කුඩා බෝට්ටුවකින් ලොව වටා යාත්‍රා කළ ප්‍රථම මිනිසා වන්නේ ස්ලෝකම්ය. ඔහු තම චාරිකාවට යොදා ගත්තේ ‘ස්ප්‍රේ’ නමැති කුඩා බෝට්ටුවයි. ඒ අබලන් පැරණි බෝට්ටුව අලුත්වැඩියා කළ ඔහු තම ඓතිහාසික මෙහෙයුම ඇරඹුවේය. හුදෙකලාව චණ්ඩ සාගරයට නිර්භීතව මුහුණ දුන් කපිතාන් ජොෂුවාගේ කතාවයි මේ.

බාබරස් රතු ඉන්දියානුවෝ ස්ප්‍රේ බෝට්ටුව වට කරගත්හ. “උඹ ළඟ තියෙන හැම දෙයක්ම දීපං.” ඔවූහු කෑ ගසමින් කියා සිටියහ. ස්ප්‍රේ නමැති ඒ බෝට්ටුව තුළ පෙනෙන්නට සිටි එකම මිනිසා “නෑ. . නෑ. .” යනුවෙන් පිළිතුරු දුන්නේය. එහෙත් ඔවුහු ඔහුට සවන් දෙන බවක් නොපෙනුණි. ඔවුහු තම බෝට්ටු එක පෙළට ‘ස්ප්‍රේ’ අසලට ගෙන ආහ. ඉන්දියානුවන් අතරින් එකෙක් බෝට්ටුවට ගොඩ විය. ඔහු බ්ලැක් පෙඩ්රෝය. ඔහු අහිංසක මිනිසුන් ගණනාවක් මරා දැමීම හේතුවෙන් පොලිසියට අවශ්‍යව සිටි අපරාධකරුවෙකි. ඔහු කුටිය තුළට ගියේය. දැන් ස්පේ්රහි හිමිකරුවා සිටින්නේ බියපත් වය. කෙසේවෙතත්, ඔහු තම මානසික ඒකාග්‍රතාව නැති කර නොගත්තේය.
තම වෙස් මාරු කරගත් ඔහු, ඔවුන්ගේ බෝට්ටු දෙසට වෙඩි තැබුවේය. රතු ඉන්දියානුවෝ ඉන් බියට පත් විය. බෝට්ටුව මත මිනිසුන් තිදෙනෙක් සිටින අයුරු ඉන්දියානුවන්ට දක්නට ලැබිණි. බ්ලැක් පෙඩ්රෝ පලා ගියේය. බෝට්ටුවේ හිමිකරු තම ජීවිතය රැක ගැනීමට සමත් විය. මේ බුද්ධිමත් නාවුකයා අන් කිසිවකු නොව කපිතාන් ජෝෂුවා ය . ඔහු තමා වැනි රූකඩ තුනක් නිර්මාණය කර එයට නාවුක ඇඳුම් ඇන්දවීය. බ්ලැක් පෙඩ්රෝ සිතුවේ එහි නාවුකයන් තිදෙනෙක් සිටින බවයි. එබැවින් ඔහු පලා ගියේය.
තම දිවි ගලවා ගත් ජෝෂුවාට ඉන් පසු සැතපුම් 46,000ක් වූ දීර්ඝ සමුදුරු චාරිකාවක් සම්පූර්ණ කිරීමට හැකිවිය. 1895 අප්‍රේල් 26 වැනි දා, බොස්ටන් වලින් ගමන් ආරම්භ කළ ජෝෂුවා තම චාරිකාව සඳහා ගත්තේ අඩි 36ක් දිග ‘ස්ප්‍රේ’ නමැති බෝට්ටුවයි. කුඩා බෝට්ටුවක් යොදා ගනිමින් ලොව වටා යාත්‍රා කළ ප්‍රථම මිනිසා ඔහු වූ අතර ඒ සඳහා ඔහුට වසර තුනක් මහ සයුරේ හුදෙකලාව ගත කිරීමට සිදු විය.
වීර චාරිකාවල යෙදෙන්නන් අතර ජෝෂුවා දුර්ලභ ගණයේ පුද්ගලයකු විය. එයට ප්‍රධාන හේතුව වන්නේ ඔහු තම චාරිකාව සඳහා පැරණි කුඩා බෝට්ටුවක් පමණක් තෝරා ගැනීමට තීරණය කිරීමයි. එසේම සමුදුරු චාරිකාවේ යෙදුණු මුළු කාලය පුරාම ඔහු යාත්‍රා කළේ හුදෙකලාවමය. ඔහුගේ තීරණය ආනුශංශිකව ඇති වුවක් විය. 1892 දී වරක් ඔහු බොස්ටන්හි තම මිත්‍රයකු හමුවීමට ගියේය. එහිදී ඔහුට වසර හතක පමණ කාලයක් තිස්සේ අතහැර දමා තිබුණු බෝට්ටුවක් දක්නට ලැබිණි. 48 හැවිරිදි ජෝෂුවාට එක්විටම හැඟුණේ තමා 20 වියේ තරුණයකු තරමට තිරිහන් වූ බවයි. ඔහු ඒ බෝට්ටුවෙන් ලොව වටා යාත්‍රා කිරීමට තීරණය කළේය. කෙසේ වෙතත් තම වීර චාරිකාව ඇරඹීමට පෙර බෝට්ටුව අලුත්වැඩියා කළ ඔහු එය සාගරික පරිසරයට හුරු කරවීම සඳහා දින ගණනක් මසුන් ඇල්ලීමේද නිරත විය.
1895 දී ඔහු ඒ බෝට්ටුව යාත්‍රා කිරීම ආරම්භ කළේය. ග්ලොසෙස්ටර් වරාය ඔහුගේ පළමු නැවතුම විය. සති දෙකක් පුරා එහි නැවතී සිටි ඔහු එහිදී තමාට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගත්තේය. ඔහුගේ ඊළඟ නැවතුම නෝවා ස්කොටියාවල වෙස්ට් පෝර්ට් වරායයි. එහි නැවතී සිටි සතිය ඇතුළත රළු අත්ලාන්තික් සාගරයෙන් තම භාණ්ඩ ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගත්තේය.
අත්ලාන්තික් සාගරයේ ගෙවී ගිය පළමු සතිය සාමකාමී ලෙස ගෙවී ගියේය. හුදෙකලාව අමතක කර දැමීමට ජෝෂුවා හඳ තම මිතුරා කරගත්තේය. ඔහු මහ හඬින් හඳ සමඟ කතා කළේය. ගීත ගැයුවේය. චණ්ඩ මාරුතයත් සමඟින් ජොෂුවාගේ හුදෙකලාව නැති වී ගියේය. තද සුළඟ පැවති අවස්ථාවේ බෝට්ටුව උඩු යටිකුරුවීම පාලනය කර ගැනීමට කාලය මිඩංගු කිරීමට ඔහුට සිදුවිය. එබැවින් හුදෙකලාව ගැන සිතීමට ඔහුට කාලය ඉතිරි නොවුණත් චණ්ඩ මාරුතය පහව යාමත් සමඟ කාංසිය නැවත ඔහුව වෙලා ගත්තේය. ජූලි 10 වෙනිදා ‘ස්ප්‍රේ’ සේබල් තූඩුවේ සැතපුම් 1200 ක් දුරට සමීප විය. මෙම දුර ප්‍රමාණය සම්පුර්ණ කිරීම සඳහා ඔහුට මුල් දින අටේදී බෝට්ටුව දිනකට සැතපුම් 150ක වේගයෙන් යාත්‍රා කිරීමට සිදු විය. මෙම වේගය හේතුවෙන් ඔහුට ඉක්මනින්ම ෆායෙල් දූපතට ළඟාවීමට හැකි වූ අතර එහිදී දින හතරක නිවාඩුවක් ලබා ගත්තේය.
තරුණ නියමුවකු ඔහු සමඟ යාත්‍රා කිරීමට කැමැත්ත පළකළත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. සමුදුරු චාරිකාවක ප්‍රීතිමත් අත්දැකීම තනිව විඳ ගැනීමට ඔහුට අවශ්‍ය වීම එයට හේතුව විය.
ජූලි 24 වැනිදා, ඔහු නැවත තම වීර චාරිකාව ආරම්භ කළේය. එහෙත් එය ඔහුට අවාසනාවන්ත දිනයක් විය. වියළි මිදි, බටර් සහ කේජුවලින් සමන්විත ඉස්තරම් භෝජනයක් භුකිති විඳීමෙන් අනතුරුව ඔහුට උදරාබාධයක් සෑදිණි. ඒ අතරතුර උදම් කුණාටුවක්ද පැමිනුණි. කිසිවකුගේ හව්හරණක් නොමැතිව මේ පෙරමුණු දෙකටම එරෙහිව සටන් කරන්නට සිදු වූ ජෝෂුවාට නොහඳුනන පුද්ගලයකුගේ උදව් ලැබෙන විට ඔහු උමතු වීමට ආසන්න තත්ත්වයට පත්ව සිටියේය. එම පුද්ගලයාගේ උපකාරය නොවන්නට ‘ස්ප්‍රේ’නිසැකවම මහා සාගරයේ අතුරුදන්ව යාමට ඉඩ තිබිණී.
ජෝෂුවාට නැවත නැගී සිටීමට සවි ලැබෙන තෙක් මේ නොහඳුනන තැනැත්තා බෝට්ටුව යාත්‍රා කරවීමට උපකාරී විය. එසේම ඔහු එනවිට පුදුමාකාර ලෙස නොපෙනී ගියේය. ජෝෂුවාට මෙය අබිරහසක් වූ අතර. එය ඔහුගේ මුළු ජීවිත කාලය පුරාම අබිරහසක් ලෙසම ඉතිරි වී පැවතිණි. මේ නොදන්නා ආකාරයේ මිත්‍රයා ගැන ඔහුට කිසිවිටෙක දැනගැනීමට නොහැකි වනු ඇත. අගෝස්තු 4 වැනිදා ‘ස්ප්‍රේ’ දිනකට සැතපුම් 51ක වේගයෙන් යාත්‍රා කර ස්පාඤ්ඤය වෙත ළඟා විය. ජිබ්රෝල්ටාවේදී, ජෝෂුවාට උණුසුම් පිළිගැනීමක් හිමි වූ අතර, ඒ ආදරය සහ ගෞරවය ඔහුගේ ආත්මය නැවත තිරිහන් කිරීමට සමත් විය.
රතු මුහුදේ සහ සූවස් ඇලේ මුහුදු කොල්ලකරුවන් වැනි එදිරිවාදීන් මඟ හැරවීම සඳහා ඔහු තම ගමන් මාර්ගය කේප් තුඩුව සහ බටහිර දක්වා වෙනස් කළේය. එහෙත් මේ මාර්ගය පවා වෙරළාශ්‍රිත මුහුදුකොල්ලකරුවන්ගෙන් සහ සොරුන්ගෙන් තොර නොවීය. ඔහු මුහුදු කොල්ලකරුවන්ගේ ලුහුබැඳීමට ලක්විය. එහෙත් ස්වභාව ධර්මයාගේ පිහිට ඔහු වෙත ලැබුණු බැවින්, ඔවුන්ව මුළා කර ගැලවීමට හැකි විය. එකපිට එක වැදුණු ප්රචණ්ඩ රළ තරංග ‘ස්ප්‍රේ’ හි සියලු දැව කඳන් සොලවා දැමීමට සමත් විය. ඒ මොහොතේදීම වාගේ නැවත මුහුදු කොල්කරුවන්ගේ ප්‍රහාර එල්ල විය. ජෝෂුවාට නැවත දිවි බේරා ගැනීමට හැකි විය.
මේ සිදුවීමෙන් පසු, සති තුන හතරක් ගතවන තුරු, සංචාරය සුමට ලෙස ගෙවී ගියේය. ඔක්තෝබර් 5 වැනිදා, බ්‍රසීලයට ළඟා වූ ඔහු, පර්නම්බුකෝ වරායේ නැවතිණී. එහිදී තම මිතුරකු වු ආචාර්ය පෙරේරා මුණගැසුණු ජෝෂුවා නැවත ඔක්තෝබර් 24 වැනිදා චාරිකාව ආරම්භ කළේය. ආචාර්ය පෙරේරා ඔහුට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීය.
මුහුද සංසුන් වීමත් සමඟ ජෝෂුවාගේ බෝට්ටුවට පැයට සැතපුම් 110 ක් පමණ වේගයෙන් යාත්‍රා කිරීමට හැකි විය. දෙසැම්බර් 15 වැනිදා දක්වා ඔහුට හොඳින් යාත්‍රා කිරීමේ හැකියාව ලැබිණි. එහෙත් උරුගුවේවලදී ඔහුට අත්වැරදීමක් සිදු විය. කුණාටුවකින් පළා යාමට තැත් කිරීමේදී, ඔහු දැඩි වැල්ලේ ගැටිණි. බෝට්ටුවට එහි නැව් තලයේ සහ පත්ලේ කොටසක් අහිමි විය. ඔහුට මැල්ඩොනාඩොවල නැංගුරම් ලෑමට සිදුවිය. රාජකීය තැපැල් වාෂ්ප නෞකා සමාගමේ නියෝජිතයෝ නොමිලේ බෝට්ටුව පිළිසකර කර දුන් හ . දෙසැම්බර් 29 වැනිදා බුවනොස් අයර්ස් වෙත සේන්දු වූ ජෝෂුවා, තම පැරණි මිතුරකුගේ නවාතැනේදී නත්තල සැමරුවේය. අලුත්වැඩියා කළ බෝට්ටුව සමුදුරු චාරිකාවක යෙදීමට තරම් යෝග්‍ය තත්ත්වයක නොවූ බැවින් ඔහුට තරමක කෙටි කාලයක් බුවනොස් අයර්ස්හි නතරවීමට සිදු විය.
1896 ජනවාරි 26 අවසානයේදී ‘ස්ප්‍රේ’ යාත්‍රා කිරීමට තරම් ශක්ති සම්පන්න විය. ජෝෂුවා නැවත වරක් තම සමුදුරු චාරිකාව ආරම්භ කළේය. දෙවතාවක් ම්ලේච්ඡ මිනිසුන් විසින් ඔහුව වටකෙරිණි. දෙවැනි අවස්ථාවේදී ජෝෂුවා දිවි ගලවා ගත්තේ, ඔහු සන්තකයේ තිබූ ආහාර ද්‍රව්‍ය සියල්ලක්ම ම්ලේච්ඡයන්ට දීමෙනි. නැවත තෙවැනි වතාවේදී ස්වභාවධර්මය ඔහුව ගලවා ගත්තේය. අවට හමාගිය දැඩි සුළඟින් මංකොල්ලකරුවන්ගේ බෝට්ටු සීසීකඩ විසුරුවා හැරීමට සමත් වූ අතර කිසිදු අකරතැබ්බයකින් තොරව ‘ස්ප්‍රේ’ට ඉදිරියට යාත්‍රා කිරීමට හැකි විය.
හවල තුනක් සහ රාත්‍රී තුනක් ‘ස්ප්‍රේ’ ට කුණාටුව සමඟ සටන් කිරීමට සිදුවිය. කුණාටුව මඟින් බෝට්ටුව කේප් තුඩුවෙන් ඉවතට පළවා හැරීමට සමත් විය. නැවත වරක් ජෝෂුවාට බ්ලැක් පෙඩ්රෝට මුහුණ දීමට සිදු විය. පසුව ජෝෂුවාව හඳුනාගත් බැවින් ඔහුට පහරදීමට ඉදිරිපත් නොවුයේ ජෝෂුවා සතු ගිනි අවියට තිබූ බිය හේතුවෙනි. ඒ ආකාරයට ජෝෂුවා නැවත වරක් දිවි බේරාගැනීමට සමත් වූ අතර අවසානයේ පැසිපික් සාගරයට සේන්දු විය.
දින ගණනාවක් යාත්‍රා කිරීමෙන් පසු ජුලි 16 වැනිදා ඔහු සැමෝවා රාජ්‍යයේ, අපියාහි නැංගුරම් ලෑවේය. තම බෝට්ටුවේ සාදයක් සංවිධානය කළ ජෝෂුවා ඒ සඳහා රජුටද ආරාධනා කළේය. අගෝස්තු 20 වැනිදා වරායෙන් පිටත් වූ ‘ස්ප්‍රේ’ නැවත තම චාරිකාව ඇරඹුවේය.
ජොෂුවා දින 42ක් නොනැවතී යාත්‍රා කළේය. ඔක්තෝබර් 10 වැනිදා ‘ස්පේ‍්‍ර’ සිඩ්නි වෙත පැමිණියේය. සිඩ්නි යනු ජෝෂුවාට මිත්‍රයන් බොහෝ දෙනෙක් සිටි තැනක් විය. එබැවින් ඔහු එහි සති ගණනක් නතර විය. දෙසැම්බර් 6 වැනිදා ඔහු සිඩ්නිවලින් පිටත් විය. ඉන්පසු ඔහු ඉන්දියානු සාගරයේ පිහිටි මුරුසියට ළඟා වූ අතර එතැන් සිට ඔහු තම නිජභූමිය දෙසට යාත්‍රා කළේය. වෙරළ තීරය ඔස්සේ ඔහු බාස් සමුද්‍ර සන්ධිය දෙසටත්, ඔස්ට්‍රේලියාවේ දකුණු කෙළවරේ පිහිටි මෙල්බෝන් වෙතටත් යාත්‍රා කළේය. බන්ඩුරෝ තුඩුවේ වෙරළේ සිටගෙන සිටි මිනිසුන් සමඟ යාත්‍රා කරන අතරතුරම ඔහු නත්තල සැමරුවේය.

බන්ඩුරෝවල සිට, ඔහු තස්මේනියාවට යාත්‍රා කළේය. ඔහු එසේ කළේ ඔස්ට්‍රේලියාවේ පැවැති අයහපත් කාළගුණය මඟහැරීම සඳහාය. ඔහු තස්මේනියාවේ රන් ආකරයක් නැරඹීමට ද ගියේය. ජෝර්ජ් ටවුන් හි වැසියන් ඔහුව උණුසුම් අයුරින් පිළිගත්තේය. ඒ කුඩා නගරයෙන් පිටත් වූ ඔහු ඩෙවොන්පෝට්වලට පැමිණ එහි නැංගුරම් ලෑවේය. ඒ 1897 අප්‍රේල් 16 වැනිදාය.
සීත ඍතුව සාමකාමී විය. කිසිදු පෙරළියක් වීමට ඇති ඉඩකඩ බෙහෙවින් අඩු විය. ජෝෂුවාට, සමුදුරු චාරිකා පිළිබඳ ලියැවුණු පොත් කියවීම හැරුණු කොට කළයුතු වෙනත් කිසිවක් නොවීය. සැප්තැම්බර් 19 වැනිදා ඔහු මුරුසිය වෙත ළඟා විය. දින අටක් එහි විවේකීව ගත කිරීමෙන් අනතුරුව ඔහු තම චාරිකාවෙන් සියයට අනූවක් අවසන් කර ඇති බව ඔහුට අවබෝධ විය. එහෙත් ඔහුට අනුව අමෙරිකාව තිබුණේ තවත් බොහෝ ඈතිණි.
මුරුසියේ සිට නිව් පෝට් දක්වා කළ ඔහුගේ ගමනේදී ඔහුගේ සාදානුස්මරණීය මොහොත වූයේ ශාන්ත හෙලේනාවල ගත කිරීමයි. ඔහු එහි රජ මාලිගයේ නවාතැන් ගත්තේය. මිනිසුන් ඔහුට අනතුරු ඇඟවූ පරිදි නැපෝලියන්ගේ අවතාරය ඔහු හමුවේ පෙනී සිටින තෙක් ඔහු බලා සිටියේය. එහි මිනිසුන්ගේ විශ්වාසය වූයේ නැපෝලියන්ගේ අවතාරය එම මාලිගයට පැමිණෙන බවයි. එහෙත් ඔහුගේ ප්‍රාර්ථන ය ඉටු වූයේ නැත. පසුදිනයේ, නැපෝලියන් සිරගත කොට සිටි මන්දිරය බලා ගිය ඔහු තම කුතුහලය සංසිඳවා ගත්තේය. ග්‍රැනඩාව දෙසට යාත්‍රා කළ ‘ස්ප්‍රේ’ එතැන් සිට ඇන්ටිගුවා බලා යාත්‍රා කළේය . එහි ස්වදේශීය ජනයාගෙන් ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමි විය.
1898 ජුනි 4 වැනිදා ඔහු තම අවසන් ගමනාන්තය දෙසට ගමන් කරමින් සිටියේය. 1898 ජුනි 27 ඔහු තම ගමන නිමා කරන විට ඔහු ලොව වටා සැතපුම් 46000 කට වැඩිදුරක් ගමන් කර තිබිණි. එම කාල පරිච්ඡේදය තුළ කිසිදු යාත්‍රාවකට එතරම් දුර ප්‍රමාණයක් සම්පූර්ණ කිරීමට හැකි වී නොතිබිණි.
World Famous Adventures ඇසුරිනි