඳවුරු දෙක පසු කිරීමට සමත් වූහ. රාත්‍රී 9 වනවිට ඔවුන් තිදෙනා – මේජර් පැට්‍රික්, මේජර් මොස් සහ ජෙනරාල් ක්‍රීපි – බෝට්ටුවේ අසුන් ගෙන සිටියහ.
දින තුනකට පසු ඔවුහු කයිරෝ වෙත ළඟා වූහ. මේජර් පැට්‍රික් සහ මේජර් මොස් ජෙනරාල් ක්‍රීපිගෙන් සමුගත්හ.
මේජර්වරුන් දෙදෙනාම ගරු සම්මානයෙන් පිදුම් ලැබීය. ජෙනරාල් ක්‍රීපි ලන්ඩනයේ සිර කඳවුරකට යැවිණි. යුද්ධයෙන් අනතුරුව ක්‍රීපි නිදහස ලැබීය. ජර්මනියේ අලෙවි නියෝජිතයකු බවට පත් වූ ඔහු තම දෛවයටත් , තමා පැහැරගැනීම පිළිබඳ මේජර්වරුන් දෙදෙනාටත් ස්තුතිය පළ කළේය. එසේ නොවුණා නම් ඔහුට යුද අපරාධ පිළිබඳ චෝදනා එල්ල වීමට ඉඩ තිබූ අතර තම අනෙක් මිතුරු ජෙනරාල්වරුන්ට මෙන් මරණ දඬුවමද හිමි වීමට ඉඩ තිබිණි.
World Famoud Adventures ඇසුරිනි.