ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය

ලංකාවේ අපිට නම් ක්‍රිකට් කියන්නෙ නිකම්ම නිකම් ක්‍රීඩාවක් නෙවෙයි. ඒක දුවන්නෙ අපේ මිනිස්සුන්ගෙ ලේ වල. ඒ ලේ වල ගැම්ම, කීප වතාවක්ම ශ්‍රී ලංකා කණ්ඩායම ලූක ශූරයින් කරන්නටත් සමත් උනා කිව්වොත් නිවැරදියි. 1996 ලෝක ශූරතාවය, T20 ශූරතාවය 2014 ලබා ගත්තා. ඒ විතරක් නෙවෙයි 2007, 2011 වසර වලදී අනු ශූරයින් වූ අපේ කණ්ඩායම ටී T20 තරඟාවලියේදී 2009 සහ 2012 වසර වලදී අනු ශූරයින් බවට පත් වන්නට සමත් වුනා

ශ්‍රි ලාංකීය ක්‍රිකට් ඉතිහාසය දෙස අප විමසුම් ඇසින් බැලිය යුතු වේ. ඒ ඉතිහාසය රසවිඳිමින් වමාරන්නට නොවේ. ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව මේදක්වා විකාශනය වූ ආකාරය විමසීම ආශ්වාදය ගෙන දෙන්නකි. එහෙත් එම ආශ්වාදය උදෙසාම නොව ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත උන්නතිය ඇතිකරලීම උදෙසා ක්‍රීඩාව වටා බැඳුණු දිරිමත් කල යුතු අංගත්, අ කලයුතු අංගත් ශ්‍රී ලාංකීය ක්‍රිකට් ඉතිහාසය විමසීමෙන් අපට හඳුනාගත හැකි බැවින් එහි අතීතය විචාරීමකට ලක් කල යුතු වේ.

එක්දහස් අටසියයේ පමණ පටන් එවකට මෙම දිවයින පාලනය කල ඉංග්‍රීසි ජාතිකයන් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලී සිටි බවට ශාක්ෂි එමටය. වර්ෂ 1932 දී කොළඹ ක්‍රිකට් සමාජය(ccc) ආරම්භ කල වග එම වසරේ සැප්තැම්බර් 5 වන දින කලම්බු ජර්නලයේ සඳහන් වේ. එහි පළමු තරඟය 1833 දී 97 වැනි රෙජිමේන්තුවට එරෙහිව පවත්වා ඇත.

1975 ලෝක ශූරතා ක්‍රිකට් තරඟාවලියට යන ශ්‍රි ලාංකික කණ්ඩායම ඡායා රූ : dailysports.lk

1882 දී අයිවෝ බ්ලයි ගේ නායකත්වයෙන් යුතු (ivo francis bligh ඩර්න්ලි හි අටවැනි අල්ර් වරාය) එංගලන්ත පිලක් කොළඹදී ක්‍රිරිකට් තරඟයට සහභාගී වී ඇත. 88/89 දී georg vernon ගේ නායකත්වයෙන් පැමිණි එංගලන්ත පිළ මහනුවරදී 1890 දී තරඟ වැදී තිබේ. එංගලන්තය හෝ ඔස්ට්‍රේලියාව සිය අළු බඳුන් තරඟාවලිය ට යන අවස්ථාවල නවාතැන්පොලක් ලෙස ශ්‍රීලංකාවේ නැවතී තරඟ වලට සහභාගී වී තිබේ. 1932 දී douglas jardine නායකත්වය දැරූ මතභේදයට තුඩු දුන් බොඩිලයින් පන්දු යැවූ එංගලන්ත කණ්ඩායමද මෙරටට පැමිණ තරඟ වලට සහභාගී වී තිබේ. අප රටේ පළමු පෙළ ක්ටිකට් තරඟ ආරම්භ වී ඇත්තේ ඒ ආකාරයෙනි.

1953/54 පටන් මදුරාසි පිල සමග ලාංකික පිල තරඟ වැදුනේ Ceylon Cricket Association නමින්ය. පසුව මදුරාසි පිළ තමිල්නාඩු යනුවෙන්ද, ලාංකීය පිළ All Ceylon යනුවෙන්ද හැඳින්විණි. 1953/54 ක්‍රීඩා වාරයේ පටන් 1975/76 දක්වා එම තරඟය ගෝපාලන් කුසලාන තරඟය ලෙස හඳුන්වන ලදී.

ශ්‍රී ලාංකීය ක්‍රිකට් පිලක් සහභාගී වූ පළමු අන්තර්ජාතික තරඟාවලිය වන්නේ 1975 ලෝක කුසලාන තරඟාවලිය යි. 1979 දී අපි ICC කුසලානය දිනගත්තෙමු. ලෝක කුසලාන තරඟයක දී රටක් පරදවා ලැබූ පළමු ජයග්‍රහණය අපි 1979 දී ඉන්දියාව පරදා ලබගත්තෙමු. 1981දී ICC හි පුර්ණ සාමාජිකත්වය ලබාගත් ශ්‍රීලංකාව 1982දී පළමු ටෙස්ට් තරඟයට සහභාගී විය. එම තරඟය පී සරවනමුත්තු පිටියේදී එංගලන්තයට එරෙහිව පවත්වන ලදී.

1996 දී අර්ජුන රණතුංග ගේ නායකත්වය යටතේ ලෝක කුසලානය දිනා ගැනීමත් සමග අපේ ක්‍රිකට් ක්‍රීඩාව වඩාත් පරිනත තත්වයට පත් වුයේය. ඉන් අනතුරුව ලෝක කුසලානයකට අප හිමිකම් කීවේ 2014 දී ICC world twenty 20 තරඟාවලිය ජයග්‍රහණය කිරීම සමගයි.

මේ වන විට ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අති දැවැන්තම ඉනිම ක්‍රීඩා කර ඇත්තේ ශ්‍රී ලාංකීය කණ්ඩායමයි. ( 952/6 -1997 -ඉන්දියාව සමග.) වැඩිම ටෙස්ට් විකට් ලබාගෙන ඇත්තේ අපේ මුත්තයියා මුරලිදරන් ය. මහේල, සංගක්කාර, ජයසුරිය, අරවින්ද වැනි වාර්තාගත ලකුණු ලැබූ පිතිකරුවන් අප බිහි කර ඇත. නොබෝ දිනකට පෙර ඕස්ට්‍රේලියානුවන් පරදා 3-0 ක ටෙස්ට් තරඟාවලි ජයක් අපි ලදිමු. සුද්දා සමග ඇති විරසකය ඉවතලා කියන්නේනම් අපේ ජාතික ක්‍රීඩාව විය යුත්තේ අවුරුදු 200 කට වඩා පැහැදිලි ඉතිහාසයක් ඇති ක්‍රිකට් මය.

මෙවැනි තත්වයකට ක්‍රිකට් ක්‍රීඩාව දියුණු වීමටත්, ක්‍රිකට් සංස්කෘතියක් රට තුල ගොඩ නැගීමටත් මුලික වශයෙන් හේතු වුයේ වසර සියයකට අදික කාලයක් තිස්සේ පාසැල් මට්ටමෙන් අතිශය උනන්දුවකින් ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය කිරීමයි.පාසැල් කීපයක් අතර වාර්ෂික බිග් මැච් පවත්වා ඇති වාර ගණන සලක බැලීමේදී මෙය වඩාත් තහවුරු වේ. රාජකීය ශාන්ත තෝමස් මහා තරඟය 137 ත් වාරයක් පවත්වා ඇත. 1924 දී පටන් ගත් ආනන්ද නාලන්ද මහා තරඟය 87 ත් වාරයක් පවත්වා ඇත. ශාන්ත අන්තෝනි ත්‍රිත්ව තරඟය පටන්ගෙන ඇත්තේ 1914 දීය. මහින්ද රිච්මන්ඩ් තරඟය 109 වාරයක් පවත්වා ඇත. යාපනයේ පාසැල් ක්‍රිකට් ද අවුරුදු සීයකට වඩා පරණය.

ඡායා රූ : dailysports.lk

පාසැල් ක්‍රිකට් ගාල්ල කොළඹ මහනුවර නගර වලින් යාබද නගර වලට ව්‍යාප්ත වෙත්ම ඒවායින් විවිධ කුසලතා දක්වන ක්‍රිකට් ක්‍රීඩකයෝ ක්‍රීඩාවට එක් වුවෝය. විශේෂයෙන් ශ්‍රී ලාංකික පිලට හිගයක්ව පැවති වේග පන්දු යවන්නන් එම ප්‍රධාන නගර තුනට තරමක් ඈතින් පිහිටි නගර වලින් බිහි විය. ක්‍රිකට් ක්‍රීඩාව තවම නිසි පරිදි ගම් මට්ටමේ පාසැල් ක්‍රීඩාවක් බවට පත්ව නැත.

ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවට ආසන්නතම වූ පිටුවහල ලැබුනේ ක්‍රිකට් සමාජ අතර ක්‍රිකට් තරඟ වලින්ය. 1938 සමාජ 12 ක සහභාගිත්වයෙන් ඇරඹි අන්තර් සමාජ තරඟාවලි 1950-51 සිට P සරවනමුත්තු කුසලාන තරඟාවලි ලෙස හැඳින් විය එසේම රොබර්ට් සේනානායක කුසලානය ලක්ස්ප්‍රේ කුසලානය ආදී නම් වලින් පැවැත්වූ ක්‍රිකට් සමාජ අතර තරඟාවලි නිසා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට උචිත ප්‍රවීන ක්‍රීඩකයින් බිහිවිය.මෙම ක්‍රිකට් සමාජ සිංහල ක්‍රීඩා සමාජය (SSC) ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය, යෝනක ක්‍රීඩා සමාජය (moors) වැනි නම් වලින් හැඳින් වුවද ජාති ආගම් භේදයෙන් තොරව එම සමාජ වලට ක්‍රීඩකයින් තෝරා තිබීම විශේෂයෙන් අගය කල යුතු ගුණාංගයකි. පාසැල් මට්ටමේ ශිෂ්‍ය අවධියේ මෙම මානසික මට්ටම මීට වඩා තරමක් වෙනස්ව තිබිණි. ඇතැම් ගුරුවරුන් විසින් තම පාසැලට දෙන ලද අර්ථ කථන අනුව තම පාසැල බෞද්ධ, කතෝලික, ක්‍රිස්තියානි පාසලක් බවට කියන්නට ශිෂ්‍යයෝ පුරුදුව සිටියහ. මෙම තත්වය 1971 ඕවර් 50 ……… කුසලතා තරඟාවලියේදී පැහැදිලිව පිටතට ආවේය.ක්‍රිකට් සමාජ අතර තරඟාවලී නිසා මේ තත්වය තුරන් විය.1960- 1970 සහ අසූ ගණන්වල මුල කාලයේ අන්තර් පාසැල් තරඟ අතර තිබු උණුසුම දැන් පෙනෙන්නට නැත.1970 -80 දශක වල අන්තර් සමාජ තරඟ වලට තිබුණු ප්‍රේක්ෂක උණුසුමද දැන් දක්නට නැත. එහෙත් මේ සියල්ල වෙනුවට ජාතික මට්ටමේ තරඟ වලින් ක්‍රිකට් ලෝලීන් ආකර්ෂණය කර ගැනීමට හැකි වීම විශේෂයකි. සිංහලෙන් විස්තර ප්‍රචාර කිරීමට දායක වූ කරුණාරත්න අබේසේකර, පාලිත පෙරේරා,සුදර්මන් ද සිල්වා,ප්‍රේමසර ඈපාසිංහ යන ක්‍රීඩා විස්තර නිවේදකයින් ක්‍රීඩාවේ ව්‍යාප්තිය උදෙසා කල මෙහෙවරද අමතක කල නොහැකිය.ක්‍රිකට් ක්‍රීඩාවට සිංහල වචන එකතු වූයේ ඒ අය නිසාය. මේ හැරුණු කොට ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ ව්‍යාප්තිය උදෙසා යෝධාත්ම මෙහෙවර කළේ හැත්තෑව දශකයේ අග භාගයේ භාවිතයට පැමිණි රූපවාහිනියයි.

dailysports.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *